පුජනී භාග්‍යා විවාහයෙන් පසු නැවතත් රංගනයෙන් මුණ ගැහුණේ නැහැ. නමුත් මේ දිනවල විකාශය වෙන සංවරය ටෙලි නාට්‍යයේ චමත්කාගේ චරිතයෙන් පූජනී නැවත රංගන ක්ෂේත්‍රයට ඇවිත්. කාලෙකට පස්සේ නැවත රංගනයට පැමිණීම ගැන පූජනී එක්ක කතා කරන්න හිතුවා.
පූජනි පහුගිය කාලෙ දකින්න ලැබුණෙ නැත්තෙ ඇයි?
පවුල් ජීවිතයට වැඩි ඉඩකඩක් දුන්න නිසා පහුගිය කාලෙදි මම රංගන කටයුතුවලට වැඩිය සම්බන්ධවුණෙ නැහැ. හැබැයි දැන් නම් ඉතින් රසිකයන්ට සංවරය හරහා මාව දකින්න පුළුවන්. ගයාන් එක්ක විවාහවුණාට පස්සෙ මම රසිකයො අතරට එන පළවෙනි ටෙලි නාට්‍යය තමයි සංවරය. කාලෙකට පස්සෙ රසිකයොට අතරට ආපු පූජනී සංවරය තුළින් කරන්න උත්සාහ කරන්නෙ මොකක්ද? සංවරය ටෙලි නාට්‍යයේ චමත්කා විදිහට මම නිදහස් මාධ්‍යවේදිනියක් සහ පරිණත පෙම්වතියක් විදිහටයි රඟපාන්නෙ. මම මීට කලින් රඟපාපු ටෙලි නාට්‍යයවල පෙම්වතියගේ චරිතයට රඟපෑවත්
ආදරයට මුල්තැන දීලා පෙම්වතා වෙනුවෙන් මැරෙන්න වුණත් සූදානම්වෙලා හිටපු පෙම්වතියගේ චරිතයයි රඟපෑවෙ. හැබැයි සංවරය ටෙලි නාට්‍යයේදි මාධ්‍ය වෘත්තිය වෙනුවෙන් තමන්ගේ ආදරය සහ විවාහය කැප කරන්න සූදානම්වෙලා ඉන්න පෙම්වතියගේ චරිතයකුයි මම රඟපාන්නෙ.
පූජනීට අනුව වැඩිපුර වටින්නෙ ආදරයද? වෘත්තියද?
ජීවත් වෙන්න මනුස්සයෙක් මොකක්හරි වෘත්තියක් කරන්න ඕන. හැබැයි ආදරය කැප කරලා වෘත්තියට විතරක් ප්‍රමුඛත්වය දෙනවා නම් එතනදි ජීවිතයේ ගොඩක් දේවල් මග ඇරෙනවා. තමන් ආදරය කරන පුද්ගලයෝ කැපකරලා වෘත්තිය විතරක් ජීවිතය කරගන්න මම නම් කොහෙත්ම කැමැති නැහැ.
සංවරය ටෙලි නාට්‍යයේදි පූජනිට වැඩිපුරම දැනුණ දේ මොකක්ද?
ලංකාවෙ දුෂ්කර ගම්වල ඉන්න කාන්තාවෝ දුප්පත්කම නිසා රට රස්සාවට ගිහින් ඒ රටවලදි විවිධ ප්‍රශ්නවලට මුහුණපාලා ආපහු ලංකාවට එන්න බැරුව විඳින දුක මට සංවරය ටෙලි නාට්‍ය හරහා ගොඩක් දැනුණා. මම චමත්කගේ චරිතයෙදි උත්සාහ කරන්නෙ පිටරට හිරවෙලා දුක්විඳින කාන්තාවො වගයක් ආපහු ලංකාවට ගෙන්න ගන්න. රට ගිහින් බැල මෙහෙවර කරලා ලංකාවට විදේශ විනිමය ගේන කාන්තාවන්ගේ දුක අඳුරන්නෙ නැති දේශපාලන ත්‍රන්තය සහ විශාල පරතරයක් තියන ලාංකීය සමාජ තන්ත්‍රය ගැන පුළුල් වැටහීමක් සංවරය හරහා මට ලැබුණා.
සංවරයෙදි හේෂාන් මනුලව පෙම්වතා කරගත්ත අත්දැකීම කොහොමද?
මම දැනට අවුරුදු 4 ට විතර කලින් රඟපාපු රේස් ටෙලි නාට්‍යයෙදියි හේෂාන්ව මුලින්ම හම්බවුණේ. හැබැයි රේස් ටෙලි නාට්‍යයේදි අපි දෙන්නා රඟපෑවෙ අයියයි නංගියි විදිහට. සංවරයෙදි තමයි අපි දෙන්නා පෙම්වතුන්
වුණේ. පහසුවෙන් එකට රඟපාන්න පුළුවන් සුහදශීලී විනෝදජනක රංගන ශිල්පියෙක් විදිහට හේෂාන්ව මම දකිනවා. හේෂාන් වෘත්තියෙන් නිරූපණ ශිල්පියෙක් වෙන නිසා රූගතකිරීම් අතරතුරේදි එයා අපිට
කියලා දෙනවා විලාසිතාමය විදිහට ඇවිදින්න, කතාබහකරන විදිහ වගේ දේවල් ගැන.
