ඒ කාරණයත් එක්ක, කවදා හරි දවසක සිංහල සිනමාවට හොඳ නිර්මාණයක් වගේම මතක සටහනක් ඉතිරි කරන්න පුළුවන් නිර්මාණයක් කරන්න ඕනා කියන අදහස මා තුළ ඇති වුණා.
වර්තමානයේ චිත්‍රපටයක් නිර්මාණය කරනවා කියන දේත් ලෙහෙසි පහසු නැහැ. ඒ වගේම මම දැකපු දෙයක් තමයි ඇතැම් අය මේක තවත් ආයෝජනයක් කියන තැන ඉඳන් වියදම් කරල බිස්නස් එකක් විදිහට චිත්‍රපට නිෂ්පාදනය කරනව. එතැනදි අධ්‍යක්‍ෂවරයාට හෝ නිර්මාණයට සාධාරණයක් නොවෙන තැන් මම දැකල තියෙනව. මේ නිසා මම ගොඩක් වෙලාවට කැමතියි කලාව තුළම ඉන්න කෙනෙක් නිෂ්පාදන කාර්යයට අතගහනවනම්. බොලිවුඩ්වල අපිට මේ තත්ත්වය හොඳින් දැකගන්න පුළුවන්.
මේ කියන හැම කාරණාවක් ගැනම සැලකිල්ලට අරගෙන, රංගන ක්‍ෂේත්‍රය තුළ මේ වනවිට මම ගොඩනගාගෙන තියෙන යම් මට්ටමක ස්ථාවරත්වයත් එක්ක, සිනමා නිෂ්පාදන කාර්යයට අත තියන්න මේ හොඳම වෙලාව කියල මම හිතුවා.
ඒ අනුව ‘ආදරණීය තරුවක්’ එක්ක දිසාසේකර ෆිල්ම්ස් කලඑළි දකිනව.
අපේ කතාබහට එක්වන මේ ආදරණීය තරුව සාරංග දිසාසේකර. කලා පවුලකින් උපන් ඔහුගේ දක්‍ෂතාව එක් දෙයකට පමණක් සීමා වුණේ නැහැ. රංගන ක්‍ෂේත්‍රය තුළ කෙමෙන් කෙමෙන් ස්ථාවරත්වයට පත්වෙන සාරංග පියවරෙන් පියවර ඔහුගේ සිහිනයට ළං වෙනව. ඒ අනුව බිහිවෙන දිසාසේකර ෆිල්ම්ස්, තමන්ගේ පළමු සිනමා නිර්මාණය ප්‍රේක්‍ෂකයන්ට තිළිණ කරන්නේ, එදා සැබෑ ජීවිතයේ නෑනා සහ මස්සිනා වුණ බී. ඒ. ඩබ්. ජයමාන්න සහ රුක්මණී දේවි 1947 වර්ෂයේදී ‘කඩවුණ පොරොන්දුව’ චිත්‍රපටයේ ප්‍රධාන නළුවා සහ නිළිය ලෙස රංගනයේ යෙදෙමින් සිදුකළ සිනමාත්මක වෙනස මෙදා 2026 වර්ෂයේදී සාරංග දිසාසේකර සහ ශනුද්‍රි ප්‍රියසාද් එක්ව ‘ආදරණීය තරුවක්’ සිනමා නිර්මාණයේදී නැවතත් අලුත් කරමින්.
