තිරපිටපතවත් බලන්නෙ නැතුවයි මං මේකට කැමැති වුණේ -හිමාලි සයුරංගි

gossiplanka image 1
 


නටත් අයෙක් සුරා මතින්’ මේ දිනවල ස්වර්ණවාහිනී නාළිකාවේ විකාශය වන ජනප්‍රියම ටෙලි නිර්මාණයයි. එහි නන්දිගේ භූමිකාවට පණ පොවන හිමාලි සයුරංගිගේ රංගන ප්‍රතිභාවද බොහෝ දෙනාගේ කතාබහට ලක්වී ඇත. ඇය ඔබට නුහුරු නුපුරුදු ද නොවේ. වසර දහයකට ආසන්න කාලයක් ‘දෙවනි ඉනිම’ ටෙලි නිර්මාණයේ උදේනිගේ භූමිකාවට පණ පොවනු ලැබූවේද ඇයයි. නන්දී ඇගේ රංගන දිවියේ සුවිශේෂී හැරවුම් ලක්ෂ්‍යයක් වන බවට මේ වනවිටත් ඉඟි පළවෙමින් තිබේ. නන්දිට ලැබෙන අසීමිත ප්‍රේක්ෂක ප්‍රතිචාර හමුවේ සතුටින් සිටින ඇය අප හා කතාබහට එක්වූවාය.


‘නටත් අයෙක් සුරා මතින්’ ටෙලි නිර්මාණයේ නන්දි කියන්නේ මේ දිනවල බොහෝ දෙනාගේ කතාබහට ලක්වන භූමිකාවක්. නන්දි වෙන්න ලැබීම ගැන මොකද හිතෙන්නේ?


පහුගිය කාලෙටම මට දැනෙන, හොඳ චරිතයක් කරන්න ලැබුණෙම නැහැ. රොෂාන්ගේ ‘නටත් අයෙක් සුරා මතින්’ ටෙලි නිර්මාණයේ නන්දි කියන්නේ මට කාලෙකින් ලැබුණු හොඳ චරිතයක්. රොෂාන් ඉතාම ලස්සනට ප්‍රධාන චරිතයට පණ පොවන අතරේම අධ්‍යක්ෂණයත් කරමින් නන්දිගේ චරිතය ගොඩනඟන්න ලොකු සහයක් දුන්නා. කතාව බලන හැමෝම නන්දිට ආදරය කරනවා. නන්දි වටා ලොකු ප්‍රේක්ෂකාගාරයක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ හැම ප්‍රතිචාරයක්ම ඉතාම සතුටින් විඳිමින් ඉන්නවා.


නන්දි කියන්නේ සමාජයේ බහුතර කාන්තාව නියෝජනයක්. නන්දි ඔබට දැනුණෙ කොහොමද?


මට කවදාවත් නන්දිට වගේ අත්දැකීමක් තිබුණෙ නැහැ. මගේ තාත්ත වුණත් එහෙම බොන කෙනෙක් නෙවෙයි. නමුත් පිටස්තර ලෝකයේ මං මේව දැකලා තිබුණා. යාළුවන්, සමාජයේ විවිධ ස්තරවල මිනිස්සු එක්ක ආශ්‍රය කරද්දී, ඔවුන් එක්ක ගැටෙද්දී පෙනෙන දේවල් ආශ්‍රයෙන් තමයි අපි චරිත ගොඩනඟා ගන්නේ. එහෙම නැතුව හැමදේම අපිම ලබන අත්දැකීම් නෙවෙයි. නන්දිගේ පරාජිත බව, හෙම්බත් වීම, විඳවිල්ල තමයි මේ මුළු නාට්‍ය පුරාම තියෙන්නේ. නන්දිට කවදාවත් හිනාවෙලා ඉන්න අවස්ථාවක් ලැබෙන්නෙම නෑ. රස්සාවේ කරදරයි, කුලී ගෙවල් ප්‍රශ්නයි, දරුවාගේ පාසලේ ප්‍රශ්නයි, ලද්දුගේ ප්‍රශ්නයි එක්ක එයාගේ විඳවීම, බිඳ වැටීම තමයි මුළු කතාව පුරාම තියෙන්නේ. ඇය පවුල් සංස්ථාව පවත්වාගෙන යන්න කොතරම් උත්සාහ කළත් ඒ හැම වෙලාවකම ඇය බිඳ වැටෙනවා. ඒ වගේ අවස්ථාවල තමයි ඇය වචනයෙන් හරි සැහැල්ලුවක් වෙන දේවල් හොයාගන්නේ. ඒක හරිද වැරදිද කියලා නිර්වචනය කරන්න බැරි වුණත් ඒවා මේ සමාජයේ තියෙනවා.


