විදුරු තිර ටෙලිනාට්‍යයේ සමලිංගික පෙම්වතෙකු ලෙස රඟපෑ චතුරංග කොඩිතුවක්කු, මෙවර සුමති ටෙලි සම්මාන උළෙලේ වසරේ නැගී එන නළුවාට හිමි සම්මානයෙන් පිදුම් ලැබුවා. මෙලෙස සම්මානයෙන් පිදුම් ලැබීම ගැන අදහස දැනගන්න අපි හිතුවා චතුරංග එක්ක කතා කරන්න.
වීදුරු තිරවලට සම්බන්ධවීම ගැන චතුරංගගේ අදහස මොකක්ද?
සමලිංගික ආදර කතාවක් තේමා කරගෙන නිර්මාණය වුණ ලංකාවේ පළවෙනි ටෙලිනාට්‍ය විදිහට වීදුරු තිර හඳුන්වන්න පුළුවන්. නිතර රඟපාන චරිතවලට වඩා වෙනස් චරිතයක් රඟපාන්න බලාපොරොත්තුවෙන් ඉන්නකොට වීදුරුතිර කතා සංකල්පකාර්නිය වුණ ශලනි තාරකා අක්කා මට ආරාධනා කළා වීදුර තිර ටෙලිනාට්‍යයේ සමලිංගික ප්‍රේමවන්තයකුගේ චරිතය රඟපාන්න. මීට
කලින් මම ප්‍රේමවන්තයගේ චරිතය රඟපාලා තියෙනවා. හැබැයි ඒ කෙල්ලොන්ට
ආදරය කරන ප්‍රේමවන්තයගේ චරිතය. සමලිංගික පෙම්වතෙක් විදිහට වීදුරු තිරවල සචිත්‍රගේ චරිතය අභියෝගාත්මක චරිතයක් වීමත් එක්ක ඒ තුළ මට ගොඩක් දේවල් කරන්න තියෙනවා සහ
ප්‍රේක්ෂකයන්ට නැවුම් අත්දැකීමක් ඒ හරහා දෙන්න පුළුවන් කියලා මට තේරුණා. ඉතින් මම වීදුරු තිරවල සචිත්‍රගේ චරිතය හරහා සමලිංගික පෙම්වතෙක් වුණා. වීදුරු තිරවල සචිත්‍ර වීමත් සමග මේතාක් මාව අහිංසක පෙම්වතාගේ චරිතයට කොටුවෙලා හිටපු මාව වෙනත් මානයක නළුවෙකු විදිහට ප්‍රේක්ෂකයො හඳුනගත්තා කියලා මම විශ්වාස කරනවා.
සමලිංගික පෙම්වතෙක් විදිහට රඟපෑම සම්බන්ධයෙන් අවදානමක් තිබුණේ නැද්ද?
අනිවාර්යෙන්ම අවදානමක් තිබුණා. අපි ජීවත්වෙන්නෙ 2026 ඩිජිටල් යුගයේ වුණත් සමලිංගකත්වය ගැන ගොඩක් දෙනෙක්ට තියෙන්නෙ පටු අදහසක්. ඉතින් එහෙම තත්ත්වයක මම සමලිංගික පෙම්වතෙකු විදිහට රඟපාද්දී ප්‍රේක්ෂකයො මාව මොනවිදිහට අර්ථකථනය කරයිද කියන අවදානම මට තිබුණා. ශලනි අක්කා වීදුරු තිරවලට ආරාධනා කරනකොට මම ඒ අවදානම ගැන ශලනි අක්කට කිව්වා. ඒ මොහොතේදී ශලනි අක්කා කතා සංකල්පය ගැන පැහැදිලි කළා. ඉතින් මට තේරුණා අවදානමක් තිබුණත් වීදුරු තිර ලොකු
වටිනාකමක් තියෙන බර වැඩක් කියලා. ඒ නිසා අවදානම බාරඅරගෙන
වෙනදෙයක් වෙද්දෙන් කියලා වීදුරු තිරවලට සම්බන්ධ වුණා.
වීදුරු තිරවල රංගනය වෙනුවෙන් සුමති සම්මාන උළෙලේ නැගී එන නළුවාට හිමි සම්මානය හිමිවීම ගැන අදහස මොකක්ද?