මම අලුත් නිෂ්පාදකයෙක්. ඒ වගේම මට ඕනා වෙනස් විදිහකට සිනමාව දකින්න. එතකොට දැනට සිනමා ක්‍ෂේත්‍රයේ ඉන්න අධ්‍යක්‍ෂවරයෙක් එක්ක මේ ගමන ගිහින් වැඩක් නැහැ කියන දේ මට හිතුනා. එහෙම නම් එනැනටත් නැවුම් බවක් ගේන්න ඕන. ඒ නැවුම් බව ගේන්න නම් අලුත් අධ්‍යක්‍ෂවරයෙක් ඕන. ඒක එක පැත්තකින් අවදානම් සහගත දෙයක්. මේ ගමන කලින් නිර්මාණ කරලා ප්‍රේක්‍ෂකයන්ගෙ විශ්වාසය දිනාගත්ත කෙනෙක් සමග යන්න වුණා නම් ඒක සුවපහසු වෙන්න පුළුවන්. නමුත් රිස්ක් එක ගන්න මම තීරණය කළේ දිල්ශාන් ගැන තිබුණ විශ්වාසයත් එක්ක. මොකද මින් පෙර මම ඔහුගෙ අධ්‍යක්‍ෂණය යටතේ ටෙලි නාට්‍යයකට රංගනයෙන් දායක වුණා. එතැනදි මම දැකපු විශේෂම දේ තමයි ඔහුගේ නිර්මාණශීලීත්වය. ඇත්තටම දිල්ෂාන් කියන්නෙ ටෙලි නාට්‍යයකට කොටු නොවිය යුතු අධ්‍යක්‍ෂවරයෙක් කියල එදා මම හඳුනාගත්තා. ඒ හඳුනාගැනීමත් එක්ක මම දිනක්‍ෂිත් එක්කත් කතා කරලා අපි තීරණය කළා ඔහු අපේ පළමු සිනමා නිර්මාණයේ අධ්‍යක්‍ෂවරයා විය යුතුයි කියල.
ඒ අනුව දිල්ෂාන් එක්ක වැඩි විස්තර කතාකරදිදි තමයි දැනගත්තෙ ඔහු වෙළෙඳ දැන්වීම් ක්‍ෂේත්‍රයේ බොහෝ අත්දැකීම් ඇති කෙනෙක් වගේම සිනමාව පැත්තෙන් විදේශයන් හිදී පවා අධ්‍යයනය කළ කෙනෙක් කියල. ඒ වගේම ඔහු බොහොම ආසාවෙන් බලාගෙන ඉඳල තියෙනව මේ වගේ අවස්ථාවක් ලැබෙන තුරු.
පිටපත් රචක දුල්හාරි ඉලංගකෝන් කියන්නෙත් වෙළෙඳ දැන්වීම් ක්‍ෂේත්‍රයේ ඉන්න කෙනෙක්. සිනමාව කියන්නෙ ඇයට අලුත් දෙයක්. මේ විදිහට තමයි තුන් කුළුඳුල් නිෂ්පාදනයක් විදිහට ‘ආදරණීය තරුවක්’ නිර්මාණය වෙන්නෙ.
සාරංගගේ හීනය සැබෑවක් ලෙසින් මාධ්‍යයට විවර කළ දවස ඔහුගේ ජීවිතයට නොමැකෙන මතකයක් එක්වන්නට ඇති…
‘ආදරණීය තරුවක්’ චිත්‍රපටයේ මාධ්‍ය දර්ශනය දවස ඇත්තටම මට සුවිශේෂීයි. එදා මට ලැබුණෙ මම හිතුවාටත් වඩා හොඳ ප්‍රතිචාර. ඉතාම විචිත්‍රවත් චිත්‍රපටයක් කියන දේ වගේම අපේ අලුත් පරම්පරාව චිත්‍රපටයකින් බලාපොරොත්තු වෙන දේ මේ නිර්මාණය තුළ තියෙනව කියන දේ එදා මට බොහෝ දෙනෙක් කිව්වා. ඒ වගේම විනෝදාස්වාදය පිරුණ සාමාන්‍ය චිත්‍රපටයකට එහා ගිය ගැඹුරක් තියෙන, පවුලේ හැමෝටම එකට සිට නරඹන්න පුළුවන් චිත්‍රපටයක් ප්‍රේක්‍ෂකයාට තිළිණ කරන්න ලැබීම ගැන මම අද සතුටු වෙනව.
මේ නිර්මාණයේ ගීත කිහිපයක්ම ඇතුළත් වෙනව. දිනේෂ්, කාංචනා, කයිසර්, රයිනි, නදීමාල් වගේ තාරුණ්‍ය අතර ජනප්‍රිය ගායක ගායිකාවන් තමයි ගායනයෙන් එකතු වෙන්නෙ.
ආදරණීය කතාවක් තුළ යුග තුනක් දකින්න පුළුවන්. ඒ සංගීතා, සාරංග සහ ශනුද්‍රි. මේ යුග තුන චිත්‍රපටය තුළ සංකලනය වන හැටි හරි අපූරුයි.