අනිවාර්යයෙන්ම නන්දි ඔබට අභියෝගයක් වෙන්න ඇති?


ඔව්. මේ නාට්‍යය ගොඩක් කාලය අරන් කරපු වැඩක්. අනෙක් නිර්මාණවල සීන්ස් කිහිපයක් කරද්දි මේකෙ දවසටම කළේ හරිම සීමිත ප්‍රමාණයයි. අපි හැමෝම රූගත කිරීම්වලට ගොඩක් මහන්සි වුණා. රොෂාන් හැම වෙලාවෙම මාව මැද මාවතක තියාගත්තා. රොෂාන්ට අවශ්‍ය රිඇක්ෂන් එක, ඔහුට අවශ්‍ය විදිහට දෙබස් කියන විදිහ වගේම ඒ චරිතයේ රිදම් එක රොෂාන් මට අල්ලල දුන්නට පස්සේ තමයි මට පහසු වුණේ. මුල් කාලෙ එහෙට මෙහෙට පනිනවා. හරියට කෝච්චිය පනිනකොට පීල්ලෙන් තියනවා වගේ රොෂාන් මාව හරි තැනින් තියනවා. හොඳ අධ්‍යක්ෂවරයෙක් කියන්නේ නිර්මාණයකට වාසනාවක්. නළුවෙක් හෝ නිළියකගේ හැකියාවන් එළියට ගන්න පුළුවන් ඒ වගේ හොඳ අධ්‍යක්ෂවරයකුට. අපේ පරම්පරාවේම කෙනෙක් වුණත් මං රොෂාන්ගෙන් ඒ ගතිලක්ෂණ දැක්කා. සමහරු අධිරංගනයක යෙදෙද්දී රොෂාන් මේ හැම චරිතයකටම පිට පනින්න දෙන්නෙ නැතුව හරියටම තියාගත්තා. මේකෙ හැම චරිතයකට වගේම නාට්‍යයටත් රිදම් එකක් තිබුණා. ඒ රිදම් එක පවත්වාගෙන යන්න පුළුවන් වුණේ රොෂාන් වගේ හොඳ අධ්‍යක්ෂවරයකුගේ මඟ පෙන්වීම නිසා.


‘නටත් අයෙක් සුරා මතින්’ හරහා කතා කරන්නේ අද සමාජයේ තදින්ම පවතින ගැටලුවක් කිව්වත් හරි නේද?


