කොළඹ කට්ටිය නාට්‍යයේ විශ්‍රාමික විදුහල්පති -ජගත් මුතුකුමාරණ

gossiplanka image 1
 

මේ දිනවල විකාශය වන ‘කොළඹ කට්ටිය‘ නාට්‍යයේ විශ්‍රාමික විදුහල්පතිවරයකුගේ භූමිකාවට පණපොවන ජගත් මුතුකුමාරණ නම් වූ අති දක්ෂ රූපණවේදියාණන් අපට මුල සිටම හමුවන්නේ වේදිකාවෙනි. එසේ වුවත් ‘කොළඹ කට්ටිය‘ සමඟ හරි හරියට සිදු කරන කටයුතු නිසා ලොකු සර් මේ දිනවල බොහෝ කතාබහට ලක්ව සිටී. ඔහු හා රංගනයේ යෙදෙන ඉස්කෝලේ හාමිනේ ප්‍රවීණ රංගවේදිනි රත්නා ලාලනි ජයකොඩිය. ගමේ රූගත කිරීමකට පැමිණෙන කොළඹ කට්ටියේ කාන්තාවන් පිරිස එසේ නැතහොත් නිළියන් නවාතැන් ගෙන සිටින්නේ ලොකු සර්ගේ නි‍ෙවසේය. කොළඹ කට්ටිය හා ගමේ කට්ටිය අතර විවිධ හැලහැප්පීම්, ගැළපීම් හා නොගැළපීම් මේ නාට්‍ය පුරා ප්‍රකට කෙරේ. මීට පෙර කොටස් තුන්සිය අසූවකට වැඩි ප්‍රමාණයකින් විකාශය වුණු ‘පිරිමි ළමයි‘ ටෙලිනාට්‍යයේ ද ජගත් රංගනයේ යෙදුණේය. ‘සසර යාත්‍රා‘ ටෙලි නාට්‍යයේ ද ඔහු රඟපෑවේ විදුහල්පතිවරයකුගේ භූමිකාවය. ජාතික රූපවාහිනියේ ‘හත්පණ‘ නාට්‍යයෙන් පටන් ගෙන බොහෝ ළමා නාට්‍ය, ළමා කතන්දර, ළමා වැඩසටහන් ඔහු ඉදිරිපත් කළේය. එසේම ඔහු ළමා සාහිත්‍ය නිර්මාණද සිදු කර සම්මානයට පාත්‍ර විය. ජගත්ගේ ළමා නාට්‍යවල ඔහුගේ වැඩිමල් පුතු තුසර චාමිකර මුතුකුමාරණ ද රංගනයෙන් දායක වූ අතර හොඳම ළමා නළුවා ලෙස ඔහු සම්මාන දිනා ගත්තේය. එම බොහෝ නාට්‍ය සඳහා හොඳම රචනය, අධ්‍යක්ෂණය හා අනුශාංගික අංගවලට ද රාජ්‍ය නාට්‍ය සම්මාන හිමි විය.


“මම වේදිකා නාට්‍ය රංගන ශිල්පියෙක් නිසා මුල් තැන දෙන්නේ වේදිකාවට. මගේ තරුණ කාලේ රට පුරා වේදිකා නාට්‍ය පෙන්වමින් නාට්‍ය කණ්ඩායම් එක්ක අපි ගමන් කළා. කොළඹින් නාට්‍ය කණ්ඩායම බස් එකට නැග්ග වෙලාවේ පටන් විනෝද චාරිකාවක් වගේ තමයි. ඒ යන තැන්වල අපේ නාට්‍ය සවස සහ රාත්‍රි දර්ශන පෙන්වනවා. පහුවදා නැවත බස් එකේ නැඟලා තවත් තැනකට නාට්‍ය කණ්ඩායම සමඟ ගමන් කරනවා. මුළු ජීවිතයම බොහොම සුන්දර චාරිකාවක් බවට පත් වෙලා තිබුණා.


