අවුරුදු කුමරියගෙන් ගමන ඇරඹූ සංජානා

gossiplanka image 1
 



‘ඒක තමයි මේක’, මගේ පළමු චිත්‍රපටය. පුංචි තිරයෙන් දැකපු මාව මුලින්ම රිදී තිරයේ දකින්නෙ මේ නිර්මාණය හරහා. මංගල දර්ශනය දවසෙ වගේම අදටත් ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතිනව. මාව විශ්වාස කරලා මේ අවස්ථාව ලබා දුන්නෙ අධ්‍යක්‍ෂ සුරංග අල්විස් මහත්මයා.


සංජානා ගමාච්චි, අපේ කතාවට මුලපුරමින් තමන්ගෙ පළමු සිනමා පිවිසුම ගැන හරිම ආසාවෙන් කතා කළේ ඒ විදිහට.


‘ඒක තමයි මේක’, රට පුරා ෆිල්ම් හෝල්වලදි මේ දවස්වල දැකබලා ගන්න පුළුවන්. ඇයට අලුත්ම අත්දැකීමක් වුණ මේ අවස්ථාව ගැන කතාකරන්න බොහෝ දේවල් තියෙන බව නොරහසක්.


ඉතිං සංජානා, කොහොමද මේ අවස්ථාව දැනෙන්නෙ…


කලා ක්‍ෂේත්‍රයට ආපු දවසෙ ඉඳන් මට තිබුණ ලොකුම හීනය වුණේ රිදී තිරය. ඉතිං අද මගේ හීනය සැබෑ වෙලා තියෙනව. ඒ ගැන තියෙන්නෙ කියාගන්න බැරි තරම් සතුටක්.


විශේෂයෙන්ම කියන්න ඕන, මේ චිත්‍රපටයේ රූගත කිරීම් කරද්දි අපි හරිම විනෝදෙන් හිටියෙ. හරියට එක පවුලක් වගේ. විහිළු තහළු කරගෙන,


හිනාවෙලා හරිම සතුටින් ඒ කාලය ගෙවුණෙ. අපි කාටවත්ම කිසිම අපහසුතාවක් දැණුනෙ නැහැ. අධ්‍යක්‍ෂවරයා පවා අපිට නිදහසේ වැඩ කරගෙන යන්න අවස්ථාව ලබා දීලා තිබුණා. ඒ නිසා ‘ඒක තමයි මේක’ කියන්නෙ අපි හරි ආසාවෙන් කරපු, ලස්සන නිර්මාණයක්.


සංජානා ෂූටිං අත්දැකීම ගැන කියද්දිත් හිටියෙ හරිම සතුටින්. මොකද ක්‍ෂේත්‍ර දෙකක වැඩ කරන අය වුණාට මේ හැමෝම යාළුවො.


මුණගැහෙන අය. ඒ වගේම හොඳ යාළුවො. මේ අය වැඩකදි සෙට් වුණා කියන්නෙ ෆුල් ෆන් එකක් තමයි.


සංජානාගේ වචනවලින්ම එහෙම කියනකොට හිතාගන්න පුළුවන්නෙ මේ සෙට් එක සෙට් එකකදි සෙට් වුණාම කොහොම ඇතිද කියල.


මේ දවස්වල නාළිකා හතරක ටෙලි නාට්‍ය හතරක් විකාශය වෙනව. මේ අතරින් ජහුටා සහ ආලේ යන ටෙලි නාට්‍ය දෙකේ චරිතවලට වැඩි ප්‍රතිචාරයක් ලැබෙනව. ෂූටිං වැඩවලට යනව එනව. ඒ අතර ව්‍යාපාර වැඩ ටිකත් කරගන්නව. ඔය විදිහට තමයි මේ දවස් ටිකේ කාලය ගෙවෙන්නෙ.


අද ඇයගෙ දවස ගෙවෙන හැටි මේ විදිහට කියද්දි අපිට මතක් වුණේ එදා ඇය ක්‍ෂේත්‍රයට ආපු විදිහ. ආයෙත් ඒ අතීතයට අපි ඇයව අරගෙන ගියා.


