ටෙලි නාට්‍ය සහ සිනමා අධ්‍යක්ෂවරයෙකු වූ එරංග සේනාරත්නගේ නවවැනි සිනමා නිර්මාණය පසුගිය දා එළිදැක්වීය. නිළියක වීමේ අරමුණින් සිනමා අධ්‍යක්ෂවරුන් පසුපස යන තරුණියකගේ චරිතය පාදක කරගනිමින් නිර්මාණය කර තිබූ එම චිත්‍රපටය ‘ ඔස්කාර්’ ය. එහි ප්‍රධාන චරිතයට පණ පොවන රංගන ශිල්පියා කාගේත් ආදරයට , ප්‍රශංසාවට ලක්වූ දක්ෂ රංගන ශිල්පියෙකු වූ පාලිත සිල්වාය. 1994 දී ‘ කස්පා’ වේදිකා නාට්‍යයේ රංගනය උදෙසා හොඳම නළුවා ලෙසින් සම්මානයට පාත්‍ර වූයේ පාලිත සිල්වාය. වේදිකාවේ , ටෙලිනාට්‍යයේ, සිනමාවේ දක්ෂ චරිතයක් වූ රංගන ශිල්පී පාලිත සිල්වා මෙවර සරසවිය පිළිසදරට එක්වූයේ ඔහු ප්‍රධාන චරිතය රඟපාන ‘ ඔස්කාර් ‘ ගැන කතා කරන්නටය.
‘ ඔස්කාර් ‘ අධ්‍යක්ෂණය කළ එරංග සේනාරත්න සමඟ මම ටෙලිනාට්‍ය දෙකක වැඩ කරලා තියෙනවා. ඒ කාලයකට කලින්. ඔහු කරපු දියණී සහ නෙළුනිකා ටෙලි නාට්‍ය දෙකේ මම රඟපෑවා. ඒ හිතවත්කම , ඒ ඇසුර දිගටම තිබුණා. ඒත් ඒ වනවිට එරංග ගේ චිත්‍රපටයක රඟපාල තිබුණේ නැහැ. ඔස්කාර් චිත්‍රපටය තමයි මම ඔහුත් සමඟ වැඩ කරන පළමු චිත්‍රපටය. නමුත් ඔස්කාර් කියන්නේ එරංග ගේ නවවැනි චිත්‍රපටය.
‘ ඔස්කාර් ‘ චිත්‍රපටයේ පිටපත ඩිනාලිගේ. එරංග සේනාරත්නගේ ආදරණීය බිරිඳ . ඔස්කාර් පිටපත මගේ අතට ලැබුණහම මම එය හොඳීන් කියෙව්වා. එය කියවන විට මට ආසාවක් ඇතිවුණා මේ චරිතය භාර ගන්න. එයට හේතුව මට කවදාවත්ම එවැනි චරිතයක් රඟපාන්න නොලැබුණ නිසා. ඒක වයෝවෘද්ධ චරිතයක්. ඒ චරිතය මට අභියෝගාත්මක චරිතයක් වුණා. තරුණ කාලේත් චිත්‍රපට කරපු සම්මානනීය අධ්‍යක්ෂවරයෙක් මහලු වයසට පත්වෙලා හුදෙකලාව ගෙවන ජීවිතයේදී සිදුවන හැලහැප්පීම් ගැන කියවෙන කතාවක් . මහලු වෙන කොට තරුණ ජවය ඉවත්වෙලා ජරාජීර්ණ තත්වයට පත්වෙනවා. ඒ බව මගේ ශරීරයෙනුත් ඉස්මතු වෙන්න ඕනේ. ඒ නිසා මම එරංග ගෙන් ඇහුවා මගේ ශරීරය මේ සඳහා ගැලපෙනවද කියලා. මගේ බඩ එහෙම තියෙන නිසා. ඒ වෙලාවේ එරංග මෙහෙම කිව්වා.
