නෙත්මි රොෂෙල් රොජර්ස් යනු ශ්‍රී ලංකාවේ වත්මන් පරපුරේ අතිශය ජනප්‍රියත්වයට පත් ලාංකික රංගන ශිල්පිනියක්. පුංචි තිරේ ආදරේ දිනා ගත්තු ඇය මේ වෙද්දී සිනමා නිර්මාණ ඔස්සේද ප්‍රේක්ෂක ආදරේ දිනා ගනිමින් සිටී. නෙත්මි ගැන අලුත්ම තොරතුරු දැන ගන්න ඇය සමඟ කළ කතාබහකි මේ.
නෙත්මි මොකද වෙන්නේ මේ දවස්වල?
මම රංගනයෙන් දායක වූ සිනමා නිර්මාණ දෙකක් එන්න තියෙනවා. ඒ වැඩ කටයුතු එක්ක ටිකක් කාර්යබහුල වෙලා ඉන්නවා. ඒ එක්කම දෙරණ ලිට්ල් ස්ටාර් සීසන් 12 වල අවසන් අදියරේ ඉන්නේ. ඒ වගේම හිරු නාළිකාවේ විකාශය වන ‘සෝනු මන්දාරා‘ නාට්‍යයේ සහ දෙරණ නාළිකාවේ අලුතින්ම විකාශය වන නාට්‍යයේ රූපගත කිරීම්වලට සහභාගි වෙනවා.
ඔබ රංගනයෙන් එක්වූ කල්පනා චිත්‍රපටය ගැන ඉදිරියේදි තිරගත වෙනවා නේද?
ඔව්. කල්පනා කියන්නේ මම බොහොම ආසාවෙන් එක් වුණු වැඩක්. සාරංග මෙන්ඩිස් අයියාගේ කුලුඳුල් සිනමා නිර්මාණය. කල්පනා චිත්‍රපටය අගෝස්තු 13 වනදා ඉඳන් තිරගත වෙනවා. ආදරේ ගැන තමයි ඒ චිත්‍රපටයෙන් කතාවෙන්නේ. මේක රොමෑන්ටික් කොමඩි (Romantic Comedy) වර්ගයේ චිත්‍රපටයක්. මම යි රවීන් කනිෂ්ක අයියායි තමයි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ. ආදරේට ආදරේ දෙන්න කියන එක ගැන තමයි සිනමාත්මකව කතා වෙන්නේ.
එතකොට කතා නොකරම බැහැ ‘එදා රෑ‘ චිත්‍රපටය ගැන
‘එදා රෑ‘ කියන්නේ බොහෝ දෙනෙක් බලාපොරොත්තු තියාගෙන ඉන්න නිර්මාණයක්. ඒ සඳහා සම්බන්ධ වීමට ලැබීම භාග්‍යයක් විදියට මම දකින්නේ. මට ලැබුණු චරිතය මිල්ටන් මල්ලවආරච්චි මහතාගේ බිරිඳ වන ස්වර්ණා මල්ලවාරච්චි මහත්මියගෙ චරිතය. මට චිත්‍රපටයේ මුහුරත් උලෙළ දවසේ එතුමිය මුණ ගැහුණා. එතුමියගේ චරිතය මම කරන්නේ කියලා දැන ගත්තම එතුමිය ඉතාමත් සතුටට පත් වුණා සහ මට ආශීර්වාද කළා. චරිතය සාර්ථකව කර ගන්න ස්වර්ණා මල්ලවාරච්චි මහත්මියගෙන් ලැබුණු ආශීර්වාදය මට ලොකු ශක්තියක් වුණා.
මුලින්ම හමු වුණු දවසේ එතුමිය මොකද කිව්වේ
එතුමිය අදටත් හරිම ලස්සනයි. ලස්සන හිනාවක් ඇය සතුයි. මම ඇයට කිව්වම “ඔබතුමියගේ හිනාව ලස්සනයි“ කියලා. (ඒ තරම් අව්‍යාජ ලස්සන හිනාවක් ඇය සතුයි.) එතුමිය මට කිව්වේ “ඔයා තරම් නම් නැහැ“ කියලා. ඒ වගේ සුන්දර හදවතක් තියෙන ආදරණිය චරිතයක් එතුමිය. ඒවගේම රනිල් අයියා නිරාශා අක්කා මේ හැමෝම මට ආශීර්වාද කළා.
නෙත්මි ක්ෂේත්‍රයට ආව ගමනෙදි අරුණ ජයවර්ධන කියන්නේ අමතක නොවනම චරිතයක් නේද?
ඇත්තෙන්ම ඔව්. මම මේ ක්ෂේත්‍රයට එන්නෙම අරුණ ජයවර්ධන අයියාගේ සක්කාරන් නාට්‍ය හරහා. එදා ඒ චරිතයට මාව තෝරා ගෙන මගේ තාත්තාගෙන් අවසර ලබා ගත්තේ අරුණ අයියා සහ අංජලි බුධවත්ත අක්කා. ඒ දෙන්නා එදා ගත්ත අවසරය නිසා තමයි අවුරුදු 7ක් තිස්සේ විවිධ නිර්මාණ ඔස්සේ මම ප්‍රේක්ෂකයන් අතරට එන්නේ. ඒ නිසා නැවත අරුණ අයියාගේ සිනමා නිර්මාණයකට දායක වෙන්න ලැබීමත් සතුටක්.
