වීණා ජයකොඩි අවුරුදු හතළිහකට පෙර රඟපෑ උරුවිසි සමඟ වේදිකාවට එන ප්‍රතිභා හෙට්ටිආරච්චි

gossiplanka image 1
 

කලා පවුලක හැදී වැඩෙමින් වේදිකා නාට්‍යය හරහා රංගන ක්ෂේත්‍රයට පිවිසි ඇය මේ දිනවල අවුරුදු හතළිහකට පසු නව නිර්මාණයක් ලෙස වේදිකාවට ආ ‘උරුවිසි‘ වේදිකා නාට්‍යයේ ‘උරුවිසිගේ‘ චරිතය හරහා ප්‍රේක්ෂකාදරය දිනා ගෙන සිටියි. ඇය නමින් ප්‍රතිභා හෙට්ටිආරච්චි.


අවුරුදු ගාණකට පස්සේ වේදිකාවට ඒම ගැන මොකද හිතෙන්නේ?


මේ දවස්වල උරුවිසිත් එක්ක කාර්‍යබහුල වෙලා ඉන්නවා. පහුගිය කාලේ මම හිටියේ ස්වීඩන්වල. ලංකාවට ආවට පස්සේ වෙළෙඳ දැන්වීම්වල, විෂුවල්ස්වල කෙටි වැඩ කළාට මට ලැබුණු ලොකු නිර්මාණයක් තමයි උරුවිසි වෙදිකා නාට්‍යය. උරුවිසි කියන්නේ 1986 කරපු නාට්‍යයක්. එදා උරුවිසි කියන චරිතය කළේ ප්‍රවීණ රංගන ශිල්පිනී වීණා ජයකොඩි මහත්මිය. ඇය කරපු ඒ චරිතයට 1986 අවුරුද්දේ හොඳම නිළිය සම්මානයත් හිමි වුණා. අවුරුදු 40කට පස්සේ අද ඒ චරිතය තමයි මම කරන්නේ. උරුවිසි චරිතයට සහ ප්‍රේක්ෂකයන්ගේ මතකයන්වලට හානි නොවන විදිහට උරුවිසි චරිතය ඉස්මතු කරන එක මට අභියෝගයක්.


වේදිකා නාට්‍යයක රඟපෑම කියන්නේ සිනමාවට හෝ ටෙලිනාට්‍යයට වඩා වෙනස්ම අත්දැකීමක්. ‘උරුවිසි’ හරහා ලැබෙන ඒ සජීවී වේදිකා අත්දැකීම ඔබට දැනෙන්නේ කොහොම ද?


වේදිකාවේ රඟපානවා කියන එක ඇත්තටම ලේසි පහසු කාර්‍යයක් නෙවෙයි. ටෙලි නාට්‍යයක් හරි ෆිල්ම් එකක් හරි කරනවා කියන්නේ එකපාරක් වැරදුණොත් ආයෙ ටේක් එකක් ගන්න පුළුවන්. නමුත් වේදිකාවේ ආයේ ටේක් ගන්න බෑ. කළොත් කළාමයි. මම ඇත්තටම ටෙලි නාට්‍යවලටත් වඩා වේදිකාව හරියට විඳිනවා. මොකද ඒ ප්‍රතිචාරය ඒ වෙලාවේ අපිට බලාගන්න පුළුවන් නිසා. මගේ ගමන පටන් ගන්නේ වේදිකාවෙන්. වේදිකා නාට්‍යවලට ලොකු කැමැත්තක් තියෙනවා. වේදිකා නිට්‍ය කියන්නේ සෑහෙන කැපවීමෙන් මහන්සි වෙන්න ඕන වැඩක්. මාස ගණන් පුහුණුවීම් කරලා තමයි නාට්‍යයක් වේදිකාවට එන්නේ. උරුවිසි වේදිකා නාට්‍යය තිබ්බේ ගිය මාසේ. නාට්‍යයටත් මටත් හොඳ ප්‍රතිචාර තියෙනවා. මේ සජීවී අත්දැකීමට ඇත්තටම මම කැමතියි. ඒක වෙනම තෘප්තියක්.