සංවරය රූගතකරන අතරෙ වුණ සිදුවීමක වීඩියෝවක් සමාජ මාධ්‍යවල මේ දවස්වස්වල ප්‍රසිද්ධ වෙලා තියනවා
රූගතකිරීම් අතරෙදි නළු නිළියො දඟ වැඩ කරනවා කියලනෙ සාමාන්‍යයෙන් ප්‍රසිද්ධ වෙලා තියෙන්නෙ. හැබැයි අපේ අධ්‍යක්ෂ ප්‍රියන්ත ප්‍රනාන්දු අයියා තමයි රූගතකිරීම් අතරෙදි වැඩිපුරම දඟ වැඩ කරන්නෙ. පහුගිය දවසක රූගතකිරීම් අතරෙ ප්‍රියන්ත අයියා හූනෙක්ව අල්ලලා පැකට් කරලා හේෂාන්ටයි මටයි එවලා තිබුණා. මම ඕක වීඩියෝ කරලා face book දැම්මා අපේ ඩිරෙක්ටර් හූනෙක්ව එවලා හේෂාන්ටයි මටයි බෙදාගෙන කන්න කියලා. අපිව හිනස්සවන්න ඒ විදිහෙ පිස්සු වැඩ ප්‍රියන්ත අයියා රූගතකිරීම් අතරෙදි නිතරම කරනවා.
රඟපෑමෙදි නළුවො එක්ක ආදරය කරනකොට ගයාන් ඊරිෂක කරන්නෙ නැද්ද?
අනේ නැහැ. ගයාන්ට මාව හම්බවුණේ නිළියක් විදිහට. ගයානුත් රංගන ශිල්පියෙක්. ඉතින් රංගන වෘත්තියෙ වැඩ වෙන්නෙ කොහොමද කියලා එයා දන්නවා. රංගනයෙදි මම කාට ආදරය කළත් ඇත්තටම ආදරේ කරන්නෙ එයාට විතරයි කියලා ගයාන් හොඳාකාරවම දන්නවා. විවාහ වුණාට පස්සෙ මාව ගෙදරට කොටු කරන්න උත්සාහ කරන්නෙ නැතුව මගේ හැකියාවෙන් ප්‍රයෝජන අරගෙන රංගන ක්ෂේත්‍රයේ ඉදිරියට යන්න කියලා ගයාන් මාව නිතරම උනන්දු කරවනවා.
පූජනීගෙයි ගයාන්ගෙයි විවාහ ජීවිතයේ විස්තර මොනවද?
ගයානුයි මමයි අවුරුදුටක් ආදරය කරලා විවාහ වුණේ. ලොකු කාලයක් ආදරවන්තයෝ වෙලා හිටපු නිසා අපිට අපි ගැන හොඳ අවබෝධයක් තියනවා. පහුගිය ජනවාරියේදි අපේ විවාහයට අවුරුද්දක් සම්පූර්ණ වුණා. ආදරවන්තයො වෙලා හිටපු කාලෙ වගේම සැමියයි බිරිඳයි විදිහටත් අපි ජීවිතය බෙදාගෙන සතුටින් ජීවත් වෙනවා.
ගයානුයි පූජනියි එකට රඟපාන නිර්මාණයක් රසිකයන්ට නරඹන්න අවස්ථාවක් නැද්ද?
දැනට අවුරුදු හතකට කලින් විකාශය වුණ හුස්මක් තරමට ටෙලි නාට්‍යයෙනුයි ගයානුයි මායි ඉස්සෙල්ලම හම්බවුණේ. එතැනින් පස්සෙ තමයි අපි ආදරවන්තයො විදිහට ආශ්‍රය කළේ. ඊට පස්සෙ දැනට අවුරුදු දෙකකට කලින් ටී.වී දෙරණ නාලිකාවෙ විකාශය වුණ සීසර්ලා ටෙලි නාට්‍යයෙත් අපි දෙන්නා එකට රඟපෑවා. මේ වෙද්දි ගයාන් රංගනයෙන් ඈත්වෙලා සංගීත කටයුතු සහ ව්‍යාපාර කටයුතු කරන ගමන් ඉන්නෙ. ඉතින් ඒ නිසා ළඟදි නම් රසිකයන්ට අපි දෙන්නා එකට රඟපාන නිර්මාණයක් දකින්න ලැබෙන්නෙ නැහැ.
ඉස්සරට වඩා පූජනී දැන් මහත් වෙලාද?
පහුගිය කාලෙ රංගන කටයුතුවල නියැළෙන්න නැතුව ගෙදරට වෙලා හිටපු නිසා මාව ටිකක් මහත් වුණා. හැබැයි මේ වෙද්දි ආපහු මහන්සිවෙලා වැඩ කරන්න පටන්ගත්ත නිසා මගේ ඇඟ ආපහු සිහින් හැඩකාර තත්ත්වයට ඇවිත් තියනවා.
ලක්ෂාන් ජයසූරිය