රිදී තිරය හැඩ කළ සප්ත කන්‍යාවිය යළි “තාරා” ලෙසින් පසුගිය 06 වැනිදා සිට රිදී තිරයට ගොඩවැදුණා ය. 90 දශකයේ සිනමාවේ ආදරණීය තාරකාවියක වූ ඇය, නමින් සංගීතා වීරරත්න ය. ඇයත් සමග කතාබහ ‘ආදරණීය තරුවක්’ ගැන ය.
ඔබ රංගනයෙන් දායකවුණු ‘ආදරණීය තරුවක්’ තිරගත වෙන්න පටන් ගත්තා නේද?
ඔව්. ලොකු කාලයකට පස්සෙනෙ මගේ චිත්‍රපටයක් එළියට එන්නේ. ඉතිං මගේ මිතුරු මාධ්‍ය සගයන් මට හෘදයාංගමව සුබ පැතුවා. අලුතෙන් මට හමුවුණ මාධ්‍ය සගයන් ඔවුන් බලාපොරොත්තු නොවුණු දෙයක් දුටුවා කියලා කිව්වා. සියයට සියයක් හොඳ ප්‍රතිචාර තමයි ලැබුණේ.
කොච්චර කාලෙකට පස්සෙ ද චිත්‍රපටයක් තිරගත වෙන්නේ?
මගේ චිත්‍රපටයක් තිරගත වෙන්නේ අවුරුදු අටකට පස්සේ. මම අන්තිමට රඟපෑවේ ජයන්ත චන්ද්‍රසිරිගේ ඝරසර්ප චිත්‍රපටයේ. ඒක 2018 අගෝස්තුවල තිරගත වුණා. ඝරසර්ප චිත්‍රපටයේ ප්‍රධාන චරිතය මම රඟපෑවාට මගේ චරිතයට තිර කාලය තිබුණේ විනාඩි පහක විතර කාලයක්. නමුත් ඒ චරිතය හදවතටම දැනෙන චරිතයක්. ඒකෙන් පසුව ප්‍රේක්ෂකයන්ට මාව මුණගැසෙන්නේ ‘ආදරණීය තරුවක්’ චිත්‍රපටය හරහායි.
ඇත්තටම රඟපානවා කියන එක කාලසීමාව නෙමෙයි වැදගත්. අපි ඒ චරිතයට කරන කැපකිරීම තමයි වැදගත්. නමුත් නව පරපුරත් එක්ක වැඩ කරන කොට ඔවුන්ගේ අත්දැකීම් එක්ක යන ගමන මට හරි ලස්සන අත්දැකීමක් වුණා.
‘ආදරණීය තරුවක්’ සඳහා ආරාධනා ලැබුණේ කොහොමද?
මට මුලින්ම කතා කරන්නේ මේ චිත්‍රපටයේ නර්තන අධ්‍යක්ෂවරයා වන ගයාන් ශ්‍රීමාල්. එයා මට කියනවා සාරංගගේ අලුත්ම චිත්‍රපටය ‘ආදරණීය තරුවක්.’ ඒකේ අධ්‍යක්ෂ ඩිල්ෂාන් අමරසිංහ කියල අලුත් කෙනෙක්. කොහොම හරි වැඩේට සම්බන්ධ වෙන්න කියලත් කිව්වා. ඊට පසුව මට සාරංගත් කතා කළා. කොහොම කළත් මට හැමදාම තිර රචනාව වැදගත්. ඩිල්ෂාන් මට කතාව කිව්වහම හරි ආසා හිතුණා. ආදරය ගැන වෙනස්ම විදිහට කතා කරන චරිතයක් තමයි තාරා කියන්නේ. තාරා වගේ චරිතයක් මම මීට කලින් කරලත් තිබුණේ නැහැ.
‘ආදරණීය තරුවක්’ පිටපත කියෙව්වහම මොකද හිතුණේ?
ඇත්තටම ඒ පිටපතට ආස හිතුණා. හරිම ලස්සන අවසානයක් තියෙන පිටපතක්. ප්‍රේක්ෂකයා බලාපොරොත්තු නොවන අවසානයක් තියෙන පිටපතක්.
තාරා ‘ආදරණීය තරුවක්’ නිර්මාණයේ හැරවුම් ලක්ෂ්‍යයක් කිව්වොත් හරි නේද?
ඇත්තටම ඔන්න ඔය වගේ කරුණු කාරණා කිහිපයක් හින්දමයි දිගු කාලයකට පස්සේ මේ චිත්‍රපටය භාරගත්තේ. තිරයේදී එවැනි වෙනසක් කරන්න මම හරි ආසයි.
රූගත කිරීම් අත්දැකීම් මොනවගේ ද?
ඇත්තටම මට හරි ආසා හිතුණේ සාරංග මෙහි නිෂ්පාදන කටයුතුවලට ලෑස්ති වුණ විදිහටයි. ඔවුන්ගේ වැඩ හරි පිළිවෙළයි. ඒ ගැන ඇත්තටම නිෂ්පාදකවරයා වන සාරංගට මේ වෙලාවේ ස්තුතිවන්ත වෙන්න ඕනෑ.
