සුරාජ් කියන්නේ පෞරුෂත්ව දෙකක් සහිත චරිතයක් -ගයාන් වික්‍රමතිලක

gossiplanka image 1
 

මේ දිනවල ප්‍රේක්ෂක ප්‍රතිචාර නොමඳව ලබමින් විකාශය වන ශාන් ජයරත්න අධ්‍යක්ෂණය කළ ‘අසංධිමිත’ ටෙලිනාට්‍යයේ ‘සුරාජ්’ යනු විශේෂිත චරිතයකි. එය රංගන ශිල්පියකුට ලැබෙන අභියෝගාත්මක චරිතයක් ලෙස හැඳින්වුවද එහි වරදක් නැත . ‘සුරාජ්’ට ජීවය දෙන රංගන ශිල්පි ගයාන් වික්‍රමතිලක ‘අසංධිමිත’හි තම චරිතය ගැන කීවේ මෙවැන්නකි.


” ‘අසංධිමිත’ ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතයක් වන සුරාජ් කියන්නේ ටියුෂන් ගුරුවරයෙක්. සුරාජ් කියන්නේ පෞරුෂත්ව දෙකක් සහිත චරිතයක් ලෙසයි මා නම් හඳුන්වන්නේ. එවැනි චරිත අප සමාජයේ දකින්න ලැබෙනවා’ එවැන්නන් අනෙක් අය සමඟ ගැටෙන ආකාරය තමයි මේ ටෙලි නිර්මාණයෙහි නිරූපණය වන්නේ. දැනටමත් සුරාජ්ට ඉතාම හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. මගේ යහළුවන්, හිතවතුන් හැමෝම කියන්නේ මෙය රංගන ශිල්පියකුට ලැබුණු හොඳ අවස්ථාවක් කියලා. මෙය මා ආසාවෙන් රඟපෑ චරිතයක්. ඒ වගේම ශලනි තාරකා විසින් ලියූ මේ තිර පිටපත කියවද්දීම මට වැටුහුණා මේක හොඳ චරිතයක් වගේම අභියෝගාත්මක චරිතයක් කියලා. ”


සිය රංගන දිවියේ ආසාවෙන්ම රඟපෑ චරිතයක් ලෙස ‘සුරාජ්’ හඳුන්වා දිය හැකි බවත් තමන් උපරිම කැපවීමකින් සුරාජ්ට ජීවය දුන් බවත් ගයාන් පැවසීය.


“සුරාජ් චරිතයට මට ආරාධනා කළේ ‘අසංධිමිත’ අධ්‍යක්ෂ ශාන් ජයරත්න හා එහි තිර පිටපත් රචිකාව වන ශලනි තාරකා යන දෙදෙනා. මම මීට කලිනුත් ශාන් සහ ශලනි සමඟ වැඩ කර තිබෙනවා.” සුරාජ් චරිතය ජීවමාන කරවීමට අධ්‍යක්ෂ ඇතුළු පිරිසගෙන් තමන් විශාල සහයක් ලද බවත් කාල කළමනාකරණයත් සමඟ රූගත කිරීම් සියල්ල සාර්ථක ලෙස කරගත හැකි වූ බවත් ගයාන් පැවසුවේ තෘප්තිමත් හැඟීමකිනි.


නිර්මාණයක පිටපත පිළිබඳ ගයාන් වික්‍රමතිලක තුළ වූයේ මෙවැනි අදහසකි.


“ඕනෑම නිර්මාණයක කොඳුනාරටිය වන්නේ පිටපතයි. පිටපතට අනුව තමයි බොහෝ දුරට නිර්මාණයක සාර්ථක අසාර්ථකභාවය තීරණය වන්නේ. චිත්‍රපටයක වුවත් පදනම වැටෙන්නේ පිටපත නිසයි. ඒ වගේම මට නිර්මාණයකට ආරාධනයක් ලද විට ලැබෙන චරිතය පිළිබඳවත්, අධ්‍යක්ෂවරයා සහ අනිවාර්යයෙන් පිටපතෙහි ගුණාත්මකභාවය ගැනත් විශේෂයෙන් සැලකිලිමත් වෙනවා.”


‘අසංධිමිත’ අධ්‍යක්ෂ පිළිබඳ ගයාන් තුළ වූයේ මෙවැනි සුබවාදී හැඟීමකි.


