වේදිකාව, සිනමාව, පුංචි තිරය එකසේ දිග්විජය කළ විජය නන්දසිරි නම් අසහාය කලාකරුවා අප අතරින් සමුගෙන හරියටම වසර දහයකි. හැටේ දශකයේ වේදිකාව ඔස්සේ කලාවට පිවිසි විජය නන්දසිරි අවුරුදු 28ක් තිස්සේම මනමේ කුමරා ලෙසින් වේදිකාවේ අසහාය රංග ප්‍රතිභාවක් ප්‍රදර්ශනය කළේය. එමෙන්ම සිංහබාහු, සුබ සහ යස ඇතුළු වේදිකා නිර්මාණ රැසකින් වේදිකාව හැඩ කළ ඔහු ප්‍රහසන නළුවකු ලෙස පුංචි තිරයේ වෙනමම ප්‍රතිභාවක් ප්‍රදර්ශනය කළේය.
නෑදෑයෝ, හිඟන කොල්ලා, සසර, සඳකඩ පහණ, මගෝඩි ගොඩයි, සර් ලාස්ට් චාන්ස්, සිකුරු හතේ, සුහද කොකා ඇතුළු සිනමා නිර්මාණ රැසකට රංගන දායකත්වය ලබාදුන් විජය නන්දසිරි ‘යර්ස් බොස්, නෝනාවරුනි මහත්වරුනි‘ වැනි ටෙලි නිර්මාණ ඔස්සේ ප්‍රහසන හැකියාවෙන්ද ප්‍රේක්ෂක සිත් අමන්දානන්දයට පත්කළේය. එමෙන්ම ‘පුංචි පහේ මං’ වැනි වැඩසටහන් ඉදිරිපත් කරමින් වැඩසටහන් මෙහෙයවන්නකු ලෙසද ජනාදරයට පත්වූවේය.
ගිරිරාජ් කෞෂල්‍යගේ ‘සිකුරු හතේ‘ සිනමාපටය ඔහුගේ රංගන දිවියේ හැරවුම් ලක්ෂ්‍යය වූ අතර නෝනාවරුනි මහත්වරුනි, යස් බොස් වැනි ප්‍රහසන ටෙලි නිර්මාණ ඔස්සේ වෙනමම ප්‍රේක්ෂකාගාරයක් නිර්මාණය කරගත්තේය. ඉන් ඔහුගේ ප්‍රතිභාපූර්ණ රංගන හැකියාවට කිසිදු හානියක් නොවූ බවද කිව යුතුය.
2016 අගෝස්තු 8 වැනිදා අප සැම සිත් කඳුළින් තෙත් කරමින් විජය නන්දසිරි නම් ඒ අසහාය කලාකරුවා අප අතරින් සමුගත්තේය. වියෝවෙන් දස වසරක් ගතවී ඇතත් ඔහු අදටත් ප්‍රේක්ෂක හදවත් තුළ අමරණීය චරිතයකි. ‘විජය නන්දසිරි දසවසක ගුණ සැමරුම‘ රංගන පෞරුෂයේ විජයාවතරණය සැමරුම් උළෙල අගෝස්තු 14 වැනිදා හවස 6.30ට මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානමින් පවතී. ප්‍රවීණ මාධ්‍යවේදිනී හේමාලි විජේරත්න විසින් රචිත විජය නන්දසිරි ජීවිත කතාව ඇතුළත් ‘රංග පෞරුෂයේ විජයාවතරණය’ග්‍රන්ථය එහිදී එළිදැක්වීමටද නියමිතය.
විජය නන්දසිරි කලාකරුවාගේ දසවස් ගුණ සැමරුම වෙනුවෙන් පැවැත්වෙන සැමරුම් උලෙළ පිළිබඳ ඔහුගේ ආදරණීය බිරිඳ ප්‍රවීණ රංගන ශිල්පිනී දේවිකා මිහිරාණි අප හා පැවසුවේ මෙවන් කතාවකි.
“විජය සමරා 14 වැනිදා සවස 6.30ට මරදාන එල්ෆින්ස්ටන් රංග ශාලාවේදී බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, රයිගම් සමූහයේ අධිපති රවී ලියනගේ සහ ඔහුගේ බිරිඳ ගීතා ලියනගේ ඇතුළු සම්භාවනීය අමුත්තන්ගේ ප්‍රධානත්වයෙන් විජය නන්දසිරි සැමරුම් උලෙළක් පැවැත්වෙනවා.
