ගයනා සුදර්ශනීව කාලෙකින් රිදී තිරයෙන් දකින්න ලැබෙනවා නේද?
රසික ලියනගේ කියන නවක අධ්‍යක්ෂවරයාගේ ආරාධනාවකට අනුව තමයි මම මොණර විලක් චිත්‍රපටයට රංගනයෙන් දායක වුණේ. ඔහු මට කිව්වේ ‘අක්කේ විශේෂිත චරිතයක් තියෙනවා, ඇවිත් මේක කරන්න කියලා. ඒ හින්දා ඔහුට සහයෝගයක් විදිහට තමයි මම මේ චරිතය භාරගත්තේ. සමස්තයක් වශයෙන් මොණරවිලක් චිත්‍රපටය වෙනම තලයක වැඩක්. රසික වෙනස් දෙයක් කරන්න උත්සාහ කරලා තියෙනවා කියලත් හිතෙනවා. ඔහු වික්ටර් රත්නායක සංගීත අධ්‍යක්ෂණයට යොදාගෙන තියෙනවා. ඒ වගේම ගායනයෙන් ලතා වල්පොල මහත්මිය සම්බන්ධ වෙනවා. රංගනයෙන් සනත් ගුණතිලකයන් වගේම හෙළ සිනමාවේ නිළි රැජන මාලනී ෆොන්සේකත් එකතු වුණා. මට හිතෙනවා අසූව දශකයේ සිනමාව නැවත රැගෙන එන්න ඔහු උත්සාහ කරලා තියෙනවා.
මොණරවිලක් චිත්‍රපටය හින්දා ඔබට නිළි රැජන මාලනී සමගත් වැඩකරන්න ලැබෙනවා. ඇයව තිරයෙන් දකිද්දි මොකද හිතුණේ?
චිත්‍රපටය නරඹද්දි මට කඳුළු ආවා. මාලනී අක්කාව චිත්‍රපටයේ රූගත කිරීම්වලදීත් වගේම ඊට පසුවත් මුණ ගැසුණා. අද අක්කා හිටියා නම් කොච්චර වටිනවාද?. මොකද ඇය අපට සිටින නිළි රැජන. එයා ඉන්න ඕනෑ චරිතයක්. ඇය නැතිව මුළු සිනමාවම පාළුයි. මේ චිත්‍රපටය හරහා ඇයගේ රංගනය නැවත දකින්න ලැබීම ලොකු දෙයක්.
මේ සිනමා නිර්මාණයේ ඉන්න දර්ශන් ධර්මරාජ් පවා අද ජීවතුන් අතර නැහැනේ?
දර්ශන් ධර්මරාජ් අපේ ටෙලිනාට්‍ය නිෂ්පාදනයකටත් දායක වුණා. හරිම හොඳ නළුවෙක්. ඔහු ක්‍ෂේත්‍රයට අහිමිවිම ලොකු පාඩුවක්. ඇත්තටම හොඳ මිනිස්සු අපේ සිනමාවෙන් ටෙලිනාට්‍යයෙන් අපිට අහිමිවෙලා තියෙනවා. මම හිතනවා ඒ පාඩුව මකන්න බැහැ කියලා.
ගීත කෝකිලාවියගේ ගීත යළි ඇහෙනකොට මොකද හිතුණේ?
මට වික්ටර් රත්නායක වගේම ලතා වල්පොලයන්ගේ ගීත ඇහෙනකොට මාව ආපහු පුංචි කාලයකට අරගෙන ගියා වගෙයි. වැඩිය දඟලන්නේ නැතිව වෙනස්ම රසයක් ලබාදෙනවා. මම ආසා ඒ සිනමාවට. ලතා වල්පොලයන්ගේ ගීතයක් අදටත් චිත්‍රපටයක් ඇහෙනවා කියන්නේ ලංකාවේ සිනමා ප්‍රේක්ෂකයෝ හරි වාසනාවන්තයි කියලා මට හිතෙනවා. රසිකට මාලනී අක්කා, ලතා අක්කා, දර්ශන්ව ඔහුගේම නිර්මාණයකට සම්බන්ධ කරගැනීම වාසනාව තිබුණා.
ගයනා සුදර්ශනීගේ මේ දවස්වල වැඩකටයුතු එහෙම කොහොමද?
මම මේ දවස්වල අලුත් සිනමා නිර්මාණයකට සම්බන්ධවෙන්න සූදානමින් ඉන්නවා. ඒ වගේම තවත් අලුත් ටෙලිනාට්‍යයකට සම්බන්ධවෙන්න ආරාධනාවකුත් ලැබුණා.
දැන් වැඩිපුර වැඩභාරගන්නේ නැතිද?