” කිසි ප්‍රශ්ණයක් නැහැ”
මත්පැන් පානය කරන, එයා කනබොන දේ අනුව මගේ ශරීරය ඒ සඳහා ගැළපෙනවා කියලා. ශරීරය පාලනය කිරීමේ අවශ්‍යතාවයක් තිබුණේ නැහැ ඒ නිසා. මට තිබුණ ඊළඟ අභියෝගය තමයි මේ චරිතයට කොහොමද හැඩ ගැහෙන්නේ කොහොමද කියන එක. ඒ වගේම තමයි මේ සඳහා කාලය වෙන්කිරීම. පළමුවෙන්ම මම කැමතියි කතා කරන්න මේ චරිතයට හැඩගැසුණ ආකාරය ගැන කතා කරන්න. වයෝවෘද්ධ අධ්‍යක්ෂවරයාගේ චරිතය චිත්‍රපටය පුරාම අඛණ්ඩව ගලාගෙන යන චරිතයක්. ඒ නිසා වයසක පෙනුම , වයෝවෘද්ධ බව, හුදකලා ජිවිතයත් ගත කිරීමෙන් දැනෙන මානසික පීඩනය , මේ සියල්ලම මම පෙන්නුම් කළ යුතුයි. එය මට අභියෝගයක් වුවත් රංගන ජීවිතය පුරාවට මා ලබා තිබූ අත්දැකීම් ඒ සඳහා උපකාරී වූ බව කිවයුතුයි. වේශ නිරූපණයෙන් මට අවශ්‍ය පෙනුම ලබා දුන්නා. ‘ ඔස්කාර් ‘ චිත්‍රපටයේ රූගත කිරීම් තිබුණේ දවස් පහළොවයි. ඉතින් දවස පුරා මේක් අප් දාගෙන චරිතය ඇතුළේ ජීවත් වුණා. එයින් මිදුණේ හවසට රූගත කිරීම් නිමවූ පසුවයි. දෙවෙනි කාරණාව වුණේ ‘ ඔස්කාර් ‘ සඳහා කාලය වෙන්කර ගැනීම. ඒ කාලේ මම පෞද්ගලක නාලිකාවක , නාලිකා ප්‍රධානියා විදිහට වැඩ කරමින් සිටියේ. මම සීමිත කාලයකට එයින් මිදුණා. ඒත් ඔස්කාර් චිත්‍රපටය නිසා මට රැකියාව නැතිවෙන්නත් ඉඩ තිබුණා.
‘ ඔස්කාර් ‘ කියන්නේ මම කළ චරිත අතරින් කෙස් ගහට කල්පනා කරපු චරිතයක්. එහෙම කල්පනා කරල තමයි කරන්නේ.නමුත් ඔස්කාර් චිත්‍රපටයේ චරිතය ගැන මම දෙපාරක් කල්පනා කරලයි කළේ. එයට හේතුව මෙම චිත්‍රපටයේ මම මුල සිටම පෙනී සිටි නිසා පොඩි වෙනසක් හරි වුණොත් එය ප්‍රේක්ෂකයාට දැනෙයි කියලා මට හිතුණා.
මේ චිත්‍රපටයේ ප්‍රධාන නිළිය තරුණ නිළියක්. මධුෂානි වික්‍රමසිංහ. ඇය සමඟ මම හිතුමතේ ජීවිතේ චිත්‍රපටයේ රඟපෑවා. ඒ වන විට මධුෂානි ආධුනිකයි. ඒත් අද වන විට ඇය දක්ෂයි.
ඔස්කාර් චිත්‍රපටයට පාදක වූ කතාව සමාජයටම පොදු කතාවක් . සිනමා ක්ෂේත්‍රයේ පමණක් නෙවෙයි , ඕනෑම ක්ෂේත්‍රයක මෙවැනි සිදුවීම් වෙන්න පුළුවන්. රඟපාන්න ආසාවෙන් ඕනෑම දෙයක් කිරීමට සූදානම් වෙන තරුණියක් ගැන මේ කතාවේ කියවෙනවා. ඇයට අවස්ථාව ලබා ගන්න ඇය නොකරන උත්සාහයක් නැහැ. වෙනත් වෘත්තීන්වලත් මෙවැනි දේ සිදුවෙනවා. ඒත් ඒවා ප්‍රසිද්ධ වෙන්නේ නැහැ. කලා ක්ෂේත්‍රයේ වෙන ඕනෑම දෙයක් ගැන සමාජයේ කතා වෙන්නේ , කලා ක්ෂේත්‍රයේ ඉන්න චරිත ප්‍රසිද්ධ නිසා.
