1980 සහ 1990 දශකවල සිංහල සිනමාවේ පමණක් නොව පාකිස්තානු සිනමාවේ ද ඉහළම ජනප්‍රියත්වයක් සහ සම්මාන රැසක් දිනාගත් ප්‍රවීණ රූපණවේදිනියක් වන සබීතා පෙරේරා කාලයකට පසුව සිනමාවෙන් යළි දකින්න ලැබෙනවා. ඒ මහාචාර්ය සංජිව පුෂ්පකුමාර අධ්‍යක්ෂණය කරන ලද විහඟ ප්‍රේමය සිනමා නිර්මාණයේ මාලනිය ලෙසින්. ඒ ගැන ඇය සමඟ කළ කතාබහකි මේ.
කාලෙකට පසුව ඔබව යළිත් රිදී තිරයේ දකින්න ලැබෙනවා ඒ ගැන මොකද හිතෙන්නේ?
ඇත්තෙන්ම ඒ ගැන සතුටක් තියෙනවා. මට මුණගැහෙන ප්‍රේක්ෂකයින් නිතරම ඇහුවේ ‘ඇයි දැන් රඟපාන්නේ නැත්තේ‘ කියලා. මම රඟපානතුරු බලා හිටිය හැමෝටම දැන් ඔන්න අවස්ථාව තියෙනවා මගේ රංගනයක් දැක ගන්න.
දිගු විරාම තබමින් රංගනයේ යෙදෙන්න හිතුවේ ඇයි?
මම නිදහසට හරිම කැමැතියි. ඒ කාලේ මම ජීවත් වුණේ හරිම කලබලෙන්. ඒ නිසා මම ආසයි නිදහසට. මගේ ජීවිතේ මට විඳින්න බැරි වෙච්ච දේවල් ලබාගන්න මට ඕන වුණා. මට ඕනේ දේවල් කරන කාලයක් මේ කාලය. ඒ කලබල කාලේ මම කැමැති, මම ආස දේවල් කන්නවත් ලැබුණේ නෑ. හැමදාම උදේට නැඟිටිනවා, ෂූටින් යනවා, මේකප් කරනවා, රෑ වෙලා ගෙදර එනවා. ඒ නිසා මට හිතුණා සාමාන්‍ය ජීවිතයක් තියෙන්න ඕනේ කියලා.
එහෙම කාලයකදී තමයි මගේ විවාහය සිද්ධ වුණේ, ඉන් පසු මගේ පුතා හම්බවෙන්නේ. ඒ කාලය තුළත් මම හොයන්න උත්සාහ කළේ මට නැති වුණු කාලය. ඒ කියන්නේ ඒ නිදහස, මේ වෙලාවට ෂූටින් එන්න ඕනේ, මේ වෙලාවට මේකප් එකට යන්න ඕනේ, හැමදේම කාලසටහනකට වගේ සිදුවුණ කාලයක්. මම එහෙම කාලයක් ගත කළා. ඒක ලොකු කාලයක් දක්වා ගියා. මම හිතන්නේ පුතා හම්බවුණාට පස්සේ අවුරුදු අටක් විතර මම කිසිම දෙයක් කළේ නැහැ. මම ඒ කාලය පුතා වෙනුවෙන්ම කැප කළා.
එහෙම ඉන්න විට තමයි ජැක්සන් ඇන්තනී මහතා මට අබා චිත්‍රපටයට කතා කරන්නේ. ඒකට ආස වුණා. ගෙදර ඇවිත් කිවුව ගමන්, මම ආසාවෙන් භාර ගත්තා. ඊට කලින් කතා කරපු හුඟක් දේවල් මම මඟහැරියා. මට හිතුණා දැන් රඟපාන්න ඕනේ නැහැ කියලා. මගේ ජීවිතෙන් සිනමාවට මේ තරම් කැපවීමක් කළා නම් දැන් මම මගේ ජීවිතේ බිරිඳක් විදිහට, අම්මා කෙනෙක් විදිහටයුතුකම් වගකීම් ඉටු කරන්න ඕනේ නිසා, මම ඒ ලැබුණු නිදහස හරිම ආසාවෙන් වැලඳගත්තා.
හැබැයි එහෙම හිටියට එහෙම ඉන්නත් බැහැ. චිත්‍රපට දකිද්දී, රඟපෑම් දකිද්දී මට හරි ආස හිතෙනවා. කොච්චර රඟපෑවත් හොලිවුඩ්, බොලිවුඩ් චිත්‍රපට වගේම අපේ චිත්‍රපට දැක්කම අනේ කියලා හිතෙනවා. ඊට පස්සේ තමයි අබා කළේ. අබා එකෙන් පස්සේ මුකුත් කළේ නැහැ. එහෙම කාලයක තමයි ආයේ ‘ඇඩ්‍රස් නෑ’ කරන්න ලැබුණේ.
ඔබ ‘විහඟ ප්‍රේමය‘ චිත්‍රපටය හරහා වසර එකොළහකට පසු නැවතත් රිදී තිරයට පැමිණෙන්නේ, මෙම චිත්‍රපටය හෝ එහි ‘මාලනි‘ ගේ චරිතය තෝරා ගැනීමට විශේෂ හේතුවක් තිබුණාද?