ආරාධනා තියෙනවා. ඒ වුණාට මම මුල ඉඳලා ගිය ක්‍රමයක් තියෙනවානේ. මම පොඩ්ඩක් මෙගා රැල්ලෙන් මිදිලානේ ඉන්නේ. මට දැනෙන චරිතයකට ආරාධනාවක් ලැබුණොත් රඟපානවා. මට දැනෙන චරිතයකට ආරාධනාවක් නොලැබුණොත් ඒ ආරාධනාව භාරගන්නේ නැහැ. මොකද හැමදේම මුදල් නෙමෙයි. අපිට කලාකරුවන් විදිහට ජීවත්වෙන්න මුදල් අවශ්‍යයි. ඒත් බොහොම අමාරුවෙන් අපි හොඳ නිර්මාණයක් එනකම් බලාගෙන ඉන්නවා. ඒක හින්දා මම කලබල කෙනෙක් නෙමෙයි. සමහර වෙලාවට අවුරුද්දට එකයි දෙකයි තුනයි වෙන්න පුළුවන් රඟපාන්නේ. ඔය අතරේ එළැඹෙන අගෝස්තු මාසයේ මම රංගනයෙන් දායකුවුණු ක්‍රිකට් සාදු චිත්‍රපටයත් තිරගතවීමට නියමිතයි.
ජීවිතය කියන්නේ සල්ලිම නෙමෙයි. එහෙමද?
ජීවත්වෙන්න සල්ලි ඕනෑ. මම නිළියක් විදිහට ලොකු දේවල් බලාපොරොත්තුවෙන කෙනෙක් නෙමෙයි. හැමකෙනාටම ජීවත්වෙන්න සල්ලි ඕනෑ. හැබැයි ඒ සල්ලි අවශ්‍යයි කියලා මම කරපු යම්කිසි නිර්මාණ ටිකක් තියෙනවා නම් ඒක මට පාවාදෙන්න බැහැ. ඒවා පාවාදුන්නොත් මමත් වැටෙනවා මෙගා රැල්ලට. ඉස්සරහදී අපේ ප්‍රේක්ෂකයන්ම කියන්න පුළුවන් ‘අපොයි දැන් එයාගෙත් රඟපෑමක් නැහැ’ කියලා. ඉතිං මම එතැනට යන්න බයයි. මොකද කවදාහරි කරපු හොඳවැඩ ටික තියාගෙන හිටියහම ඇති. මැරෙනකම් රඟපානවා. පරක්කුවෙලා හරි මට හොඳ චරිත ටිකක් හම්බවෙයි කියලා හිතනවා කියන විශ්වාස මට තියෙනවා.
එදා සහ අද කලාවේ වෙනස මොන විදිහටද දකින්නේ ?
එදා සහ අද හාත්පසින්ම වෙනස්. සමහර වෙලාවට අලුත් අයත් එක්ක සම්බන්ධවෙලා මට වැඩකරන්නත් ටිකක් අමාරුයි වගේ. මොකද අපි එදා හිටපු විදිහ සහ කලාකරුවෝ එක්ක වැඩකරපු විදිහ, එකමුතුව වගේම වැඩක් කිරීමේදී ලැබුණ සහයෝගය කියන දේවල්වලදී එදා තිබුණ දේවල් අද නැහැ. ගොඩක් අඩුයි. ඉතිං ඒක හින්දා එදා සහ අද ගොඩාක් වෙනස්. හැබැයි අලුත් පරපුරෙත් දක්ෂයෝ කිහිපදෙනෙක් ඉන්නවා. ඔවුන්ට හොඳ අනාගතයකුත් තියෙනවා. හැබැයි ඉතිං එදා සහ අද සම කරන්න අමාරුයි.
ගයනාව ඇයි මේ වැඩිපුර දකින්න නැත්තේ?
කාලෙන් කාලෙට අපිට විවිධ චරිත ලැබෙනවා. මුලදී අපිව පෙම්වතියට කොටුවෙනවා. ඊට පසුව අපිට විවිධ චරිත මුණගැසෙනවා. එතැනින් පසුව අපි තෝරාබේරාගෙන චරිත රඟපානවා. ඒ අවධියෙන් පසුවත් වෙනස්ම චරිත ටිකක් හම්බවෙන්නේ. ඉතිං ඕක කාලෙන් කාලෙට වෙනස් වෙනවානේ. දැන් අද අපිට හම්බවෙන චරිත වෙනස්. තරුණ පරම්පරාවට හම්බවෙනවා ඒ කාලේ අපිට හම්බවුණ චරිත. මට දැනෙන චරිතයක් ලැබුණොත් මම රඟපානවා.