මායාවී ටෙලිනාට්‍යයේ පවන්සිරිගේ අම්මා ‘අයිරා’ ගැන ප්‍රේක්ෂකයන් අතර කතාබහක් ඇතිවී තිබේ. ‘මායාවී’ ටෙලිනාට්‍යයට අමතරව තවත් ටෙලිනාට්‍ය රැසකදීම අප හමුවට පැමිණෙන රංගන ශිල්පිනී පවිත්‍රා වික්‍රමසිංහ ‘අයිරා’ ගැන කතාබහට එක්වුණේ මෙලෙසිනි.
“මායාවී ටෙලිනාට්‍යයේ පවන්සිරිගේ අම්මා හෙවත් අයිරා කියන්නේ දරුවන්ගෙන් අකටයුත්තක් වෙනවා නම් ඔවුන්ව හදාගන්න කෑකෝ ගහන අම්මා කෙනෙක්. මෙවැනි අම්මලා අදටත් ගම්වල ජීවත්වෙනවා. මගේ පෞද්ගලික ජීවිතේත් පවන්සිරිගේ අම්මා වගේ මම හැසිරෙන අවස්ථා තියෙනවා. අපි හැමදෙයක්ම කරන්නේ දරුවන්ව හදාගැනීමේ අරමුණින්. සමහර ප්‍රේක්ෂකයන් මම ඒ චරිතය කරනවට කැමැති නැහැ. පවන්සිරිගේ අම්මාගේ චරිතයට මට ආරාධනා කළේ ‘මායාවී’ ටෙලිනාට්‍යයේ නිෂ්පාදක ලලිත් වසන්ත අයියා. මම හරිම කැමැත්තෙන් චරිතය භාරගත්තේ. අධ්‍යක්ෂ සඳුන් රාජකරුණා මල්ලි සමඟ මීට පෙර ‘නීල පබළු’ නාට්‍යයේ වැඩ කළා. ‘මායාවී’ නාට්‍යයේ රංගන ශිල්පීන්, කාර්මික ශිල්පීන් සහ අනෙක් හැමෝම එක්ක සතුටින් වැඩකරන්නේ. දර්ශනතලයේදී අපි හරිම විනෝදයෙන් කාලය ගත කරන්නේ.”
පවිත්‍රා වික්‍රමසිංහ රඟපෑ බොහෝ චරිත ග්‍රාමීය කාන්තා චරිතය. ප්‍රේක්ෂකයා ද ඇය රඟන චරිතවලට වඩාත් කැමැත්තක් දක්වන්නේය.
“මට මේ හැමදාම ලැබුණේ ගැමි චරිත. සමහරවිට මගේ පෙනුමෙන් ඒක හැමෝටම දැනෙනවා ඇති. ප්‍රේක්ෂකයා කැමැති ගැමි චරිතවලින් මාව දකින්නයි. සමහර සැරපරුෂ චරිත කරද්දි ඔවුන් ඒවාට අකැමැති බව කියනවා. මේ ළඟකදී අනුරාධපුරේ ගිය දවසක හමුවූ රසිකයන් පිරිසක් ‘මායාවී’ ටෙලිනාට්‍යයේ චරිතය ගැන කතා කළා. ඔවුන් කිව්වේ “අනේ ඔයා දැන් සැරවෙලා. ඔයා හරි අහිංසකයි, අපි කැමැති ඔයාගෙන් අහිංසක චරිත දකින්න” කියලා.
මේ දිනවල විකාශය වන ‘මායාවී’ ටෙලිනාට්‍යයට අමතරව ‘දොරකඩ දෙවොල, සිහිනෙක තනිවෙලා, කඩදහි ඔරු, මුතු සාලේ’ ටෙලි නිර්මාණ ඔස්සේ ද පවිත්‍රාගේ රංගන ප්‍රතිභාව දැකිය හැකිය. ඒ අතරින් ‘දොරකඩ දෙවොලේ’ ගැමි කතක් වූ ‘කඩේ අක්කා’ට ඉහළම ප්‍රතිචාර ලැබෙමින් තිබීම විශේෂත්වයකි.
” ‘දොරකඩ දෙවොල’ ටෙලිනාට්‍යයට වගේම එහි මා රඟපෑ කඩේ අක්කා චරිතය ගැන බොහෝ අය කතා වෙනවා. කඩේ අක්කා කියන්නේ තරමක් මසුරු වුණත්
නරක කෙනෙක් නෙමෙයි. ගමේ මිනිස්සුන්ට පිහිටවෙන හිත හොඳ ගැමි ගැහැනියක්. මම ඒ චරිතය හරි ආසාවෙන් කළේ. අධ්‍යක්ෂ ලලිත් රෝහිත එදිරිසිංහ මල්ලිට ස්තුති කරනවා. ඔහුගේ ‘ඉරගිනි මද්දහන’ නාට්‍යයෙත් මම රඟපෑවා”
පවිත්‍රාගේ රංගන දිවිය ආරම්භවන්නේ 1980 දශකයේ මුල්භාගයේය. අනතුරුව වසර 16ක් කලා ලොවෙන් ඉවත්ව සිටි ඇය නැවත රංගනයේ දෙවැනි ගමනක් ද අරඹා තිබේ. ඒ අතීතය සිහිකරන ඇය.
