පුංචි තිරයේ අහිංසකාවිය විදිහට ප්‍රසිද්ධ වෙලා හිටපු මුතු තරංගා පහුගිය කාලය පුරාම දකින්න ලැබුණෙ නැහැ. හැබැයි මේ වෙද්දිමුතු තරංගා ආලේ ටෙලිනාට්‍ය හරහා පුංචි තිරයෙනුත් සූරිය සුළග හරහා රිදී තිරයෙනුත් රසිකයො අතරට ආපහු ඇවිත් ඉන්නවා. ඉතින් දිග කාලෙකට පස්සෙ ආපහු රසිකයො අතරට ආපු එක ගැන මුතු එක්ක කතා කරන්න අපි හිතුවා.
මුතු මේ රංගන ක්ෂේත්‍රය තුළ ගෙවන කීවෙනි අවුරුද්දද?
2000 වසරෙදි රූපවාහීනී වෙළෙඳ දැන්වීම්වල රඟපාන්න පටන් අරගෙන
2003 වසරෙදී සෙනේෂ් බණ්ඩාර අධ්‍යයක්ෂණය කරපු පුලින ප්‍රාසාද ටෙලිනාට්‍ය හරහා මම ටෙලිනාට්‍ය රංගනයට පිවිසුණා. මේ වෙද්දී මම රංගන ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු 26ක් වෙනවා.
රංගනය මුතුගේ වෘත්තිය වුණේ කොහොමද?
පුංචිකාලෙ ඉඳලා මම ආස කලේ ගායිකවක් වෙන්න. ඉතින් මම සංගීතය හැදෑරුවා. මම සංගීතය හදාරපු ගුරුවරයා මියයාමත් සමග ගායන ක්ෂේත්‍රයෙන් ඈත් වුණා. ඒ අතරෙදි තමයි මට රංගන ක්ෂේත්‍රයෙන් ආරාධනා ලැබිලා රංගන ශිල්පිනියක් වෙලා රංගනය මගේ වෘත්තිය කරගත්තෙ.
නිළියක් වීමෙදි පවුලෙ අය මොනවද කිව්වෙ?
මගේ තාත්තා රංගනයට ගොඩක් ආදරය කරපු කෙනෙක්. තාත්තට පුංචිකාලෙ ඉඳලා නළුවෙක් වෙන අදහස තිබිලා තියනවා. හැබයි තාත්තගේ හීනෙට අපේ සීයා ඉඩ දීලා නැහැ. තාත්තට හැබෑ කරගන්න බැරිවුණ හීනය දරුවෙක්ගෙන් හැබෑ කරගන්න තාත්තා බලාපොරොත්තු වුණා. ඉතින් මම රංගන ශිල්පිනියක් වෙන එකට වැඩිපුර සතුටුවුණේ තාත්තා. මේ වෙද්දි තාත්තා අපි අතර නැහැ. ජීවත්වෙලා ඉද්දි තාත්තා තමයි මගේ ලොකුම රසිකයා වුණේ.
මුතු රඟපාපු නිර්මාණ අතරින් කැමැතිම නිර්මාණය මොකක්ද?
මේ අවුරුදු 26ට මම රඟපාපු හැම නිර්මාණයක්ම මට විශේෂයි. මම රඟපාපු නිර්මාණ අතරේ ඉහිරුණු කිරි ටෙලිනාට්‍යයේ කරපු රංගනය මාව සම්මාන උළෙලක ජනප්‍රියම නිළියට හිමි සම්මානයට නිර්දේශ වුණා.
මුතු මේ දවස්වල මොනවද කරන්නේ?
මම රංගනයෙන් දායකවුණ 11 වෙනි චිත්‍රපටය සූරිය සුළඟ මේ දවස්වල සිනමාශාලාවල තිරගතවෙනවා. ඊට අමතරව ආලේ ටෙලිනාට්‍යයෙනුත් මාව රසිකයන්ට මේ දවස්වල දකින්න පුළුවන්. පුතා වෙනුවෙන් රංගනයෙන් විරාම අරගෙන ඉඳලා අවුරුදු පහකට පස්සෙයි මේ වෙද්දී මම ආපහු රංගන ක්ෂේත්‍රයට ඇවිත් ඉන්නෙ.
කඩින් කඩ දකින්න ලැබුණත් මුතුව රසිකයන්ට අමතක වෙන්නෙ නැත්තෙ ඇයි?
මම රංගන ක්ෂේත්‍රයට ආව 2000 වර්ෂයෙදි රංගනය ඉගෙනගන්න රංගන පාසල්වත් මොනවත් ක්‍රම තිබුණේ නැහැ. ඉතින් අපි රංගනය කියන්නෙ මොකක්ද කියලා හොයාගෙන ගිහින් රංගනය හදාරාලා හැකියාව ගොඩනාගාගෙන නිර්මාණ වෙනුවෙන් උපරිම සාධාරණය ඉටු කළා.
රංගන හැකියාවෙන් විතරක් නෙමෙයි අපි තුළම ස්වයං විනයක් සංයමයක් ගොඩනාගාගෙන ක්ෂේත්‍රය තුළ සුහදව වැඩ කළා. අපේ රසිකයො එක්කත් නිතරම හිනාවෙලා සුහදව කතා කරලා හොඳ විදිහට ගනුදෙනු කළා. මේ දේවල් තමයි මාව ක්ෂේත්‍රය තුළ සාර්ථක රංගන ශිල්පිනියක් කළේ.