අපි මුලින්ම චරිත ගැන හිතන්නෙ නැතිව තිර පිටපත රචනා කළා. නළු නිළි වරණය වෙලාවෙ ප්‍රධාන චරිතය මම රඟපානව කියන තැනට ආවා. ශනූ සහ මගේ නෑදෑකමත් එක්ක අපි දෙන්නගෙ සුසංයෝගය කොතෙක් දුරට සාර්ථක වෙයිද කියන ප්‍රශ්නය දිල්ෂාන්ට ආපු නිසා අපි ශනූ වෙනුවට විවිධ ඔප්ෂන් හෙව්වා. නමුත් අවසානයේ නතර වෙන්නෙ ශනූ ළඟ. මොකද චරිතයට ගැළපෙන හැමදේම තිබුණෙ ඇය ළඟ. සංගීතාගේ චරිතයට නම් වෙන විකල්පයක් අපිට තිබුණෙ නැහැ. ඇය චරිතය ප්‍රතික්‍ෂේප කළා නම් බොහෝ දුරට මේ චිත්‍රපටය නොකෙරෙන්නත් ඉඩ තිබුණා. ඒ නිසා අපි ඇය ළඟට ගියේ ඉතාමත් හොඳ සූදානමකින්.
ශනූ කියන්නෙ අපිට පස්සෙ පරම්පරාවෙ තරුණ තරුණියන්ගෙ සිත් ඇද බැඳ ගත් රංගන ශිල්පිනියක්. ඒ වගේම අපි පාසල් යන කාලයේ පටන් ආදරය කළ සංගීතා වීරරත්නට වෙනම රසික පිරිසක් ඉන්නව. මාත් එක්ක මෙච්චර කාලයක් මගේ චරිතවලට ආදරය කරපු පිරිසක් ඉන්නව. ඇත්තටම මේක යුග තුනක් නියෝජනය වෙන වැඩක්.
සාරංගගෙ වැඩේ ඇතුළෙ මෙච්චර ජනප්‍රිය දිනක්‍ෂිට තැනක් තිබිල නැහැ. සමහර අය එහෙම කියනවත් ඇහුණා. ඇත්තටම එහෙම වෙන්න ඕනද. සාරංග ළඟ තමයි හරිම උත්තරය තියෙන්නෙ.
ඇත්තටම මේ නිර්මාණය තුළ දිනක්‍ෂිට ගැළපෙන චරිතයක් තිබුණෙ නැහැ. ඒ වගේම මගේ නිෂ්පාදනයක් වුණ පමණින් දිනක්‍ෂිට චරිතයක් තිබිය යුතුයි කියන තැන මම නැහැ වගේම දිනක්‍ෂිත් එතැන නැහැ. එහෙම පීඩනයක් ඇයගෙන් ආවා නම් ඒක මට ප්‍රශ්නයක් වෙන්නත් තිබුණා.
විශේෂයෙන්ම මෙහි එන දර්ශනතල ගැන කියන්න ඕනා. මොකද අපිට මුල ඉඳන් විශන් එකක් තිබුණා, ලොකේෂන් කලින් නිර්මාණයකට පාවිච්චි කරපු එකක් වුණත් අපි ෂූට් කරන්නෙ වෙනස් විදිහට කියල. එක තැනකදි දිල්ශාන් මට කියනව අයියේ අපි ෆස්ට් ටයිම් හන්ඩ්‍රන් ඩාන්සර්ස්ල ඉන්න සිංදුවක් කරමු කියල. මුලදි මට පොඩි ප්‍රශ්නයක් ආවත් වැඩේට බැස්සට පස්සෙ අපිට එක එක පැතිවලින් දොරවල් ඇරුණා.
මේක ලොකු වැඩක්. නිෂ්පාදකවරයා මත මහා බරක්. ප්‍රධාන නළුවා වෙන්නෙත් ඔහු. නමුත් සාරංග අභියෝගය භාරගත්තා.