“ශාන්ට නිර්මාණාත්මක ඇසක් තිබෙනවා. ඔහු නව පරපුරේ දක්ෂ නිර්මාණකරුවෙක්, අධ්‍යක්ෂවරයෙක්. පරම්පරා පරතරය සමඟ බොහෝ අධ්‍යක්ෂවරුන්ට ප්‍රේක්ෂකාගාරය නිර්මාණය කරගැනීමටත් බැරි අවස්ථා තිබෙනවා. එහිදී නිර්මාණකරුවා,


අධ්‍යක්ෂවරයා, නිෂ්පාදකවරු අතර දුරස්ථ බවක් ඇතිවෙනවා. ශාන්ට එය ප්‍රශ්නයක් වෙලා නැහැ. ඔහු ප්‍රේක්ෂකාගාරය හොඳින් හඳුනාගෙන ඊට සුදුසු ලෙස නිර්මාණ බිහිකරන, අනාගතයේ ඉහළටම යා හැකි අධ්‍යක්ෂවරයෙක් බව දැනටමත් පෙන්නුම් කර තිබෙනවා. අඩු වයසක් සහිත ශාන්ට හොඳ නිර්මාණ ප්‍රේක්ෂකයාට තිළිණ කිරීමට කාලය තිබෙනවා. එසේම ඔහුට හොඳ කණ්ඩායමක් ඉන්නවා.”


ගයාන් කලාවට යොමු වූ ආකාරය සිහිපත් කිරීමට ද අමතක නොකළේය.


“2003දී මහේන්ද්‍ර පෙරේරා මහතාගේ රංගන වැඩමුළුවලට මම එක්වුණා. ඊට පසුව තමයි ක්ෂේත්‍රයට ආවේ. අවුරුද්දක් විතර රංගනය පිළිබඳව හැදෑරීම් කළා. මම පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් බාහිර උපාධිය හැදෑරුවා. එකල මගේ ගුරුවරයා වුණේ අත්තනායක එම්. හේරත් සර්. ඔහු මට කිව්වා රංගන ශිල්පියකු වීම වඩාත් සුදුසුයි කියලා. ඒ අදහස මගේ ඔළුවේ තිබුණා. මුලින්ම මම රඟපෑවේ ආචාර්ය ජයලත් මනෝරත්න මහතාගේ ‘මගේ කවිය මට දෙන්න ‘ ටෙලිනාට්‍යයේ.”


හාර්ට් එෆ්. එම්. චිත්‍රපටය තුළින් සිනමා රංගනයට පිවිසි ගයාන්, ‘මහරජ අජාසත්ත, දළදා ගමනය, සක්කාරං, අනගාරික ධර්මපාල’ වැනි චිත්‍රපට රැසක සිය රංගන ප්‍රතිභාව විදහා දැක්වීය.


“මම චිත්‍රපට 12ක පමණ රඟපා තිබෙනවා. චිත්‍රපටයක් කළොත් ඒක සෑහෙන කාලයකට මතක හිටිනවා. චිත්‍රපටවල රඟපාන්න මම හරිම කැමැතියි. ඉදිරියේදී මගේ රංගනය ඇතුළත් ‘කඩහපොළ හාමුදුරුවෝ, කාලි, කොටු’ චිත්‍රපට දැකගන්න ලැබේවි.”


ටෙලිනාට්‍ය නිෂ්පාදන ආයතනයක් ද (Production House) පවත්වාගෙන යන ඔහු ‘ආත්මා, සහේලි, එක රෑනේ කුරුල්ලෝ’ ආදි ටෙලිනාට්‍ය අධාක්ෂණය කරමින් අධ්‍යක්ෂවරයකු ලෙසද කලා ක්ෂේත්‍රය තුළ සිය අනන්‍යතාව සනිටුහන් කර තිබේ. ඉදිරියේදී නිර්මාණ ද්විත්වයක් අධ්‍යක්ෂණයට සූදානමින් සිටින ගයාන්, රඟපෑ ටෙලි නිර්මාණ ද 07ක් පමණ විකාශයට නියමිතය .


ප්‍රේක්ෂකයාට ගුණාත්මක නිර්මාණ ලබාදෙමින් කලා ලොව තුළ නිදහස් ගමනක් යෑමට බලාපොරොත්තුවෙන් සිටින බව ද ගයාන් වික්‍රමතිලක පැවැසිය.

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
Previous Post Next Post