අවුරුදු අටකට පස්සේ සංගීතාට සංගීතාව තිරයෙන් දකිද්දී මොකද හිතුණේ?
ඇත්තටම ආස හිතුණා. අනේ මන්දා ඉතිං. පෙර පුරුද්දක් ද මන්දා. කොහොමටත් මම මගේ වැරදිමනේ හොයන්නේ. ඒවා මම ගිහිල්ලා කාගෙන් හරි ඇහැව්වහම “ඔයාට පිස්සුද කියලත්” ඒ කියන අය අහනවා. සතුටු වුණත් මම හැමදාම විඳින විදිහ වෙනස්.
එදා සාරංග එක්ක එකට රඟපෑ අත්දැකීම් ගැනත් කතා කළොත්?
ඔහුගේ පළමු වැනි චිත්‍රපටයටත් වැඩ කළේ මාත් එක්ක. ඔහු එක්ක මට වැඩ කරලා හොඳට පුරුදුයි. සාරංග කියන්නේ මගේ යාළුවෙක්. ඒ වගේම තමයි ඩිල්ෂාන් කියන නවක අධ්‍යක්ෂකවරයා. ඔහු එක්කත් පළමු වතාවට තමයි වැඩ කළේ. මට හොඳ නිෂ්පාදක කණ්ඩායමක් තමයි මුණගැසුණේ. ඔහු හොඳ දක්ෂ රංගන ශිල්පියෙක්. ඔවුන් අලුත් ද පරණ ද කියන එකට වඩා මම ආසා ඔවුන්ගේ හැකියාවත් එක්ක වැඩ කරන්නයි. රංගන හැකියාව උපරිමයෙන් තියෙන දෙපළක් එක්ක මම හරි ආසාවෙන් කරපු වැඩක්.
‘ආදරණීය තරුවක්’ හින්ද අලුත් ආරාධනා එහෙමත් ලැබුණාද?
කොහොමටත් මම සයින් අවුට් කියලා චිත්‍රපටයක රඟපෑවා. රුපියලක් දෙන්න කියලා ළමා චිත්‍රපටයකත් රඟපෑවා. සයින් අවුට් කියන්නේ බෙනට් රත්නායකගේ අලුත්ම නිර්මාණය. උදාර රත්නායකගේ අලුත්ම චිත්‍රපටය වන ‘නැන්දම්මා’ කියන චිත්‍රපටයටත් ආරාධනාවක් ලැබුණා. මේ චිත්‍රපටවලත් වෙනස්ම චරිත තමයි මට කරන්න හම්බවෙලා තියෙන්නේ.
රංගන ජීවිතය ගැන ආපසු හැරී බැලුවොත් මොකද හිතෙන්නේ. අද වෙන කොට සංගීතා නතර වෙලා ඉන්නේ ‘ආදරණීය තරුවක්’ ළඟ නේද?
‘ආදරණීය තරුවක්’ ගාව තමයි හැමදාම අපි ඉන්නේ. ඒක තමයි මම ආසදේ. ආදරණීය භාවයට මට හිතන්නේ තරුවක් ද නැත්ද කියා එකට වැඩිය හැම සතුටම අපිට තියෙන්නේ ආදරය එක්කයි. හැමතැනකදීම අපි හොයන්නේ ආදරයනේ. ඉතිං මම හිතන්නේ ආදරණීය තරුවක් වුණහම ඊටත් එහාට ගිය ජීවිතයේ හැමෝටම හමුවෙන ආදරය තමයි මම ඉස්සෙල්ලා කිව්වේ. තරුවක් විදිහට හම්බ වෙන ආදරය හරිම සීමාසහිතයි නේ. ඉතිං ඒ ආදරය ලබනවා කියන්නේ පුදුම සතුටක්. වාසනාවක්. පිනක්.
චිත්‍රපටය තිරගත වෙනකම් තිගැස්මක් තිබුණද?
ඒක තවමත් තියෙනවා. ඔබත් සමග කතා බහ කළත් මංගල දර්ශනයෙන් පසුව ප්‍රේක්ෂකයෝ මේක මොන විදිහට ද භාරගන්නේ කියන කාරණාව ගැන හිතන කොටත් තිගැස්මක් තියෙනවා.
මේ ගමන පටන් අරගෙන දැන් අවුරුදු 36 ක් වෙනවා. අවුරුදු 36 ක් සිනමාවේ හිටියා කියන්නෙත් ලේසි නැහැ. මේ ගමන ලේසි ගමනකුත් නෙමෙයි. නමුත් අපි තමන්ගේ වැඩේට කැපවෙන්න ඕනෑ. මම හිතන්නේ ඔක්කොටම වඩා තමන් කරන රස්සාවට ආදරය වෙන්න ඕනෑ. ආදරය නැතිව හැමදේම ලස්සන වෙන තැනක නෙමෙයි නේ අපි ඉන්නේ. මොන දේ වුණත් අපි මේකේ ඉන්නවා.