මම අවදානම් ගන්නව. මට මං ගැන විශ්වාසයි වගේම මෙච්චර කාලයක් මම එකතුකරගත්ත පිරිසක් ඉන්නව. මම කාටවත් වරදක් කරල නැහැ. කළු පැල්ලම් නැහැ. ඒ නිසා ඕනෑම තැනක ඕනෑම කෙනකුට ගිහින් කතා කරන්න පුළුවන්. චිත්‍රපටය බලපු කෙනෙක් දන්නව අපි යූස් කරපු එපාර්ට්මන්ට්, එක ගීතයකට අපි නොගිය තැනක් නැහැ. බයක්, චකිතයක් දැණුනෙ නැහැ. මොකද මට හොඳ ටීම් එකක් හිටියා. ඔවුන් ගැන මට හොඳ විශ්වාසයක් තිබුණා.
නිෂ්පාදනයට අතගහපු සාරංග අධ්‍යක්‍ෂණයට අත නොතියා ඉඳීවිද. ඔහු ප්‍රේක්‍ෂකයාට බලාපොරොත්තු තැබිය හැකි ඉඟියක් දුන්නෙ ඒ නිසාම වෙන්න ඇති.
මම හැම දේම කළේ මගේ ජීවිතයට හරි කාලය අවාම. අධ්‍යක්‍ෂණය පැත්තෙන් මගේ ස්ටයිල් එකේ වෙනස් වැඩක් කරන්න ඕනා කියන දේ ඔළුවෙ තියෙනව. ඒකට කාලය ආවාම දිසාසේකර ෆිල්ම්ස් හරහාම මගේ අධ්‍යක්‍ෂණයක් දැකගන්න පුළුවන් වෙයි.
ඇත්තටම මට කලබලයක් නැහැ. හදිසියේ පටන්අරගෙන ඉවරකරගන්න බැරිනම් ඒ පටන්ගැන්මෙන් වැඩක් නැහැනෙ. අවුරුදු විස්සක් පුරාවට ප්‍රේක්‍ෂකයන් මං ගැන විශ්වාසය තියල තියෙනව අවරගනයේ වැඩක් කරන්නෙ නැහැ කියල. මට ඒක බිඳින්න බැහැ.
සිනමා නිර්මාණයක මූලික දේවල් අතර එයට යොදන නම විශේෂයි. මොකද ප්‍රේක්‍ෂකයාට පළමුව දැනෙන තැන එතැන.
මේ චිත්‍රපටයට විවිධාකාරයේ නම් ලැබුණා. විවිධ තර්ක කළා. කෙනෙක් කැමති වුණත් අනෙකා අකමැති වුණා. නමුත් අවසානයේ ‘ආදරණීය තරුවක්’ ළඟ හැම දෙනාම නැවතුණා.
ශනූ සහ ඇයගෙන් පස්සෙ පරම්පරාව අපේ සිනමාව ලෝක සිනමාවත් එක්ක සංසංදනය කරනව. අසල්වැසි ඉන්දියාවත් එක්ක සංසංදනය කරනව. හැමදාම අපිට මේක නැහැ, මේක බැහැ කිය කිය ඉඳල හරියන්නෙ නැහැ. මේ ගැප් එක අඩු කරන්න නම් අපි ලෝකෙත් එක්ක ඉදිරියට යන්න ඕන. ඉතිං ‘ආදරණීය තරුවක්’ කියන්නෙ ඒ වෙනුවෙන් ගත්ත එක පුංචි පියවරක්. අපි ගත්ත ඒ පියවර කොච්චර දුරට සාර්ථකද, ඊළඟ නිර්මාණයක් වෙනුවෙන් කොහොමද අපි වැඩිදියුණු වෙන්න ඕනෙ කියන දේ මේ නිර්මාණයට ලැබෙන ප්‍රතිචාරත් එක්ක තමයි තීරණය වෙන්නෙ.
‘ආදරණීය තරුවක්’ ආදරණීයව ජීවිතය දකින්න කියාදෙනව.
මේ දුවන රේස් එක ඇතුළෙ සමහර තැන්වලදි අපිට ආදරය මගහැරෙනව. ගොඩක් දෙනෙක් මට දුන්න කමෙන්ට් එක වුණේ, මේ චිත්‍රපටයේ කොහේ හෝ තැනක තමන්ගෙ කෑල්ලක් තියෙනව කියන දේ. ඒක එක පරම්පරාවකට සීමා වෙන්නෙ නැහැ. හැමෝටම පොදුවේ දැනෙන තැනක ‘ආදරණීය තරුවක්’ තියෙනව.
මහේෂ් එදිරිසිංහඡායාරූප – ගයාන් කරුණාරත්න