වසර එකොළහකට පසු – සබීතා තිරයට

gossiplanka image 1
 



80 දශකයේ කලා ක්‍ෂේත්‍රයට පය තබන සබීතා පෙරේරා පිවිසෙන්නෙ, එදා මෙදා තුර ලංකාවේ පැවැති සිනමාවේ ස්වර්ණමය යුගයට. හැබැයි ඒ ගමන හිතන තරම් පහසු වුණේ නැහැ. හිත් රිදීම්, කලකිරීම්, පසුතැවීම් අඩුවක් නැතිව තිබුණත්, උත්සාහය අත්නොහල නිසාම අදටත් ප්‍රේක්‍ෂක හදවතේ ඉහළින්ම ඇය ඉන්නවා.


මෑත කාලයේ සබීතා අවසන් වරට රඟපාන්නෙ ‘ඇඩ්‍රස් නෑ’ චිත්‍රපටයේ. එයින් අවුරුදු එකොළහකට පස්සෙ ඇය චිත්‍රපටයක් භාරගන්නව. ඒ ‘විහඟ ප්‍රේමය’. මෙතැන් පටන් අපි ඇයට සවන් දෙමු.


‘ඇඩ්‍රස් නෑ’ චිත්‍රපටයේ රංගන දායකත්වයෙන් අවුරුදු එකොළහකට පස්සෙ තමයි ‘විහඟ ප්‍රේමය’ චිත්‍රපටයට මම සම්බන්ධ වෙන්නෙ. ඒ තරම් කාලයක් ගතවුණා කියන දේ මට දැණුනෙ නැහැ. සමහරවිට කලාවට සම්බන්ධ දේවල්වලට නිතර නිතර සහභාගි වෙන නිසා වෙන්න ඇති.


අවුරුදු එකොළහකට පස්සෙ ඇය තෝරාබේරාගෙන චිත්‍රපටයක් භාරගන්නව. ඒ තුළ ඇයට කරන්න යමක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනා. නැතිනම් ඒ නිර්මාණය භාරගනීවි කියල කෙනකුට හිතෙන්නෙ නැහැ.


පසුගිය කාලෙ මට තිරනාටක කිහිපයක්ම ලැබුණත් ඒ එකක්වත් භාරගන්න හිතුනෙ නැහැ. මේ පිටපත මට ගෙනත් දුන්නෙ සංජීව. ඔහුගෙ නිර්මාණ මම බලල තියෙනව වගේම අලුතින් යමක් කරන්න උත්සාහ කරන තරුණයෙක් විදිහට තමයි මම ඔහුව දකින්නෙ. පිටපත කියෙව්වට පස්සෙ මට දැණුනා ඒක මීට කලින් කවුරුවත් කතාකරල නැති සබ්ජෙක්ට් එකක් කියල. මූලික කතාව ළමා ජාවාරමක් වුණාට ඉන් එහාට ගිහින් මිනිස්සුන්ගෙ ජීවිත ගැන විවරණයක් කරනව. මම රඟපාන මාලනී කියන චරිතයෙන් ගෙනහැර දක්වන සජීවී චරිත මේ සමාජයේ එදාත් හිටියා, අදත් ඉන්නව, හෙටත් ඉඳීවි. එවැනි චරිතවලට රටක් අදාළ නැහැ. අපේ රටේ වගේම පිටරටවලත් ඉන්න පුළුවන්. නමුත් ප්‍රශ්නය තියෙන්නෙ ඇයි මිනිස්සු මේ වගේ දේවල්වලට පෙළඹෙන්නෙ කියන කාරණාවත් එක්ක. අන්න ඒ ගැන මේ නිර්මාණය හරහා කතා වෙනව.


රූගතකිරීම් තිබුණෙ පාදුක්ක ප්‍රදේශයේ. ලොකේෂන්වල ලොකු ගැටලුවක් තිබුණෙ නැහැ. විශේෂයෙන්ම මේ නිර්මාණයේදි මට වැඩ කරන්න ලැබුණෙ අලුත් අයත් එක්ක. ඩිනාරා, අකලංක, ඩිස්නි, යශෝධා රසඳුනී වගේ කිහිප දෙනෙක්ම හිටියා. නමුත් කිසි ගැටලුවක් නැහැ. අපි හොඳින් වැඩ ටික කළා. ඒක වඩාත් පහසු කළේ අපේ පෙර සූදානම.


රංගවේදයේ මහා වෘක්ෂයක් තම ක්‍ෂේත්‍රයේම අංකුර සමග මනා සංකලනයක් ඇතිකරගන්නව.


ඒ මොනවගේද යන්න මේ නිර්මාණය රසවිඳින ප්‍රේක්‍ෂකයාට දැකගන්න පුළුවන්.