එහිදී ප්‍රවීණ මාධ්‍යවේදිනී හේමාලි විජේරත්න විසින් රචිත විජය නන්දසිරි චරිතාපදානය ඇතුළත් ‘රංගන පෞරුෂයේ විජයාවතරණය’ ග්‍රන්ථයත් එළිදැක්වෙනවා. විජය උපන්දා ඉඳන් මියයන තෙක්ම විජයගේ ජීවිතයේ විවිධ සංධිස්ථාන වගේම ඔහුගේ චිත්‍රපට ජීවිතය, ටෙලි නාට්‍ය, නාට්‍ය කලා ජීවිතය මෙන්ම ඒ ආශ්‍රිතව සිදුවුණු විශේෂ සිදුවීම් මෙහි ඇතුළත් වෙලා තියෙනවා. සැමරුම් උලෙළේදී විජය කලාවට කළ මෙහෙවර ගැනයි කතාබහට ලක්වෙන්නේ. ඒ වගේම මෙය සුවිශේෂී විශේෂාංග රැසකින් සමන්විත වෙනවා. එහිදී ඔහුගේ ජීවිත කාලයට අදාළ සිදුවීම් ඇසුරින් නිර්මාණය වුණු ට්‍රේලර් එකක් ප්‍රදර්ශනය කෙරෙනවා. ඒ වගේම ගිරිරාජ් කෞෂල්‍ය සහ සරසවිය පුවත්පතේ කර්තෘ ආචාර්ය නුවන් නයනජිත් කුමාර විජයගේ සුවිශේෂිතා ගැන කතාබහට ලක්කරනවා. ඊට අමතරව බන්දුල නානායක්කාරවසම්, බණ්ඩාර ඇහැළියගොඩ සහ නිලාර් එන් කාසීම් විසින් රචිත ආචාර්ය රෝහණ වීරසිංහ සහ නවරත්න ගමගේ විසින් සංගීතවත් කළ විජය ගැන ලියවුණු ගීත කිහිපයක් දුව නවන්ජනා සහ පුතා රසාංජන විසින් ගායනා කරනවා. චන්න විජේවර්ධනගේ නර්ථනයෙන් හැඩවන සැමරුම් උලෙළ මෙහෙයවනු ලබන්නේ චමින්ද ගුණරත්න සහ පාරමී රණසිංහ. සැමරුම් උලෙළේ සියලු සැලසුම් සහ සංවිධාන කටයුතු සිදුකරන්නේ ප්‍රවීණ මාධ්‍යවේදී උපුල් නිශාන්ත.
වේදිකාව, සිනමාව වගේම පුංචි තිරයේත් විජයගේ ප්‍රතිභාව හොඳින්ම දකින්න ලැබුණා. ඒ වගේම වැඩසටහන් මෙහෙයවන්නෙක් ලෙසත් ඔහුගේ ප්‍රතිභාව ප්‍රදර්ශනය වුණා. මට හිතෙන විදිහට ඔහු හරියට කාසියක දෙපැත්ත වගේ. මොනපැත්ත පෙරළුණත් ඔහු ඒකට අනුගත වෙනවා. කලාත්මකද වාණිජද කියන එක ඔහුට ගැටලුවක් වුණේ නැහැ. කලාකරුවකුට ඒක බොහොම අපහසු වැඩක්. අවුරුදු 28ක් තිස්සේ මනමේ කුමාරයා විදිහට වේදිකාවේ රංගන ප්‍රතිභාව ප්‍රදර්ශනය කළ විජය නන්දසිරිමයි නෝනාවරුනි මහත්වරුනි ප්‍රහසන ටෙලි නිර්මාණයේ ප්‍රේමචන්ද්‍රගේ භූමිකාවෙන් ප්‍රේක්ෂක හදවත් ස්පර්ශ කළේ. ඔහු මොන චරිතය කළත් එයට අසාධාරණයක් කළේ නැහැ. ඔහුටම අවේණික වුණු ශෛලියක් ඔහුට තිබුණා. විශේෂයෙන්ම ඔහුගේ දෙබස් උච්චාරණය ගැන සැලකිල්ලට ගත්තොත් ටයිමින්, පිච්, බැලන්සින් ඔහු හරියටම පවත්වා ගෙන යනවා. තමන්ගේ චරිතය ගැන පමණක්ම හිතුවෙ නෑ. අනෙක් අයටත් සියයට සීයක්ම සහයෝගය ලබාදුන්නා. ප්‍රහසනය පැත්ත ගත්තත් පවුලේ හැමෝටම එකට ඉඳන් බලන්න පුළුවන් විදිහටයි කළේ.
තව කාලයක් රසිකයන් පිනවන්න තිබුණු අවස්ථාවක් මඟහැරලා ඔහු යන්න ගියා. ඒක රසිකයන්ට වගේම මටත් මගේ දරුමුණුපුරන්ටත් කරපු අසාධාරණයක් කියලයි මට හිතෙන්නේ. ඒත් මේක තමයි හැමෝටම පොදු යථාර්ථය. අපි ඒක අවබෝධ කරගත යුතුයි.