පසුගිය කාලෙත් චිත්‍රපට කිහිපයකටම ආරාධනා ලැබුණත් විවිධ හේතු මත ඒවා මඟ හැරුණා සහ මඟ හැරියා. නමුත් අධ්‍යක්ෂ සංජීව පුෂ්පකුමාර එවූ තිර පිටපත කියවූ පසු මම ඒකට ගොඩක් ආසා කළා. එය මට කළ හැකි, මට ගැළපෙන චරිතයක් බව මට හැඟුණු නිසා එය භාර ගත්තා. මුලින්ම මම කරන චරිතේ මටම දැනෙන්න ඕනේ. එහෙම තමන්ටම සාධාරණයක් කරන්න හැකියි කියලා දැනෙන චරිත තුළ තමයි ජීවත් වීමට පහසු. ඒ නිසා මට දැනුණා මේ චරිතේ කළොත් හොඳයි කියලා. ඊට පස්සේ සංජිව එක්ක කතා බහ කරලා ‘විහඟ ප්‍රේමය‘ ට සම්බන්ධ වුණා.
මෙම චිත්‍රපටයේ ඔබ නිරූපණය කරන මාලනීගේ චරිතයේ ඇති සුවිශේෂී බව මොකක්ද?
වර්තමාන සමාජයේ අපි දකිනවා මුදල් වෙනුවෙන් ඕනෑම කෘෘර දෙයක් කරන පිරිස. මේ චිත්‍රපටය තුළ අන්තර්ගත වෙන්නේ කුඩා ළමුන් විකිණීම. මාලනී හරහා අරන් එන්නෙත් මේ සමාජය තුළ දකින්න ලැබෙන චරිතයක්. නමුත් එවැනි මිනිසුන් ඒ තත්ත්වයට පත්වීමට බලපාන පසුබිම සහ ඔවුන්ගේ අභ්‍යන්තරයේ ඇති ඛේදවාචකය ගැන කවුරුත් කතා වෙන්නේ නැහැ. හැබැයි ඒ පිළිබඳවද මේ සිනමා නිර්මාණය හරහා කතා කෙරෙනවා. මිනිස් ජීවිතවල තියෙන කළු, සුදු සහ අළු යන සියලු පැති නිරූපණය වන ජීවමාන චරිත රඟපෑමට මම කැමැතියි. මේ මට ලැබුණු චරිතෙත් එහෙම චරිතයක්. විශේෂයෙන්ම මේ චරිතේ හරහා මම සමාජයට ලොකු පණිවිඩයක් ලබා දෙනවා.
වසර 11ක් වැනි දිගු කාලයක් සිනමාවෙන් ඈත්ව සිටීම ඔබට දැනුණේ කොහොමද?
මම රංගනයට සහ සිනමාවට හරිම ආදරෙයි. මම පාසල් කාලයෙන් පස්සේ ආවේ සිනමාවට. මගේ ජීවිතේම වෙලා තිබුණේ සිනමාව. රඟපෑමෙන් ඈත්ව සිටියත් මම නිරන්තරයෙන් චිත්‍රපට නරඹමින්, අන් අයගේ රංගනයන් අධ්‍යයනය කරමින් සිනමාව සමඟම ජීවත් වුණා. මම කොතැනකට ගියත් මිනිසුන් තවමත් මට දක්වන ආදරය සහ ගෞරවය දකිනකොට මට ලොකු සතුටක් දැනෙනවා. සිනමාවේ තරු සලකුණු ඉන්නේ අතළොස්සක්නේ. මම විශ්වාස කරනවා ඒ අතරට එන්න මටත් හැකි වුණා කියලා. ඒ නිසා රිදී තිරෙන් මගේ නිර්මාණ දකින්න නොලැබුණත් මම සිනමාව කලාව ඇත් හැරලා නැහැ. මැරෙනකම්ම මම සිනමාවේ කොටසක් වෙලා ඉවරයි.
වර්තමාන සිනමාවේ අලුත් පරපුර ගැන මොකද හිතෙන්නේ?
මම මේ සිනමා නිර්මාණයේ දී අකලංක, ඩිනාරා, ඩිස්නි, යශෝධා රසඳුනි වගේ අය එක්ක රඟපෑවා. ඒ හැමෝම එදා මා එක්ක රඟපානවට වැඩිය අද හොඳ ගමනක් ඇවිත් තියෙනවා. ඒක තමයි වෙන්නත් ඕනේ. කලාව සිනමාව කියන්නෙම සමූහ කලා මාධ්‍යයක්. ඒ තුළ තනිව ගොඩනැඟීමක් නැහැ. මට මගේ චරිතේ සාර්ථක කර ගන්න පුළුවන් වෙන්නේ මට එහා පැත්තේ ඉන්න කෙනාගෙන් ලැබෙන සහයෝගය මත. නව පරපුරේ ශිල්පීන් හරිම දක්ෂයි. ඔවුන් සමඟ වැඩ කිරීමේදී මට කිසිම ගැටලුවක් වුණේ නැහැ. ඔවුන්ගේ වෘත්තීයභාවය සහ කැපවීම මම අගය කරනවා.
අධ්‍යක්ෂ සංජීව පුෂ්පකුමාර සමඟ වැඩ කිරීමේ අත්දැකීම මොන වගේද?
සංජීව කියන්නේ ලෝක සිනමාව ගැන පුළුල් දැක්මක් ඇති කෙනෙක්. ඒ වගේම ලංකාවේ සිනමාව ජාත්‍යන්තරයට ගෙන යාමට උත්සාහ කරන අධ්‍යක්ෂවරයෙක්. මම කාලයක් තිස්සේ ඔහු දිහාත් බලාගෙන හිටියා. ඔහුගේ සිනමා භාවිතාව ගැන මට අදහසක් තිබුණා. ඔහු සමඟ වැඩ කිරීම තරමක් අපහසුයි, මොකද ඔහු තම හිතේ තියෙන රූපය නිවැරදිවම ලැබෙනතෙක් දැඩි ලෙස වෙහෙසෙනවා. මම විශ්වාස කරනවා සංජීව කවදා හෝ ලෝක සිනමාවේ ඉහළම තැනකට යැයි කියලා.