ඔව්. එතනදී රසික සුරවීරආරච්චිගේ තිරපිටපත ගැන මතක් නොකරම බැහැ. අද මේක බහුතරයක් ගෙවල්වල අඩු වැඩි වශයෙන් තියෙන ගැටලුවක්. සමහර ගෙවල්වල මීටත් වඩා තියෙනවා. තවත් සමහර ගෙවල්වල මේ මට්ටමට හෝ මීට අඩුවෙන් මේ ගැටලුවට මුහුණ දෙනවා. මේක හැම සමාජ ස්තරයකම තියෙන ගැටලුවක්. සමහර පොහොසත් පවුල්වල මේ වගේ ප්‍රශ්න නැහැ කියල හිතුවත් ඒ පවුල්වලට මේ ප්‍රශ්නෙ මීට වඩා වෙනස් විදිහට බලපානව ඇති. ඒ නිසා මේක පොදු ප්‍රශ්නයක්. පොදු මාතෘකාවක්. වැඩිය කවුරුත් කතා කරන්නෙ නැති මාතෘකාවක්. මේ දවස්වල බොන අවස්ථා ටීවී චැනල්වල පෙන්නන්න දෙන්නෙත් නැහැ. නමුත් අපිට මේක එහෙම වහලා කරන්න බැහැ. බිමත්කම පෙන්නලා ඒකේ ආදීනව කියන්න ඕන. ගොඩක් වාරණ තියෙන කාලෙක ටෙලිනාට්‍ය විකාශය කරන්න භාර ගත්ත ස්වර්ණවාහිනී නාළිකාවටත් මං ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ‘නටත් අයෙක් සුරා මතින්‘නාට්‍යය බලලා ලංකාවේ පවුල් පනහක් හරි හැදෙනවා නම් ඒක තමයි අපේ සතුට. නිර්මාණයක් හරහා මිනිස්සුන්ව කම්පනයට පත්කරන්න පුළුවන් නම්, මිනිස්සුන්ගේ හදවතට කතා කරන්න පුළුවන් නම්, පණිවුඩයක් දෙන්න පුළුවන් නම් ඒ වගේ නිර්මාණයක කොටස්කාරියක් වෙන්න ලැබීමම සතුටක්. මේ නිර්මාණය තුළින් මිනිස්සුන්ගේ ප්‍රඥාව අවදි කරන්න පුළුවන් වුණා කියලා හිතනවා.


අධ්‍යක්ෂවරයාම ප්‍රධාන භූමිකාව වෙලා ඔබත් එක්ක ගැටෙද්දී ඒක මොනවගේ අත්දැකීමක් වුණාද?


ඒක හරිම අසීරු කටයුත්තක්. රොෂාන් ඒ ගත්තේ අසීරු අභියෝගයක්. බේබද්දෙක් විදිහට රඟපානව කියන එකම ගොඩක් අසීරුයි. දහඩිය දානවා, ඇස් රතුවෙනවා වේශ නිරූපණයෙන් ඒ හැම දේම කරන ගමන් ඩිරෙක්ටර් විදිහටත් ඔහු අනෙක් අයව හැඩගස්වන්න එහෙ මෙහෙ දුවනවා. ලයිටින් බලනවා. බේබදු චරිතයක් කරනවා කියන එක නිකන් චරිතයක් කරනවා වගේ නෙවෙයි. රොෂාන් ඒකට පුදුම වෙහෙසක් ගත්තා. ඔහු මේ නාට්‍ය වෙනුවෙන් පුදුම කැපකිරීමක් කරපු කෙනෙක්.


නන්දිට හොඳ වගේම නරක ප්‍රතිචාරත් ලැබෙනවා ඇති?


අපොයි ඔව්. බොහෝ දෙනා මට බණිනවා. අපහාස කරනවා. ඒ දේවල් මැදහත් සිතින් භාරගත්තම පහසුයි. චරිතය හොඳට කරලා තියෙන නිසානේ මිනිස්සුන්ට ඒක දැනිලා තියෙන්නේ. “නන්දි මෙහෙම කළානේ“ කියන වේදනාවෙන් මිනිස්සු පෙළෙනවා. “ඇයි එහෙම කළේ. එහෙම වෙන්න එපා“ කියනවා. මේ වගේ අවස්ථාවක් ආවම තමනුත් එහෙම වෙන්න නරකයි කියන එක එයාලා දන්නවා . ඒ කම්පනය තියෙනවා. ගැහැනියක්, අම්මා කෙනෙක් එහෙම වෙන්න ඕන නෑ කියන එක ඔවුන් පිළිගන්නවා. නන්දි සමාජයට හොඳ පණිවුඩයක් දීපු චරිතයක් කියලා හිතනවා.


නන්දි කියන්නේ හැම පැත්තෙන්ම තැළෙන ගැහැනියක්?