මම මාතර රෝහලේ ඉපදිලා, දික්වැල්ල ගමේ පුංචි කාලේ පටන් හැදී වැඩුණා. තාත්තා විදුහල්පතිවරයෙක් නිසා මම පාසල් 13ක ඉගෙනගෙන තියෙනවා. තාත්තා දකුණේ වාමාංශිකයෙක් වූ නිසා දඬුවම් මාරු ලැබුණා. ඒ නිසා පාසලෙන් පාසලට තාත්තා යද්දී අපිත් ගියා. අපේ පවුලේ වැඩිමල් දරුවා මමයි. මට මල්ලියි, නංගිලා තුන්දෙනයි. පාසල් අධ්‍යාපනය නිම කරලා මම වේරහැර කාර්මික අධ්‍යාපන ආයතනයට ඇවිත් සිව් වසරක මෝටර් කාර්මික විද්‍යාව හැදෑරුවා. ටික කාලයක් එම ආයතනයේ උපදේශකවරයකු වශයෙන් සේවය කළා. ඊට පස්සේ ගුරු පත්වීම් ලැබිලා ගියා. 1976 විතර මම ගාමිණි හත්තෙට්ටුවගම මහතාගේ වීදි නාට්‍ය කණ්ඩායමට එකතු වෙලා නාට්‍ය කලාවට සම්බන්ධ වුණා. මුලදි කෙටි නාට්‍ය කළා. ඊට පස්සේ ‘තවලම‘ නාට්‍යයෙන් ප්‍රධාන වේදිකාවට ආවා. ‘දැති කියත, පැන්ස තුනේ කතාව, පණ්ඩුකාභය, මකරාක්ෂ, ඒකාධිපති, ධවල භීෂණ, සෙනෙහෙබර ඩොලී, අන්දරේලා, සෙක්කුව, හැඩවෙන බලු නද, පුනරුත්ථාපනය, රොම්බ තෑන්ක්ස්‘ වගේ නාට්‍ය ගණනාවක රඟපෑවා. හොරණ නාට්‍ය කණ්ඩායමට සම්බන්ධ වෙලා ‘සූර්යග්‍රහණය, අබුද්දස්ස කෝළම, රාජ කපුරු, රජගහේ නාඩගම, මේක අපේ ආණ්ඩුවක්, සත්තුන්ගේ උසාවිය‘ නාට්‍යවල රඟපානවා. මේ දවස්වල නීතිඥ නුවන් සොමිරත්න රචනා කර නිෂ්පාදනය කළ ‘රාජ ජකිරි ජල්ලියා‘වේදිකා නාට්‍ය මම අධ්‍යක්ෂණය කරගෙන යනවා.“


දෙනගම සිරිවර්ධන ලියූ ලිපියක් ඇසුරෙන් ‘බරවකුඹුකේ සියදෝරිස්‘ වේදිකා නාට්‍ය සියදෝරිස් නමැති ධෛර්යවන්ත ගොවි මහතා පිළිබඳ සත්‍ය කතාව ජගත් මුතුකුමාරණ විසින්ම නිර්මාණය කරන ලද්දකි. 2023 වර්ෂයේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන උලෙළේදී ඔහුගේ ‘ටිකිරි හිරු ඩිංගිත්තක්‘ නාට්‍ය පිටපතට ස්වතත්ත්‍ර නාට්‍ය අංශය යටතේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන සඳහා නිර්දේශ විය. පරාක්‍රම නිරිඇල්ලගේ ‘සෙක්කුව‘ වේදිකා නාට්‍යයේ ගවයින් දෙදෙනාගේ චරිත දෙක එම නාට්‍ය නැරඹූ කිසිවකුටත් අමතක නොවේ. එහි ‘පැඟිරා‘ නමැති ගවයා ලෙස බොහෝ කලක් රඟපෑවේ ජයත් මුතුකුමාරණයි.