මම හැමදාමත් කලාවත් එක්ක ජීවත් වුණ කෙනෙක්. ඒක මගේ ජීවිතයට බද්ධ වෙලා. ටී.වී. එකෙන් දකිනවාට වඩා පුළුල් තිරයේ දැනෙන ප්‍රබලත්වයට මම හරි කැමතියි. ඒක මිනිස්සුන්ට දැනෙනවාත් වැඩියි.


මේ කාලයේ සිනමාවට වසන්තය උදාවෙලා කියල කියන්න පුළුවන්. පසුගිය කාලෙම මට හරි දුකක්, කනගාටුවක් දැණුනා, අපේ සිනමාවෙ වෙනසක් වෙන්නෙත් නැහැ, චිත්‍රපට කර්මාන්තයේ වෙනසක් වෙන්නෙත් නැහැ, මොකක්ද මේ වෙන්නෙ කියල.


නමුත් ගිය අවුරුද්දෙ චිත්‍රපට තිස් පහක් තිරගත වෙලා තියෙනව. මේවා බලන්න මිනිස්සු හෝල්වලට ඇවිත් තියෙනව. ඒක තමයි ලොකුම දේ. අලුත් අධ්‍යක්‍ෂවරු, අලුත් නළු නිළියො බිහිවෙනව. සිනමාව කර්මාන්තයක් විදිහට ගොඩනැගෙනව. පසුගිය දවස්වල අපේ කිහිප දෙනෙක් ජාත්‍යන්තර සම්මාන දිනුවා. විහඟ ප්‍රේමයත් ඒ වගේ සම්මාන කිහිපයක්ම දිනුවා. ඇත්තටම හරි සතුටුයි මට.


තමන් වැඩකරන, තමන් ආදරය කරන ක්‍ෂේත්‍රය ටිකෙන් ටික ඉහළට එනව දකිනකොට දැනෙන හැඟීම සබීතාගේ වචනවලට වඩා තිබුණෙ ඇස්වල. මේ විදිහට වචන වුණේ ඒ සතුට.


අසූව දශකයේ මම ක්‍ෂේත්‍රයට එනකොට සිනමාව තිබුණෙ ස්වර්ණමය යුගයක. ගාමිණී, මාලනී, විජය, ටෝනි, රවීන්ද්‍ර, ජෝ වැනි අය මේ සිනමාව තුළ හිටියා. ඒක පුදුම කාලයක්, පුදුම යුගයක්. සිනමාවේ හැම පැත්තක්ම සශ්‍රීකව තිබුණා.


ස්වර්ණමය යුගයක මතකාවර්ජනයත් සතුටක්. කාලයත් සමග බොහෝ දේ අතීතයට එකතු වුණත් ඒ මතකයන් අදටත් ජීවමානයි.


සිනමාවටම ආදරය කරන සබීතා ටෙලි නාට්‍යයට වැඩි උනන්දුවක් නැහැ. නමුත් හොඳම නිර්මාණයකට ආරාධනයක් ලැබුණොත් සලකා බලනව කියලයි කියන්නෙ.


මෙතෙක් දුර ආපු ගමනෙදි පසුතැවීම්, කලකිරීම් නැති වුණා නෙමෙයි. මොකද ජීවිතය කියන්නෙ ඒ හැමදේකම මිශ්‍රණයක්. මම ආවෙ හරි කටුක ගමනක්. ගොඩාක් කැපකිරීම් කරලා, මහන්සිවෙලා, උත්සාහ කරලා අද ඉන්න තැනට ආවෙ. මේ වනවිට චිත්‍රපට සියයකට විතර රංගනයෙන් දායක වෙලා තියෙනව. රටක කලාකරුවෙක් විදිහට ප්‍රේක්‍ෂකයන්ගේ හදවතේ ඉන්න පුළුවන් ටික දෙනකුට විතරයි. ඒ කිහිප දෙනා අතර මමත් ඉන්නවා කියන හැඟීම මට තියෙනව.


මම ආ ගිය තැන්වලදි ගොඩක් අය අහපු දෙයක් තමයි, ඇයි චිත්‍රපටයක් එන්නෙ නැත්තෙ, දැන් වැඩ කරන්නෙ නැද්ද, වැඩිය දකින්න නැත්තෙ මොකද වගේ දේවල්. ඒ අය අහපු ප්‍රශ්න ගොඩකට දැන් පිළිතුරක් ලැබිල තියෙනව. මම හැමදෙනාගෙන්ම ආදරෙන් ඉල්ලන්නෙ, එන්න, ඇවිත් චිත්‍රපටය නරඹන්න, ගුණ දොස් කියන්න. ඒ හැමදේම මට වටිනවා.


සබීතාගේ ඒ ආදරණීය ඉල්ලීමත් එක්ක අපේ කතාබහත් අවසන් වෙනවා.

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
Previous Post Next Post