ක්ෂේත්‍රයට ආපු දවස්වල වගේම අදටත් නෙත්මිගේ සුන්දරත්වයේ සහ ගතිගුණවල වෙනසක් නැහැ, මොකක් ද රහස?
ප්‍රේක්ෂකයන් මට ආදරය කළේ මම ක්ෂේත්‍රයට ආපු දවස්වල හිටපු විදිහට. ඒ නිසා මම හැමතිස්සෙම උත්සාහ කරන්නේ මට ගැළපෙන දේ කරන්න සහ ප්‍රේක්ෂකයන්ගේ ආදරය රැකගෙන එදා වගේම ඉන්න. එහෙම නැතුව එන හැම ට්‍රෙන්ඩ් එකක්ම ෆලෝ කරන්නේ නැහැ. මට ගැළපෙන දේ විතරයි කරන්නේ. මම ආව මුල් කාලෙට වඩා අද මට ප්‍රේක්ෂකයන් ආදරේ කරනවා. ඒ නිසා ඒ ආදරේට මමත් එදාටත් වඩා ආදරේ කරනවා. ප්‍රේක්ෂක ආදරේ නිසා තමයි අද අපි මෙතන ඉන්නේ.
නෙත්මි රොෂෙල්ව ප්‍රේක්ෂකයන් අතරට වැඩියෙන්ම අරගෙන ගිය චරිතේ මොකක් ද?
මාව වැඩියෙන්ම ජනප්‍රිය වුණේ ‘දෙවෙනි ඉනිම’ ටෙලිනාට්‍යයේ ‘ආක්ෂා’ කියන චරිතයෙන්. මගේ මුල්ම නාට්‍ය සක්කාරන්. ඊටත් කලින් මම අවුරුදු කුමරියක්. මගේ දෙවන නාට්‍යය වුණේ ‘රාවණ’. හැබැයි රාවණ විකාශය වෙන්න කලින් දෙවැනි ඉණිම විකාශය වුණා. මගේ රංගන ජිවිතේ හැරවුම් ලක්ෂ්‍යය විදියට මම අදටත් දකින්නේ ‘දෙවෙනි ඉනිම’ ටෙලිනාට්‍යයේ ‘ආක්ෂා’ කියන චරිතය. අදටත් සමහර ප්‍රේක්ෂකයින් කතා කරන්නේ ආක්ෂා කියලා.
නෙත්මි ඉදිරියට සිනමාවට වැඩි ඉඩක් දෙයි ද?
එහෙම වෙන එකක් නැහැ. පුංචි තිරය සහ සිනමාව කියන අංශ දෙකම බැලන්ස් එකේ කරගෙන යන්න තමයි මම කැමති. ඒකට හේතුව ටෙලිනාට්‍යය බලන පිරිස සහ සිනමාව බලන පිරිස අතර වෙනසක් තියෙනවා.
රංගනය වගේම නිවේදන කටයුතුත් කරනවානේ
ඔව්. මම දෙරණ ලිට්ල් ස්ටාර් සීසන් 4කට නිවේදන කටයුතු කරගෙන ආවා. මම පොඩි ළමයි එක්ක වැඩ කරන්න ආසයි. දැන් නම් ලිට්ල් ස්ටාර් සීසන් 12 එකේ අවසන් අදියරේ ඉන්නේ. සැප්තැම්බර් මාසයේ එහි අවසන් මහා තරගය පැවැත්වෙනවා.
මරණයෙන් පසු ඇස් සහ ශරීර කොටස් දන් දීමේ තීරණයට ඔබව පෙලඹවූ හේතුව මොකක්ද?
මගේ යාළුවෙකුගේ තාත්තා කෙනෙක් අසනීප වෙලා එයාට අවශ්‍ය කරන ශරීර කොටස් හොයන්න එයාලා මහන්සි වුණු විදිය මම දැක්කා. හැබැයි එයාලට පරිත්‍යාගශීළී අයෙක් මුණ ගැහුණේ නැහැ. ඒ අන්කල් මිය ගියා. ඒ සිද්ධිය මාව ලොකු කම්පනයකට පත්කළා. ඒ එක්කම ඒ සිද්ධියෙන් පස්සේ මම දැනගත්තා අපිට පුළුවන් කියලා තවත් කෙනෙකුට ජීවිතය දෙන්න අවයව පරිත්‍යාග කරන්න. ඒ අනුව මම මගේ පවුලේ අයගේත් කැමැත්ත ඇතිව, මම මියගිය දවසක මගේ ශරීරයෙ දෙන්න පුළුවන් හැමදේම පරිත්‍යාග කරන්න ලියාපදිංචි වුණා.