රාලේ බැඳපන් අපෙ පැඟිරා


රාලේ බැඳපන් කිරිපුස්සා…


මේ ගීතයට අනුව පැඟිරාත්, කිරිපුස්සාත් ගවයින් ලෙසින් නටමින් වේදිකාව දෙවනත් කරමින් රඟන අපූරුව මුළු ප්‍රේක්ෂකාගාරයම ආස්වාදයට පත් කරවයි. ඒ මතුපිටින් පෙනෙන චරිත දෙක ඇතුළතින් නිරූපණය කරන සමාජ, ආර්ථික, දේශපාලන යථාර්ථය ‘සෙක්කුව‘ නාට්‍යයේ විශිෂ්ට බවයි.


“චිත්‍රපට කිහිපයක මුලදී රඟපෑවා. මෑතකදී ‘ගන්ධාර‘ චිත්‍රපටයේ තරමක් ප්‍රධාන චරිතයක් රඟපෑවා. තිනේෂ් කණගරාජ් එහි අධ්‍යක්ෂණය කළා. රූගත කිරීම් අවසන් වුණා. ඒ චිත්‍රපටයේ රූගත කිරීම්වලට සම්බන්ධ වෙලා දවසක් තිනේෂ් කණගරාජ්ගේ කාර් එකේම මමත් ගෙදර එමින් සිටියදී තිනේෂ්ට තත්පර කිහිපයකට නින්ද ගිහින් කාර් එක තාප්පයක හැප්පිලා විශාල අනතුරක් සිද්ධ වුණා. ඒ අනතුර දෑසින් දකින කිසි කෙනෙක් අපි දෙදෙනා මේ තත්ත්වයෙන් ජීවත් වෙනවා කියලා විශ්වාස කරන්නේ නැහැ. තිනේෂ් පියවි තත්ත්වයට පැමිණි ගමන් මට කිව්වේ ‘ඔයා හොඳින් නේද, මට සමාවෙන්න.‘ කියලා. වෙන වාහනයක් තිබියදීත් ඔහු මට එයාගේ වාහනේ යන්න එන්න කියලා ආරාධනා කළ නිසා තමයි මම එදා එයා එක්ක ආවේ. මම බොහෝ දුරක් එයා එක්ක කතා කරමින් ආවා. එහෙම කතා කර කර ඇවිල්ලාත් මේ විදිහට නින්ද යනවා කියන්නේ නිදිමතේ වාහන පැදවීමේ භයානකකම කොතරම් ද කියා ඉගැන්වූවා. ඔහුගේ ජීවිතය බේරුණේ මං නිසා කියලා ඔහු අදටත් කියනවා. ප්‍රසන්න විතානගේගේ ‘ගාඩි‘, සුනිල් ආරියරත්නයන්ගේ ‘ක්ෂීර සාගරය‘ චිත්‍රපටවලත් මම රඟපෑවා. තව චිත්‍රපට කිහිපයකට ආරාධනා ලැබී තිබෙනවා. කලා කටයුතුවලදීම මට හමුවුණු දමයන්ති හුළුගල්ල සමඟ මම විවාහ වුණා. ඇය දරුවන් බලාගෙන නි‍ෙවසේ රැඳුණු නිසා මට කලාවයි, රස්සාවයි දෙකම නිදහසේ කරගෙන යන්න පුළුවන් වුණා. ලොකු පුතා තුසර, දෙවැනි පුතා කුලසි චතුරික, දුව කිවිඳි සමංගා ඉතා හොඳින් ඉගෙනීම් කළා. උපාධි ලැබුවා. ලොකු පුතා කලාවට සම්බන්ධ වෙලා හිටියාට දැන් එයා තොරතුරු තාක්ෂණ විද්‍යාවෙන් බොහෝ දුරක් ගිහින් විදේශගතව රැකියාව කරනවා. එයා විදර්ශි කාවින්ද්‍යා දුව සමඟ විවාහ වුණා.“

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
Previous Post Next Post