ඔව්. ගැහැනියක් විදිහට, බිරියක් විදිහට මවක් විදිහට ඇය පවුල ගොඩනඟා ගන්න ගොඩක් උත්සාහ කරනවා. නමුත් ඇයව තේරුම් ගත්තෙ නැති‍, ඇගේ අවශ්‍යතා තේරුම් ගත්තෙ නැති සැමියෙක් එක්ක ජීවත් වෙන්න ලැබීම, ඇයට අවශ්‍ය ආදරය කරුණාව නොලැබීම මේ තත්ත්වයට පත්වෙන්න ගොඩක් බලපෑවා. මෙහි හැම චරිතයකම කළු සුදු දෙපැත්තම තියෙනවා. ලද්දුත් කළුම චරිතයක් නෙවෙයි. එයා බිරියට ළමයට හරි ආදරෙයි. නමුත් එයාගෙ ජීවිතයේ සමතුලිතභාවයක් නැතිකම තියෙනවා. රස්සාවට ගියොත් ඒකම විතරයි. සල්ලි හම්බ කරන්න ගියොත් ඒ පැත්ත. ඒ නිසා ඔහුගේ බේබදුකම පැත්ත බර වැඩි වෙනවා. එයාගෙ හොඳ ගතිගුණ ඔක්කොම ඒකෙන් වැහිලා යනවා. අන්න ඒ ජීවිතේ සමතුලිත බව රැකගන්න විදිහ තමයි මේකෙන් කියලා දෙන්නේ.


සැමියාගේ බීමත්කම මේ පවුල් සංස්ථාව බිඳවැටෙන්න ඍජුවම බලපෑවා කියන එක නේද මේකෙන් කියන්නේ?


ඇත්තටම ඔව්. ලද්දු නොබී ඇවිත් ගෙදර දොරට තට්ටු කරද්දිම අද ගෙදර අය සතුටින් ඉඳීවි, නන්දි හිනාවෙලා ඉඳීවි, ළමයත් සතුටු වේවි, ලැජ්ජා වෙන එක නැති වේවි, දෙන්නා රෑට තුරුල්වෙලා ඉඳීවි, පහුවදාත් ඔවුන් ආදරෙන් ඉඳීවි කියලා අපිටම හිතෙනවා. ළමයාගේ පැත්තෙන් ගත්තොත් ඉදිරියේදී තවත් ඛේදාන්තයකට වැටෙනවා. දරුවාව තේරුම් නොගැනීම, ඔහු ලබන ආභාසයන්. ඔහුට මේ දේවල් කියන්න කෙනෙක් නැතිවීම. ඒ ඔක්කොමත් එක්ක ඔහුගේ ජීවිතයත් වෙනස් වෙන්න පටන් ගන්නවා. ඒ නිසා මං කියන්නේ හැම අම්මා තාත්තා කෙනෙක්ම මේ කතාව බලන්න. ගොඩක් දේවල් තියෙනවා ජීවිතේට එකතු කරගන්න.


හොඳ පවුල් පරිසරයක් තිබීම ළමයකුගේ ගමනට කොතරම් බලපානවද යන්න මෙමඟින් හොඳින්ම ගම්‍ය වෙනවා නේද?


මේ ළමයා ඉන්නේ ටීනේජර් වයසේ. ඒ කියන්නේ නාහෙට අහන්නෙ නැති වයස. ඔවුන් ජීවිතේට දේවල් අහුලගන්නේ පොඩි කාලේ ඉඳන් දකින දේවල් එක්ක. ළමයෙක් ගෙදරින් පැන ගන්නවා කියන්නෙ විනාශයක්. ඒ දේ මේ නාට්‍ය තුළින් ඉදිරියේදී දැකගන්න පුළුවන්. මුරණ්ඩුකම හිතුවක්කාරකම, පීඩනය, එයා කියන දේවල් අහන්න කෙනෙක් නැතිකම, ගෙදර සතුටක් නැතිකම මේකෙන් පේනවා. අම්මා සතුටින් නම් තමයි ඒ ගෙදර අස්සක් මුල්ලක් නෑර සතුට තියෙන්නේ. ඕනෙම ගෙදරක අම්මා අසතුටින් නම් දරුවොත් අසතුටින්.


