මේ දිනවල රිදී තිරයේ වැඩිපුරම දකින්න ලැබෙන තරුව කළණ ගුණසේකර යැයි කිව හැකිය. සජීවී සිංහයකු යොදාගනිමින් ශ්‍රී ලංකාවේ නිර්මාණය වුණු පළමු සිනමාපටය ලෙස වාර්තා අතරට එක්වන ‘My සිම්බා’ සිනමාපටයේ අභියෝගාත්මක රංගනයක නියැළෙන කළණ වයස් භේදයකින් තොරව ප්‍රේක්ෂක ආදරය විඳිමින් සිටියි. ‘My සිම්බා’ ඉන්දියානූ අධ්‍යක්ෂ ජේ. කේ. සුරේෂ්ගේ සිනමා නිර්මාණයකි. ප්‍රථම වරට සජීවීව සිංහයකු සමඟ ලද අභියෝගාත්මක රංගන අත්දැකීම කළණ අප හා බෙදා ගත්තේ මෙසේය.
‘My සිම්බා’ සිනමාපටයේ ප්‍රධාන චරිතයට ඔබට අවස්ථාව ලැබෙන්නේ කොහොමද?
ඒ සඳහා මට අවස්ථාව ලබාදෙන්නේ අපේ දමිළ රංගන ශිල්පී ජී. කේ. ඔහු තමයි මාව ඉන්දියන් ඩිරෙක්ටර් ජේ. කේ. සුරේෂ්ට හඳුන්වලා දෙන්නේ. ඒ වෙද්දිත් ඔහු ප්‍රධාන චරිතයට සිංහයෙක් එක්ක රඟපාන්න පුළුවන් කෙනෙක්ව හොය හොයා ඉඳලා තියෙන්නේ. මම දන්න තරමින් ඔහු ලංකාවට ඇවිත් මේ චරිතය සඳහා දහ පහළොස් දෙනෙක්වම ඉන්ටවිව් කරලා තිබුණා. ජී. කේ. ගේ හඳුන්වාදීමත් එක්ක ඔහුත් ගොඩක් කැමැති වෙලා වැඩේ පටන් ගත්තා. රොෂාන් රණවන, නයෝමි තක්ෂිලා, රජිත හිරාන්, බානුක රාජපක්ෂ වගේ හොඳ රංගන ශිල්පීන් පිරිසක් එක්ක වැඩ කරන්නත් ලැබුණා. නයෝමියි, තරිඳු බබයි එක්ක තමයි මගේ කැරැක්ටර් එක වැඩිපුරම ගැටෙන්නේ. ඉන්දියානු අධ්‍යක්ෂවරයෙක් එක්ක වැඩ කරන්න ලැබීමම මට අලුත් අත්දැකීමක් වුණා. ලංකාවේ සිංහල, දමිළ දෙවර්ගයේම රංගන ශිල්පීන් මේ සඳහා දායක වුණා. ලංකාවේ ප්‍රේක්ෂකයාට වෙනස්ම අත්දැකීමක් දෙන්න මං උත්සාහ කළා.
සිංහයෙක් ඉන්නවා කිව්වට සිංහයා එක්කම රඟපාන්න තියෙනවා කියල දැනගත්තම මොකද හිතුණේ?
ඒක නම් මාර භයානක අත්දැකීමක් වුණා. සිංහ පැටියෙක් එක්ක වගේම ලොකු සිංහයෙක් එක්කත් රඟපාන්න තිබුණා. සිංහයා යාළුවෙකුත් නෙවෙයි. බලාගන්න අය එයාව එක්ක එනවා. ස්ටෑන්ඩ් බයි කිව්වහම ඔවුන් කැමරාවෙන් පිටුපසට යනවා. මටයි නයෝමිටයි, තරිඳු බබාටයි තමයි සිංහයත් එක්ක ඉන්න වුණේ. ඒක ටිකක් ටෙන්ෂන් වැඩක් වුණා.
බාහුගේ ඒ සුවිශේෂී හැසිරීම කොහොමද ඔබ ආරෝපණය කරගත්තේ?
බාහු කියන්නේ ශරීරයේ තරමටම මොළය වර්ධනය නොවුණු කෙනෙක්. මම කොහොමද මේක කරන්නේ කියලා කල්පනා කර කර ඉද්දි මම යාළුවෙක්ගේ ගෙදරක නැවතිලා හිටිය කාලෙ ඒ ගෙදරට පහළ ගෙදරක හිටිය පොඩි ළමයා මතක් වුණා. ඔහු ජූලින්. ඒ දවස්වල මං ඔහුට උඩ ඉඳන් චොකලට් දානවා. ඒ නිසා ජූලින් මට කිව්වේ ‘චොකලට් මාමා‘ කියලා. ඔහුත් එක්ක සෙල්ලම් කරද්දී, ඔහු ඇවිදිද්දි, දුවද්දි ඔහුගේ යම්කිසි වෙනස් හැඩයේ ඉරියව් වගයක් මම දැකලා තිබුණා. අන්න ඒ ඉරියව් ටික ෆලෝ කරලා, මගෙනුත් කෑලි ටිකක් එකතු කරලා තමයි බාහුට ඒ විදිහේ හැඩයක් දුන්නේ. අධ්‍යක්ෂවරයාටත් අවශ්‍ය වුණු ඉරියවු ටිකක් තිබුණා. නමුත් ඉන්දියානු සිනමාවේ සහ ලාංකේය සිනමාවේ හැඩයන් වෙනස් නිසා අපිට සන්නිවේදන සහ සංස්කෘතික ගැටලු ටිකක් මතුවුණා. අපි කතාබහ කරලා වෙනස් කරගනිපු තැන් තිබුණා. ඔහු ඔහුගේ රූපරාමු ටික ලස්සනට පෙළගැස්සුවා. ෆයිනල් ප්‍රඩක්ෂන් එක දැකලයි ඔවුන් වැඩේ පටන් ගන්නේ. ඔහුට අවශ්‍ය ෆයිනල් ප්‍රඩක්ෂන් එකට යන්නේ කොහොමද කියන එක විතරක් මම අර ජූලින්ගේ ඉරියව් භාවිත කරලා හොයාගත්තා.
