මේ දවස්වල රට පුරාම කල්ලි ගැහිලා ජඩ වැඩ කරන කල්ලියක් ඉන්නවා. ඒ කල්ලියට කෙල්ලෙකුත් එකතු වෙලා. ඇත්තටම කවුද මේ කල්ලියට එකතු වුණු හැඩකාර කෙල්ල කියලා අපි හොයලා බැලුවා. ඇය මනුකා සෙතිනි. මනුකා මේ අමුතු කල්ලියට එකතු වුණාම ගොඩදෙනෙක්ගෙන් ඇයට පුදුම තරම් ආදරයක්, පිළිගැනීමක් ලැබෙනවා. ඉතින් අපි ඇයගෙන්ම ඒ ගැන අහලා දැනගන්නයි මේ සූදානම. Sri Lanka Latest News
මනුකා ‘අමුතු කල්ලිය’ සමග ගෙවන ජීවිතය කොහොමද?
මගේ මේ පළමු අත්දැකීම. වෙනසකට එක්ක ‘අමුතු කල්ලිය’ට එකතු වෙන්න අවස්ථාව ලැබුණා. හරිම සුන්දර අත්දැකීමක් වුණා එය මම හිතුවාටත් වැඩිය.
කොහොමද ඔබට මේ අවස්ථාව ලැබුණේ?
‘අමුතු කල්ලිය’ ටෙලිනාට්‍යයේ නිෂ්පාදක චාමර සමරවික්‍රම සර් තමයි මට ආරාධනා කරන්නේ. මේ ටෙලිනාට්‍යයේ ශිල්පීන් තෝරාගැනීමේ සම්මුඛ පරීක්ෂණයට එන්න කියලා ඔහු මට කිව්වා. ඒ හරහා තමයි මට සුරංගි චරිතය තුළින් මම ‘අමුතු කල්ලිය’ට සම්බන්ධ වෙන්නේ. මම නාඩගම්කාරයෝ, පාර කුරුල්ලෝ ටෙලිනාට්‍ය ගොඩක් ආශාවෙන් රසවිඳපු කෙනෙක්. නමුත් මම කවදාවත් හිතුවේ නැහැ ක්ෂේත්‍රයේ දැවැන්ත නිර්මාණකරුවන් දෙදෙනකුගේ නිර්මාණයක මේ තරම් ඉක්මනට රඟපාන්න ලැබෙවි කියලා. ‘අමුතු කල්ලිය’ ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂ ජයප්‍රකාශ් සිවගුරුනාදන් ඇතුළු කණ්ඩායමේ සියලු දෙනාගෙන් මට පුදුම සහායක් ලැබුණේ. මම මේ ක්ෂේත්‍රයට තවම අලුත්. එහෙමයි කියලා මාව පැත්තකට කරලා තිබ්බේ නැහැ. එයාලගේ පවුලේ කෙනෙක් විදියට මාව බලාගත්තා. ඒ හැම දෙනාටම ස්තුතිය පුද කරන්න මම මේක අවස්ථාවක් කරගන්නවා.
ඔබට හා හාපුරා කියලා ජනප්‍රිය රංගන ශිල්පීන් සම වැඩ කරන්න අවස්ථාවක් ලැබුණා?
මම තියපු පළමු පියවරේ මගේ මව විදියට රඟපාන්නේ දමිතා අබේරත්න. ඇයගෙන් ලැබුණු සහායත් ඒ වගේමයි. ‘අමුතු කල්ලිය’ කියන්නේ පවුලේ කතාව්. මගේ චරිතයේ හැටියට සුරංගි ගරාජ් එකේ කොල්ලෙක් සමග ආදර සම්බන්ධයක් ඇති කරගන්නවා. ඒ ආදර සම්බන්ධයත් සමග තමයි මගේ චරිතය ගලාගෙන යන්නේ. හරියටම කිව්වොත් මට මේ අමුතු කල්ලිය රංගන පාසලක්. එතැනින් ඉගෙන ගන්න මට ගොඩක් දේවල් තියෙනවා.
කැමරාව ඔබට නුහුරු දෙයක් වුණාට මේ චරිතයත් සමග වෙනස් වුණු විදිය කොහොමද?
ඇත්තටම මට බයක් දැනුණා. චරිතයකට හැඩගැහෙන එක හිතන තරම් ලේසි නැහැ. ටෙලිනාට්‍යය බලනකොට හිතෙන්නේ ගොඩක් ලේසි වැඩක් කියලා රඟපාන එක. හැබැයි කරලම බලන්න ඕනේ ඒකේ වෙනස. ජයප්‍රකාශ් සර් මට කිව්වේ චරිතය තුළ කලබල වෙන්න එපා, අපි හෙමිහිට චරිතයට හැඩගැහෙමු කියලා. ටෙලිනාට්‍යය මම පෞද්ගලිකව බලනකොට මට මාරම නිහතමානී සතුටක් දැනෙන්නේ. හැබැයි ටික ටික බලාගෙන යනකොට මටම දැනුණා මගේ අඩුපාඩු හදාගනිමින් මම ඇවිත් ඉන්න බව. තවත් ඉදිරියට සියලු අඩුපාඩු හදාගෙන රංගනය පැත්තෙන් මම ඉදිරියට යනවා.
ඒ කියන්නේ එතකොට නැටුමට විරාමයක්ද?
කවදාවත් මගේ දක්ෂතාවන් මම නතර කරන්නේ නැහැ. මම පොඩි කාලේ ඉඳලා නැටුම් හැදෑරුවා. මට උඩරට, පහතරට, සබරගමු නටුම් පුළුවන්. ඉතින් මගේ ඉදිරි සැලසුම මගේම කියලා කලායතනයක් කොළඹ අවට ආරම්භ කරන එක. දැනටමත් ඒ වැඩකටයුතු සැලසුම් කරගෙන තියෙන්නේ. මගේ ශිල්පීය දැනුම මතු පරපුර සමග බෙදාගන්න, ඔවුන්ට ඒ ගැන දැනුමක් ලබාදෙන්න මම කැමැතියි. ඉගෙන ගත්ත කිසිම දෙයක් අපතේ යවන්න මම කැමැති නැහැ.
පවුලේ අය මොකද කියන්නේ මනුගේ මේ තෝරාගැනීම ගැන?
මට මුලින්ම මගේ මවුපියන් දුන්න එකම අවවාදය හොඳට ඉගෙන ගන්න කියන එක. රටට හොඳ පුරවැසියෙක් වෙන්න කියන එක. කවදාවත් මගේ පවුලේ අයගෙන්වත් නෑදෑ හිතවතුන්ගෙන්වත් මගේ ගමනට විරුද්ධත්වයක් ඇතිවුණේ නැහැ. ඒ සියලු දෙනාගෙන් මට ගොඩක් උදව් ලැබෙනවා. ඒ හැමෝම අද සතුටු වෙනවා මගේ රඟපෑම ‘අමුතු කල්ලිය’ ටෙලිනාට්‍ය්‍ය තුළින් දැකලා. ඒ වගේම මේ වෙලාවේ මගේ පාසල මතක් කරන්න ඕනේ. මම ඉගෙන ගත්තේ මාලබේ රාහුල බාලිකා විද්‍යාලයෙන්. ඒ ලබපු දැනුමත් එක්ක අද මම ඉන්න තැන ගැන සතුටුයි. මට දැන් තේරෙනවා මගේ මවුපියන්ගේ මගපෙන්වීම යටතේ මම හරි ගමනක් ඇවිල්ලා තියෙනවා කියලා.
වසන්ත විතාරණගේ