එදා ඔස්කාර් මංගල දර්ශනය දවසේ මට හොඳ ප්‍රතිචාර ලැබුණා. මට ලැබුණ අභියෝගය ජයගෙන තිබුණා කියා එදා පැමිණි සහෝදර ශිල්පීන් කිව්වා. නවක රංගන ශිල්පීන්ගෙනුත් ලැබුණ ප්‍රතිචාර ඉතා හොඳයි. මට ලැබුණ චරිතය අඛණ්ඩව ගලාගෙන ගිය විදිහ ගැන ඔවුන් මා සමඟ කතාකළා . එයින් ඔවුන්ටත් පාඩමක් ඉගෙන ගන්න හැකියාව ලැබුණා කියා ඔවුන් පැවසුවා. කෙසේ වෙතත් මට ලැබුණ චරිතය මා හොඳීන් නිරූපණය කළ බව ඒ ප්‍රතිචාර වලින් මට වැටහුණා.
වේදිකාව, ටෙලිනාට්‍ය, සිනමාව යන අංශ ත්‍රිත්වයේම එකසේ දස්කම් දක්වන පාලිත සිල්වා රංගනවේදියා ඉදිරියේදි තවත් නවතම සිනමා නිර්මාණයකට රංගනයෙන් දායක වීමට සූදානමින් සිටින බව පැවසුවේ ඉතාමත් සතුටිනි. ඔහු ඒ පිළිබඳ සරසවියට අදහස් දැක්වීමට අමතක නොකළේය.
දක්ෂ සිනමා අධ්‍යක්ෂවරයෙකු වෙන සම්පත් ශ්‍රී රෝෂන්ගේ සිනමා නිර්මාණයක් ඉදිරියේදී ආරම්භ කිරීමට තියෙනවා. එය නම් කරල තියෙන්නේ වරල් නමින්. මේ දිනවල එහි පෙර නිෂ්පාදන කටයුතු සිදුවෙනවා. ඉදිරියේදි රූගත කිරීම් සිදු කෙරෙනවා. එයත් වෙනස් තේමවක කතාවක්.
1994 දී නිර්මාණය වූ ‘ කස්පා’ වේදිකා නාට්‍යයේ කළ රංගනය උදෙසා හොඳම නළුවා සම්මානයෙන් පිදුම් ලැබීමට පාලිත සිල්වා රංගන ශිල්පියාට හැකිවිය. ඉන්පසු ඔහු වේදිකා නාට්‍ය රැසකට දායකත්වය ලබා දුන්නේය. ඔහුගෙන් වේදිකා නාට්‍ය කලාවට වන දායකත්වය ගැනද විස්තර කළේ මෙසේය.
මම වේදිකාවෙන්, රංගනය සඳහා අත්දැකීම් බොහෝමයක් ලබා ගත්තා. මම දිනපතා අභ්‍යාසවල නිරත වෙනවා. එය මගේ රංගනයට ඉතා වැදගත්. කුමන අංශයක නිරත වුවත් මම වෙදිකාව අමතක කරල නැහැ. නාට්‍යවේදී සුනිල් ශ්‍රි ගේ හොරු තමයි මරු වේදිකා නාට්‍යයට සම්බන්ධ වුණා. තරමක අසනීප තත්වාකින් සිටි නිසා වේදිකාවෙන් තරමක් ඈත් වෙන්නත් සිදුවුණා. නැවත යථාතත්වයට පත්වූ ගමන් මම නැවතත් වේදිකාවට සම්බන්ධ වෙනවා. පිටරටකට ගිහින් වේදිකා නාට්‍යයකට සම්බන්ධ වෙන්නත් හිතාගෙන ඉන්නවා.
අලුත් වැඩ කිහිපයක් ඉදිරියේදී කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. මම අන්තිමටම සම්බන්ධ වුණේ පතිකුලය චිත්‍රපටයට. වරල් චිත්‍රපටයට සම්බන්ධ වෙනවා නුදුරේදීම . මේ විදිහට තමයි මගේ රංගන ජීවිතය ගෙවෙන්නේ. ඔස්කාර් චිත්‍රපටය දැන් තිරගත වෙනවා. ඉතින් මම ආරාධනා කරනවා මගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට සිනමා ශාලාවලට ඇවිත් ඔස්කාර් චිත්‍රපටය නරඹන ලෙසට.