මේ තත්ත්වයට පත්වෙලා ඉන්න කාන්තාවන්ගෙන් ප්‍රතිචාර ලැබිලා ඇති?


ගොඩක් ආවා. වෙලාවකට මට පුදුමත් හිතෙනවා. ගොඩක්ම ඉන්නේ ඒ වගේ අය. ගෙවල් දහයක් ගත්තොත් අටකම මේ තත්ත්වය තියෙන්නේ. හමුවෙන වෙලාවලදී ඔවුන් මා එක්ක ඒ ගැන කියනවා.


නන්දි කියන්නේ අභියෝගාත්මක චරිතයක් බව දැන දැනම හිමාලි මේ චරිතය භාරගන්න හේතුව?


මං මේක භාරගත්තේ රොෂාන්ගේ වැඩක් නිසා. තිරපිටපතවත් බලන්නෙ නැතුවයි මං මේකට කැමැති වුණේ. රොෂාන් කවදාවත් වැරැදි දෙයක් කරන්නෙ නෑ කියන එක මම දන්නවා.


නන්දි බයික් එකේ යන දර්ශනය සුලබයි. කොහොමද ඒ අත්දැකීම?


ඒකට නම් ලොකු කතන්දරයක් තියෙනවා. ඒක මං මීට කලින් කාටවත් කියලත් නැහැ. ඇත්තටම මට බයික් පදින්න බැහැ. මීට අවුරුදු දෙක තුනකට කලින් නාට්‍යය කරන්න ප්ලෑන් කරද්දි බයික් එක පුරුදු වෙන්න ගිහින් ලයිට් කණුවක හැපිලා ලොකු ඇක්සිඩන්ට් එකක් වුණා. මාස හයක් විතර එකතැන හිටියා. වම් කකුළ ඩැමේජ් වෙලා, ප්ලේට් දාලා රිකවර් වෙන්න අවුරුද්දක් විතර ගියා. ඔක්කොම හොඳ වුණාට පස්සේ තමයි නැවත රූගත කිරීම් කළේ. මගේ වම් පාදයේ ඇඟිලි උඩ අදටත් ලොකු පැච් එකක් තියෙනවා. දැන් එතනට ටැටූ එකක් ගහල තියෙන්නේ. ඒක දකින දකින වාරයක් පාසා මට ‘නටත් අයෙක් සුරාමතින්’ තමයි මතක් වෙන්නේ.


ඔබ කලාවේ බොහෝ පැති ස්පර්ශ කළ කෙනෙක්. ඔබේ ගමනට පන්නරයක් වුණු ඒ අතීතයත් සිහිපත් කරමු?


ඇත්තටම ඔව්. මම අවුරුදු දහයේදී විතර ළමා ශිල්පිනියක් විදිහට ගුවන්විදුලියට සම්බන්ධ වෙන්නේ. අවුරුදු දහඅට විතර වෙනකල් හඬකැවීම්, කථනය, නිවේදනයට වගේම නාට්‍යවලට සම්බන්ධ වෙලා වැඩ කළා. ඒකත් ලොකු පුහුණුවක් වුණා. වචන උස් පහත් කරලා කතා කරන්නෙ කොහොමද?, වචන කඩා ගන්නෙ කොහොමද? දෙබස් අර්ථගැන්වෙන විදිහට කතා කරන්නේ කොහොමද කියන එක අපි ගුවන්විදුලියෙන් ඉගෙන ගත්තා. ඊට පස්සේ තමයි නිවේදිකාවක් විදිහට ටෙලිවිෂනයට සම්බන්ධ වෙන්නේ. රංගන ශිල්පිනියක් බවට පත්වෙන්නේ ඊටත් පස්සේ කාලෙදි.<

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
Previous Post Next Post