වීදුරු තිරවල සචිත්‍රගේ චරිතය වෙනුවෙන් මම සාධාරණයක් ඉටු කළා කියලා මම විශ්වාස කරනවා. මම සචිත්‍රගේ චරිතය වෙනුවෙන් දාපු බර, රංගන විලාසය ඇතුළු සියලු දේවල් වටහාගෙන සුමති සම්මාන උළෙලේ ජූරිය මට වසරේ නැගීඑන නළුවාට හිමි සම්මානය ලබා දීලා තියෙනවා. මේ විදිහට සම්මානයෙන් ඇගයීමට ලක්කිරීම හරහා අපේ හැකියාව තව වැඩි දියුණු කරගෙන දිගින් දිගටම රංගන ක්ෂේත්‍රයේ ඉදිරියට යන්න දිරිමත් කිර්ම ලැබෙනවා.
චතුරංග ජනප්‍රිය නළුවාට හිමි සම්මානය මෙවර බලාපොරොත්තු වුණාද?
අනේ නැහැ. හැම සම්මාන උළෙලකින්ම මට ජනප්‍රිය නළුවාට හිමි සම්මානය ලැබෙන්න ඕන කියන අධිතක්සේරුව මම දරන්නෙ නැහැ. මේ දවස්වල විකාශය වන ජහුටා, රොන් සොයා, අසංධිමිත ඇතුළු ටෙලිනාට්‍ය 6ක මම රංගනයෙන් දායක වෙනවා. ජනප්‍රිය නළුවාට හිමි සම්මානය ලැබෙනවට වඩා ඉහළ ප්‍රේක්ෂක ආදරයක් සහ ජනප්‍රියත්වයක් මේ ටෙලිනාට්‍ය හරහා මම මේ දවස්වල ලබාගන්නවා. හැමෝම අතර ජනප්‍රිය වෙනවට වඩා මගේ බලාපොරොත්තුව කවදාහරි දවසක විශිෂ්ට ගණයේ අග්‍රගණ්‍ය රංගනයක් කරලා හොඳම නළුවාට හිමි සම්මානය ලබාගන්න. ඒ වෙනකන් මම ඉවසීමෙන් බලාගෙන ඉන්නවා.
රූගතකිරීම් එක්ක චතුරංගට නිදහසක් තියෙනවද?
මට කියලා නිදහසක් නම් නැහැ මේ දවස්වල. මගේ රංගන හැකියාවේ වපසරිය නිර්මාණකරුවො හඳුනාගැනීමත් සමග මට මේ දවස්වල දිගින් දිගටම නිර්මාණවලට සම්බන්ධවෙන්න ලැබුණා. දිගටම රූගතකිරීම්වලට සම්බන්ධවෙලා ඉන්න නිසා මට මේ දවස්වල හරිහමන් නින්දක්වත් කෑමක් බීමක්වත් නැහැ. මේ විදිහට මාව කැපකරලා දිගටම එන වැඩ බාරගත්තේ නිර්මාණවලට තියෙන කෑදරකමකට වඩා ආරාධනා කරපු නිර්මාණකරුවන්ගේ මුණ බලාගෙන බැහැ කියන්න බැරිකමට.
නළුවෙක් විදිහට ඉදිරියට යනකොට ගොඩනගන්න ස්ථාවරය කළමනාකරණය කරන්නෙ කොහොමද?
නළුවෙක් විදිහට ඉදිරියට යනකොට මිලමුදල් අතින් ස්ථාවරයක් සහ සමාජීය අතින් යම්කිසි තත්ත්වයක් ගොඩනැගෙනවා. හැබැයි ඒ දේවල් ගොඩනගා ගත්තා කියලා අඩි පහහක හයක උඩක මාන්නයෙන් ඉදගෙන මිනිස්සුන්ට ආඩම්බරකම් පෙන්නන්න ඕන නැහැ කියන අදහසිනුයි මම ඉන්නෙ. සම්මාන ලැබිලා කොච්චර ප්‍රසිද්ධියක් ජනප්‍රියත්වයක් ලැබුවත් නළුවෙක් වෙන්න කලින් හැමෝම එක්ක හිනාවෙලා සුහදව හිටපු චතුරංග කොඩිතුවක්කුම තමයි අද වගේම හෙටත් ඉන්නෙ.
චතුරංගව ආදරෙන් බලාගන්න පෙම්වතියක් එහෙම මේ වෙද්දී නැද්ද?
මේ වෙද්දී මම පෙම්වතෙක්. ආදරයේදී මම බලාපොරොත්තුවෙන්නෙ මාව තේරුම් අරන් මට මම වෙලා ඉන්න දෙන නිදහස විතරයි. නිදහස නැති තැන රැදෙන්න මම එච්චර කැමති නැහැ. මට නිදහස දෙන ආදරයක් මේ වෙද්දී ලැබිලා තියෙනවා. ඉතින් එයා කවුද කියලා රසිකයන්ට ඉදිරියේදි කියන්නම්.