කොහොමද සිංහයාව යාළු කරගත්තේ?
දවසක් ගිහින් සිංහයාව අල්ලලා, අතගාලා ළඟින්ම ඉඳලා ආවා. ඊට පස්සේ සෙට් එකට ආවහමත් ළඟින්ම හිටියා. ඊටත් පස්සේ ඕන එකක් කියලා වැඩේ පටන්ගත්තා. ඇත්තටම ඒක සාමාන්‍ය කැරැක්ටර් එකක් නෙවෙයි. ගොඩක් කාලෙකට පස්සේ මම රැවුලත් කැපුවා. ඒකත් එක්ක මට තිබුණේ වෙනමම ගමනක්. ඔළුවට ටිකක් අමාරු චරිතයක්. සිංහයා ළඟට එද්දි කොයි වෙලාවෙ හපයිද කියන බයත් තිබුණා.
කොහොමද ලැබෙන ප්‍රතිචාර?
ඇත්තටම හිතාගන්න බැරි තරම් ප්‍රතිචාරයක් ලැබෙනවා. මම ගොඩක් සතුටින් ඉන්නේ. අධ්‍යක්ෂවරයා, කලර් ග්‍රේටර් ස්වර්ණා ඇතුළු ඉන්දියානූ කණ්ඩායමට වගේම නයෝමි සහ තරිඳු බබාටත් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මාව නොකාපු එකට සිංහයාටත් විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා.
නයෝමිගෙනුත් ලොකු සහායක් ලැබුණා නේද?
ඇත්තටම ඔව්. නයෝමිගෙන් ලැබුණු සහයෝගය ගැන කියන්න වචන නෑ. නයෝමි එතන සාම්ප්‍රදායික කාන්තාවක් නෙවෙයි. ඇය ආදරය කරන්නේ පොඩි ළමයෙක් වගේ මනුස්සයකුට. ෆිල්ම් එක බලද්දි තේරෙනවා ඇය මගේ චරිතයත් එක්ක කොතරම් දුරට ජීවත් වෙනවද කියන එක.
මේ සිනමාපටය පැතිකඩ කිහිපයකින්ම විශේෂයි. ප්‍රේක්ෂකයාට මොකක්ද කියන්න තියෙන්නේ?
මං මේක බලන්න කියලා ප්‍රේක්ෂකයන්ට ආරාධනා කරන්න විශේෂ හේතුවක් තියෙනවා. අපි පොඩි කාලේ සතුන්ගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. විශේෂයෙන්ම හැඟීම් ගැන. පුංචි ඇත්පැටවා, සතුන් එක්ක කතාකරන දොස්තර හොඳ හිත, පුංචි ඉත්තෑවා, හෂිකෝ වැනි කතා අපි බලලා තියෙනවා. අපි ඒවල ජීවත් වෙලා ඒවට ආදරේ කළා. සත්තුන්ට හිංසා කරන එක ගැන වගේම සතුන්ගේ අයිතිවාසිකම් ගැනත් ‘My සිම්බා’ හරහා කතාවෙනවා. ඒ නිසා අද පරම්පරාවේ දරුවන්ට පෙන්වන්න ඉතාම සුදුසු ආදර්ශවත් සිනමාපටයක් විදිහට My සිම්බා හඳුන්වන්න පුළුවන්.
කළණ රඟපාන සිනමාපට තුනක් මේ දිනවල තිරගත වෙනවා. මොකද හිතෙන්නේ?
ඒක නම් මට කියා නිම කරන්න බැරි සතුටක්. ඇත්තම කිව්වොත් අපි කවුරුත් සිනමාව තුළ ජීවත් වෙන්න කැමැතියි. අපේ ෆැන්ටසිය තියෙන්නේ සිනමාව තුළ. මේ දිනවල තිරගත වන ‘Room No.106’ කියන්නෙත් සත්‍ය සිදුවීමක් පාදක කරගත්ත හැඟීම්බර අත්දැකීමක්. ‘ඒක තමයි මේක’ ගත්තොත් යූටියුබර්ස්ලා යොදාගෙන කරපු වෙනස්ම වැඩක්. ඒකෙ මම ප්‍රධාන විලන් කැරැක්ටර් එක. ඒ වගේම පොඩි කොමඩි පැත්තකුත් උත්සාහ කරලා බැලුවා.
කළණ ඉදිරියේදී අධ්‍යක්ෂ භූමිකාවෙන් දකින්න ලැබෙනවා කියන්නෙ ඇත්තද?
ඔව්. ඉදිරියේදී අධ්‍යක්ෂවරයෙක් විදිහටත් සිනමාවේදි කළණ ගුණසේකර දකින්න ලැබේවි. ‘සඳ රාමුවක‘ කියන මගේ පළමුවැනි සිනමා අධ්‍යක්ෂණය ඉතාම ඉක්මනින් ප්‍රේක්ෂකයන්ට දකින්න ලැබේවි. ඒක මගේ යාළුවෙක් එක්ක පටන් ගත්ත වැඩක්. දැන් වෙදගෙදර ප්‍රඩක්ෂන් එකෙන් සම්පූර්ණ වගකීම භාර අරන් කරගෙන යනවා.