ක්ෂේත්‍රයට ආපු කාලෙ අතර සහ දැන් තියන වෙනස මොකක්ද?
එදා සහ අද ලොකු වෙනසක් මම දකින්නෙ නැහැ. අද ක්ෂේත්‍රයට එන්න ඕනෑ තරම් ක්‍රම සහ රංගනය ඉගෙනගන්න මාර්ග තියනවා. හැබැයි අපි ආපු කාලේ ලේසියෙන් ක්ෂේත්‍රයට කාටවත් එන්නත් බැහැ රංගනය ගැන ඉගෙන වැඩිය මාර්ග තිබුණෙත් නැහැ. හැබැයි අද වගේම එදත් රංගන ක්ෂේත්‍රයට එන තරුණ ගෑනු ළමයින්ට වෘත්තිමය රංගනයෙන් පිට පැනලා කෙටි පාරවල්වල යන්න අවස්ථා තිබුණා. සමහර අය රංගන ක්ෂේත්‍රයට ඇවිත් නිළියක් කියන නම හදාගෙන වෙනත් සමාජ විරෝධි ක්ෂේත්‍රවලට ගිහින් මුදල් උපයන අවස්ථා දකින්න තිබුණා. මේ ඔක්කොම දේවල් අතරේ අපි වගේ රංගනය ඉගෙනගෙන යහපත් විදිහට වෘත්තීය රංගන ශිල්පිනියක් ජීවිතය ජයගන්නත් එදා වගේම අදත් පුළුවන්.
මුතු විවාහ වුණේ ඉහළම ජනප්‍රිය අවදියක ඉන්න කොට නේද?
ඔව්. නිශාන්තව මට හම්බවෙන්නෙ රංගන ශිල්පිනියක්
විදිහට කටයුතු කරන අතරෙදී. අපි අවුරුදු 13 ක කාලයක් ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වගෙන ගිහින් විවාහ වුණා. ඒ වෙද්දී මම හිටියෙ ඉහළ ජනප්‍රිය තලයක වුණත් අපි අපේ පෞද්ගලික ජීවිතයට ප්‍රමුඛතාවය දීලා විවාහ ජීවිතයට ඇතුළත් වුණා. විවාහ වුණාට පස්සෙ නිශාන්ත මගේ රංගන කටයුතුවලට ලොකු සහයෝගයක් දුන්නා. මට රංගන කටයුතු කරගෙන යන්න ඕන නිසා අපි දෙන්නා දරුවො හැදුවෙත් ටික කාලයක් පරක්කුවෙලා.
පුතා එක්ක ගෙවන ජීවිතය කොහොමද?
අපිට ඉන්නෙ පිරිමි දරුවෙක්. මේ වෙද්දී එයාට වයස අවු. 5 යි. පිරිමි දරුවෙක් වුණාට හරිම අහිංසක විදිහට හැදෙන දරුවෙක් එයා. දැන් ඉතින් පුතා තමයි අපේ ජීවිතේම වෙලා තියෙන්නෙ. මම පුතා නිසා අවුරුදු 5 ක් රංගනයෙන් ඈත්වෙලා හිටියා. පුතා ටිකක් ලොකු වුණාට පස්සෙයි දැන් ආපහු මම රඟපාන්න ආවෙ.
පුතාව නළුවෙක් කරන්න අදහසක් නැද්ද?
අපි කැමති දෙයක් කරන්න කියලා පුතට බලපෑම් කරන්න අපේ අදහසක් නැහැ. පුතා ලොකුවෙලා මොන විදිහෙ වෘත්තියක් තෝරගත්තත් දෙමව්පියන් විදිහට නිශාන්තගෙත් මගෙත් සහයෝගය එයාට ලැබෙනවා.
මුතු තවමත් කෙල්ලෙක් වගේ ලස්සනට ඉන්නෙ කොහොමද?
තරුණකම රැකගන්න අද වෙද්දී ඉන්ජක්ෂන් සහ විවිධ පෙති වර්ග තිබුණට මම නම් ඒ එකක්වත් පාවිච්චි කරන්නෙ නැහැ. කෘත්‍රිම ක්‍රමවලින් ලස්සන වෙන්න ගිහින් ලෙඩ ගොඩවල් ඇඟට දාගන්න මම කැමති නැහැ. පලා වර්ග අහාරයට ගැනීම, උළුහාල් කැඳ පානය ඇතුළු ස්වභාවික දේවල් මගිනුයි මම මගේ පෙනුම ආරක්ෂාකරගෙන ඉන්නෙ. ඒ ඇරුනහම මම හිත කෝපවෙන ඊර්ෂ්‍යාවට ලක්කරන අදහස්වලින් ඈත්වෙලා ඉන්නෙ. හිත කලබලකරන අදහස් ප්‍රවෘත්තිවල යන නිසා මම ප්‍රවෘත්තිවත් බලන්නෙ නැහැ.
ලක්ෂාන් ජයසූරිය