එදා අවුරුදු කුමාරි තරගයෙන් පටන්ගෙන ටිකෙන් ටික මම ආපු මේ ගමන ගැන ඇත්තටම සතුටුයි. ක්‍ෂේත්‍රයට පය තියපු දවසෙම දැකපු හීනයත් අද සැබෑ වෙලා. ඉතිං මට මං ගැන ආඩම්බර වෙන්න පුළුවන්. නමුත් මේ ආපු ගමනෙදි මම මුහුණ දුන්න අභියෝග බොහොමයි. අභියෝග එන්න ඕනා කෙනකුට ජීවිතේ හදාගන්න. ඒවාට සාර්ථකව මුහුණ දීලා ඉදිරියට යන ගමන තව කටුක වෙන්නත් පුළුවන්, පහසු වෙන්නත් පුළුවන්. ඒ මොහොතට එන විදිහට මුහුණ දෙනව.


මේ අතර සංජානා තවත් ෆිල්ම්ස් කිහිපයකම වැඩ කියල අපිට ආරංචියක් ආපු නිසා ඒ ගැන ඇයගෙන් අහල බැලුවා. ඒක ඇත්තක්ලු. ඇය තවත් චිත්‍රපට කිහිපයකටම රංගනයෙන් දායක වෙලා තියෙනව. ඉදිරියේදි ඒවා දැකබලාගන්න පුළුවන් කියලයි කිව්වෙ.


ගැහැනියක් කියන්නෙ විලාසිතාවලට කොහොමත් තැනක් දෙන කෙනෙක්නෙ. ඒ අතරින් රංගන ශිල්පිනියක් විශේෂයි. ඒ ගැන සංජානාගේ අදහසත් අපි ඇහුවා.


විලාසිතාවලට විශේෂයෙන්ම ගැහැනු අය කැමතියිනෙ. ඉතිං මට ගැළපෙන, මම කැමති විලාසිතා කරනව. ඒක තවත් කෙනකුට කැත වෙන්න පුළුවන්. ඒත් මට ලස්සන නම් මම කරනව. තැනට ගැළපෙන්න වගේම ඇඟට ගැළපෙන්නත් ඇන්දාම කාටවත් ඒ ගැන කියන්න දෙයක් නැහැ.


දිගින් දිගටම ඒකාකාරී චරිත ලැබෙනකොට රඟපෑමත් නීරස වෙන්න පුළුවන්. සංජානාට ගොඩක් වෙලාවට ලැබෙන්නෙ දඟකාර, කටකාර චරිත. සමහරවිට ඒ ඇයගෙ පෙනුම නිසා වෙන්නත් ඇති. කොහොම වුණත් මේ රටාවෙන් ටිකක් ඈත් වෙලා වෙනස් චරිතයක් කරන්න තිබුණා නම් හොඳයි කියල තමයි සංජානා කියන්නෙ.


ප්‍රේක්‍ෂකයන් හැමදාමත් මාත් එක්ක හිටියා. ඇත්තටම ඔවුන්ගෙන් ලැබෙන ආදරය ගැන මට ගොඩක් සතුටුයි. ඒ ආදරය තමයි අපිට ඉස්සරහට යන්න උත්තේජනයක් වෙන්නෙ.


ප්‍රේක්‍ෂක ආදරය කියන්නෙ රංගන ශිල්පියකුට වගේම ශිල්පිනියකටත් නැතිවම බැරි දෙයක්.


සංජානා නිවේදිකාවක් විදිහටත් අපිට දකින්න ලැබෙනවනෙ. ඒ පැත්ත ගැන අලුත්ම තොරතුරු මොනවද කියලත් අපි ඇහුවා.


මම දැනටත් නිවේදිකාවක් විදිහට වැඩ කරගෙන යනව. ඒකත් මම හරිම ආසාවෙන් කරන වෘත්තියක්. නමුත් ෆීල්ඩ් එකට ආවෙ රඟපාන්න. ඒ නිසා මුල්තැන දෙන්නෙ රංගනයට.මහේෂ් එදිරිසිංහ

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
Previous Post Next Post