වේදිකා නාට්‍යයට සම්බන්ධ අනෙකුත් රංගන ශිල්පීන්ගෙන් ඔබේ චරිතයට ලැබෙන්නේ මොන වගේ සහයෝගයක් ද ?


උරුවිසි නාට්‍යයට සම්බන්ධ වෙන්නේ මාලි ජයවීර මහත්මිය හරහා. වේදිකා නාට්‍යයක් කියලා කියන්නේ කණ්ඩායම් වැඩක්. හැමෝගෙම සහයෝගය නැතිව නාට්‍යයක් සාර්ථක කරගන්න බැහැ. අපේ කණ්ඩායමේ හැමෝගෙන්ම ලොකු සහයෝගයක් ලැබෙනවා. ඒ සහයෝගයත් එක්ක තමයි මේ චරිතයට පණ පොවන්නේ. වීණා ජයකොඩි මහත්මියව මතක් කරන්නම ඕනේ. ඇය බොහොම නිහතමානී චරිතයක්. ඇය අවුරුදු හතළිහකට කලින් කරපු චරිතයක්නේ මම කරන්නේ. ඇය ලෝබ නැතුව ඒ ගුරුහරුකම් සහ ඇයගේ අත්දැකීම්, ඒ චරිතයට ඇය කොහොමද පිවිසුණේ කියන දේවල් ගැන ලොකු දැනුවත් කිරීමක් කළා. ඊට අමතරව ගාමිණී අපොන්සු, සුසිල් පෙරේරා, හේමන්ත අයියා, ඕදාත හංසක, මාලි ජයවීර මහත්මිය ඇතුළු අපි හත් දෙනෙක් තමයි මේ වැඩේ ඇතුළේ ඉන්නේ. ඒ හැමෝගෙම සහයෝගයත් එක්ක තමයි මේ නාට්‍යය සාර්ථක වෙලා තියෙන්නේ.


ඔබේ පියා ගාමිණී හෙට්ටිආරච්චි කියන්නේ ක්ෂේත්‍රයේ ප්‍රවීණ රංගන ශිල්පියෙක්. ඒ වගේම ඔබේ මව සහ සහෝදරයත් කලාවට සම්බන්ධයි. කලාත්මක පසුබිමක් තියෙන පවුලක හැදී වැඩීම ඔබට දැනෙන්නේ කොහොම ද ?


කලාත්මක පවුලක ඉපදෙනවා කියන්නෙම ලොකු භාග්‍යයක්. මගේ තාත්තා සහ අම්මා සහෝදරයා මගෙ පිනකට ලැබුණු අය. තාත්තා මේ ක්ෂේත්‍රයේ ප්‍රවීණ රංගන ශිල්පියෙක්. ඒ කාලේ මේ තරම් තාක්ෂණික මෙවලම් දියුණු මට්ටමක තිබුණේ නැහැ. මගේ තාත්ත ඇතුළු ශිල්පීන් ඒ යුගේ වේදිකාවට සහ නිර්මාණවලට වුණු කැප කිරීම අපි දැක්කා. ඒ නිසා වෙන්න ඇති අපිට මේ කලාවට එන්නත් ආසාවක් ඇති වෙන්න ඇත්තේ. ඉස්සර සෑහෙන්න වේදිකා නාට්‍ය බලලා තියෙනවා. රාජ්‍ය නාට්‍ය උලෙළවලට පොඩි කාලේ ඉඳන්ම ගිහින් තියෙනවා. අයියයි මමයි ගිහින් නාට්‍ය බලනවා. මට රඟපාන්න එන්න හිතෙන්න ඇත්තේ ඒ නිසා වෙන්න ඇති. ඒ වගේම ජානවලින් එන කොටසකුත් තියෙනවනේ. කලා පවුලක හැදෙනවා කියන එක ලොකු භාග්‍යයක්.


