කියන දේ සෘජුවම කියන, නොදන්නා දෙයට අතගහන්නේ නැතුව හැදෑරීමක් එක්ක හෙමින් ගමනක් යන ඇය රාජි. ‘පියසීලී‘ට වුණු ඇබැද්දියෙන් මුළු රටේම අවධානය දිනාගත්ත රාජි, මේ දවස්වල පුංචි තිරය විතරක් නෙවෙයි රිදී තිරයත් ජයගන්න ලෑස්ති වෙනවා. ප්‍රථම වතාවට ජාතික පුවත්පතක් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වන රාජි මධුවන්ති ‘මව්රට’ ‘හාට්’ සමග දොඩමලු වුණේ මේ විදියටයි.Sri Lanka Latest News
රාජි ඉතින් කොහොමද?
හොඳින් ඉන්නවා. මේ දවස්වල ‘නම්බර් ප්ලේට්’ සිනමා නිර්මාණයේ වැඩකටයුතු එක්ක තමයි ඉන්නේ.
ඔබේ අලුත් ටෙලිනාට්‍ය රංගන කටයුතු මොනවද?
පසුගිය දවස්වල ලසිත කාරියවසම්ගේ ‘ගේට්ටුවා’ ටෙලිනාට්‍යය විකාශය වෙලා අවසන් වුණා. මේ දවස්වල ‘ජහුටා’ ටෙලිනාට්‍යය විකාශය වෙනවා. මමත් ඒකේ රඟපානවා.
පසුගිය දවස්වල ලොකු ඇබැද්දියකට මුහුණ දෙන්න වුණා නේද ඔබට?
ඒ ප්‍රශ්නය වුණේ මට නෙවෙයි. මම රඟපෑ ‘පියසීලි’ චරිතයට. පියසීලී දර එකතු කරන්න කැලේට ගිය වෙලාවේ සේනබන්දු මුදලාලි මැරිලා ඉන්නවා දැක්කා. සේනබන්දු මුදලාලි මැරුවේ කපු මහත්තයා. නමුත් පියසීලී මැරුවා කියලා කතාවක් තමා ගම පුරාම ප්‍රචාරය වෙන්නේ. අවසානයේ පියසීලීට වුණේ වඳින්න ගිය දේවාලේ ඉහේ කඩන් වැටුණා වගේ වැඩක්. ඔය වගේ ප්‍රශ්නයක් එක්ක තමයි පියසීලීගේ චරිය ගලාගෙන ගියේ.
ගැහැනු ළමයෙක්ට හරිම පහසුයි නේද මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න?
පවුලේ කවුරු හරි ක්ෂේත්‍රයට සම්බන්ධ කෙනෙක් ඉන්නවා නම් ඒ හැඳුනුම්කම මත කලා ක්ෂේත්‍රයට යොමුවෙන්න පහසුයි. එහෙම නැතිව කාට වුණත් ලොකු කට්ටක් කාලා තමයි මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙන්නේ. එයට වාසනා ගුණයත් බලපානවා. කුමන වෘත්තියකට සම්බන්ධ වුණත් ඒ පිළිබඳ හැදෑරීමක් තිබීම ගොඩක් වැදගත් වෙනවා. ඉතින් මමත් හැදෑරීමක් කරලා, හොඳ අවබෝධයක් ලබාගන්න තවමත් විවිධ රංගන වැඩමුළුවලට සම්බන්ධ වෙනවා. මම මුලින්ම වෙළෙඳ දැන්වීම් හරහා තමයි කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වුණේ. පසුකාලීනව ටෙලිනාට්‍ය කිහිපයකට සම්බන්ධ වුණා. ඒ චරිත අතර පියසීලි චරිතය මට විශේෂ වුණා. එහි ගෞරවය හිමිවෙන්න ඕනේ ලසිත කාරියවසම් අයියාට. ඔහු නවක පිරිසට අතහිත දෙන සොඳුරු අධ්‍යක්ෂවරයෙක්. අපි මේ ක්ෂේත්‍රයේ කොච්චර දැඟලුවත් කාලයත් එක්ක යම් තැනකදි අපිට අවස්ථාව එනවා. ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන අපේ දක්ෂතාවයන් එළියට දාන්න ඕනේ. ‘ගේට්ටුවා’ ටෙලිනාට්‍යය මට මගේ ඒ දක්ෂතාවන් එළිදක්වන්න පාර කැපුවා.
රාජි වේදිකා රංගනය ප්‍රතික්ෂේප කරන බව අපි දන්නවා. එහෙම වීමට හේතුව?
ඇත්තටම මට වේදිකා නාට්‍ය සඳහා ආරාධනා ආවා. ඒත් මම කැමැති වුණේ නැහැ. මම ඒකට බයයි. මට වෙලාවකට හිතෙනවා තවම මම එයට සුදුසු තත්ත්වයක නැහැ කියලා. වේදිකාවේ සහ කැමරාවක් ඉදිරියේ රඟපාන එක තුළ ලොකු වෙනසක් තියෙනවා. මට වේදිකාවේ ලොකු අත්දැකීමක් නැහැ. නොදන්නා වැඩකට අතගහලා අතරමං වෙන්න බැහැ. ඉතින් මම කැමැති හෙඳ පුහුණුවක් ලබලා වෙනස් අත්දැකීමක් එක්ක ඉදිරියේදී වේදිකා නාට්‍යයක රඟපාන්න. වේදිකා රංගනය හරහා ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. කිසිම දෙයක් නොදැන කරන්න ගිහිල්ලා අතරමං වෙන්න මම කැමැති නැහැ.
ගොඩ දෙනෙක්ට විවාහයෙන් පසු රංගන කටයුතු සඳහා තහංචි වැටෙනවා. ඔබට කොහොමද?
විවාහ වෙන්න කලින් රංගන කටයුතු සඳහා පවුලේ අයගෙන් මට හොඳ සහායක් ලැබුණා. හැබැයි දැන් ඊටත් වඩා සහායක් මගේ සැමියාගෙන් ලැබෙනවා. කවදාවත් මට කියලා නැහැ රංගන කටයුතු නතර කරන්න කියලා. ලොකුම දේ තමයි ඔහු මට දෙන නිදහස. කවදාවත් මට මානසික පීඩනයක් දෙන්නේ නැහැ. සමහර අවස්ථාවල රූගත කිරීම් සඳහා මට කොළඹට යන්න වෙනවා. එහෙම වුණාම ඔහු මාව එක්කගෙන යනවා.
වසන්ත විතාරණගේ