“මගේ ගම වෑතර, පොල්ගස්ඕවිට. බන්දුල විතානගේ මහතාගේ ‘අත්ත බිඳෙයි’ ටෙලිනාට්‍යය රූගත කළේ මගේ ගමේ. අධ්‍යක්ෂ සුදත් සේනාරත්න මහතා සිටියෙත් අපේ ගමේ. සුදත් මහත්මයා නිසයි මට බන්දුල විතානගේ මහතාගේ ‘අත්ත බිඳෙයි’ ටෙලිනාට්‍යයේ රඟපාන්න ලැබුණේ. පසුව විමලරත්න අධිකාරි, දයාරත්න රටගෙදර දෙදෙනාගේ ටෙලිනාට්‍ය දෙකකත් රඟපෑවා. 1989දී වගේ හර්බට් රංජිත් පීරිස් මහතා මාව දැකලා මට කතා කළා “මම අලුත් ටෙලිනාට්‍යයක් කරනවා ‘හිරුට මුවාවෙන්’ කියලා, ඒකේ රඟපාමු” කියලා. එහි කමල් අද්දරආරච්චිගේ නංගි ලෙසයි මම රඟපෑවේ. ඒක රඟපාන්න හරිම ආසාවෙන් භාරගත්තා. පසුව ආචාර්ය ලෙස්ටර් සුමිත්‍රා යුවළගේ ‘ගොළු හදවත’ ටෙලිනාට්‍යයේත්, 1991දී ආචාර්ය ධර්මසේන පතිරාජයන්ගේ ‘කඩුල්ල’ ටෙලිනාට්‍යයේත් මම රඟපෑවා. 1991දී මගේ විවාහයත් සමඟ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයෙන් සමුගත්තා. අවුරුදු 16ක් වගේ ක්ෂේත්‍රයෙන් ඉවත්ව සිටියා. පසුකාලෙක චන්න පෙරේරාගේ ටෙලිනාට්‍යයකට මගේ දරු දෙන්නව අරන්ගියත් ඒ දෙන්නා කුඩා වැඩියි කිව්වා. එහිදී චන්න පෙරේරා මගෙන් ඇහුවා “පවිත්‍රා ඔයා ඇක්ට් කරන්නේ නැද්ද? ” කියලා. මම මහත්තයාගෙන් අහලා බලන්නම් කියා ඔහුගේ අවසරය ගත්තා. එහිදී චන්න පෙරේරා අධ්‍යක්ෂණය කළ ‘ටිකිරි හපන්නු’ ටෙලියේ මවකගේ චරිතයක් කළා. එතැනින් තමයි වසර 16ක් නවතා තිබූ මගෙ රංගන දිවියේ දෙවැනි ගමන ඇරඹුණේ. ඒ දෙවැනි ගමනත් සමඟ තමයි අද වන තෙක් මම රැඳීසිටින්නේ. ”
සිනමාවේ සහ වේදිකාවේ පවිත්‍රාගේ භූමිකාව ගැන කීවේ මෙවැන්නකි.
“චිත්‍රපට විස්සකට ආසන්න ප්‍රමාණයක රඟපෑවා. මෑතකත් චිත්‍රපට තුනකට එක්වුණා. වේදිකා නාට්‍ය නම් එකයි කළේ. වේදිකාවට ආරාධනා ලැබුණත් පුහුණුවීම්වලට කාලය යොදවන්න බැරි ප්‍රශ්නය තිබෙන්නේ. අලුත් වේදිකා නාට්‍යයක රිහසල් කරන්න බලාපොරොත්තු වෙනවා. ”
‘රෑන’ ටෙලිනාට්‍යයේ ඇගේ රංගනයත්, ‘සිදූ, ගැහැනු ළමයි, නීල පබළු, රැල්ල වෙරළට ආදරෙයි’ ටෙලිනාට්‍යයන්හි පවිත්‍රා නිරූපණය කළ එකිනෙකට වෙනස් චරිතත් පෝදින ටෙලිනාට්‍ය මාලාවන්හි අහිංසක මවුවරුන්ගේ චරිතත් සඳහා ඉහළම ප්‍රේක්ෂක ආදරය හිමි වූ ඇය පවසන්නේ සතුටිනි.
සිය පවුලේ විස්තර ද ඇය අවසන් වශයෙන් පැවසූවේ මෙලෙසිනි.
“මගේ සැමියා පොලිස් දෙපාර්තමේන්තුවේ සේවය කරන්නේ. මට දුවෙක් හා පුතෙක් ඉන්නවා. ළඟදීම මම ආච්චි කෙනෙක් වෙන්න බලාපොරොත්තු වෙනවා“ ඇය පැවසුවේ සතුටින් හිනැහෙමිනි.