මම දැන් කථිකාචාර්යවරියක් විදිහට පෞද්ගලික විශ්වවිද්‍යාලයක වැඩ කරනවා. කලාවයි මගේ ආසම වෘත්තියයි දෙකම බැලන්ස් කරගෙන යනවා.


රංගන ජීවිතයත් පෞද්ගලික ජීවිතයත් ඔබ සමබර කර ගන්නේ කොහොම ද ?


මගේ අම්මයි තාත්තයි දෙන්නම රජයේ රස්සාවල් කරපු දෙන්නෙක්. තාත්තා සිනමාවට සහ දෙන්නම වේදිකාවට සහ ටෙලිනාට්‍යවලට සම්බන්ධ රංගන ශිල්පියෙක් සහ ශිල්පිනියක්. ඒක ඇතුළෙ දී අපේ වැඩත් කරගෙන රස්සාවත් කරගෙන කලා වැඩත් කරගෙන හරි විදිහට ජීවිතේ බැලන්ස් කර ගන්නවා පහසු නෑ. මම දැකලා තියෙනවා අම්මයි තාත්තයි ඒ කාලේ වැඩ බෙදාගෙන කොහොමද කළේ කියලා. මමත් මගේ අම්මා සහ තාත්තව තමයි ආදර්ශයට ගන්නේ. කලා වැඩවලට මගේ සැමියා, අම්මා, අයියා මට ගොඩාක් උදව් කරනවා. මගේ දරුවෝ දෙන්නටත් දැන් මේක ගැන අවබෝධයක් තියෙනවා. ඉතින් ඒ සහයෝගයත් එක්ක තමයි මේ හැමදේම කර ගන්නේ.


ප්‍රතිභාව ප්‍රේක්ෂකයන් අතරට අරන් ගිය චරිතය මොකක් ද ?


මම යම්කිසි තෝරා බේරා ගැනීමක් එක්ක තමයි නිර්මාණවලට සම්බන්ධ වුණේ. ප්‍රේක්ෂකයා අතරට වැඩියෙන්ම ගියපු ටෙලිනාට්‍යය කියලා මම හිතන්නේ රෙජිනෝල් ජයමාන්න මහත්මයාගේ සැණකෙළියයි මායා ටෙලිනාට්‍යය. කවුරුත් දන්නේ මැජික් කතාව කිව්වහම. ඒකේ වින්දි කියන චරිතය. හොඳම සහය නිළිය විදිහට සම්මාන උලෙළවල් තුනක සම්මාන ලැබු චරිතයක්. ඊට අමතරව සන්තුස ලියනගේගේ ‘භාව තීර්ථ‘කියන ටෙලි චිත්‍රපටි මාලාව. ඊළඟට සුසිරද සිල්වාගේ ‘නිම් සත්ත්වයෝ‘ වගේ නිර්මාණ හරහා ප්‍රේක්ෂකයන් අතරට ගියා කියලා හිතනවා.


ඉදිරියේ දී ප්‍රතිභාව දැක ගන්න පුළුවන් අලුත් නිර්මාණ මොනවද?


උරුවිසි එක්ක රට පුරා යන්නයි බලාපොරොත්තුව. මගේ අයියා ශක්ති හෙට්ටිආරච්චිත් නිර්මාණයක් කරන්න හිතාගෙන ඉන්නවා. මගේ අම්මා ළමයින් වෙනුවෙන් නාට්‍ය ඇකඩමි එකක් පවත්වා ගෙන යනවා. ඒ ඇකඩමි එක හරහා ළමා නාට්‍යයක් මේ දවස්වල පුහුණු කරමින් ඉන්නවා.

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
Previous Post Next Post