කෙනෙක් කරපු චරිතයක් භාර ගන්න එකම ලොකු අභියෝගයක් - කවිහාරි හපුතන්ත්‍රි

gossiplanka image 1
 

ජානු ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතය වන ජානු හෙවත් සුදුනෝනා ලෙස රංගනයෙන් දායක වීම තුළින් ලංකාව පුරා විශාල ප්‍රේක්ෂක ආදරයක් දිනාගත් කවිහාරි හපුතන්ත්‍රි ආයෙමත් අපිට මේ දිනවල දකින්න ලැබෙන්නේ මායාවී හි හිතෛෂී ලෙසින්. ඒ ගැන වගේම කලාවේ අලුත්ම තොරතුරු ගැන කවිහාරි හපුතන්ත්‍රි සමඟ කළ කතාබහකි මේ.


කවිහාරි ඔබට මායාවී නාට්‍යයට අතරමැදදී තමයි සම්බන්ධ වෙන්න ලැබෙන්නේ, ඒ ගැන මොකද හිතෙන්නේ.


මම මායාවී නාට්‍යයට සම්බන්ධ වෙන්න හිටියේ යෙහෙනි ඉද්දමල්ගොඩ කියන වෛද්‍යවරියකගේ චරිතයෙන්. නමුත් ප්‍රේක්ෂකයෝ වඩාත් කැමති හිතෛෂී කියන චරිතයට. ඒ වගේම හිතෛෂී සහ සංකල්ප එකතු වෙනවට තමයි ප්‍රේක්ෂකයෝ ගොඩක්ම ආස වෙන්නේ. අන්න ඒ නිසා තමයි යෙහෙනි ඉද්දමල්ගොඩ කියන චරිතේ නැතුව හිතෛෂී විදියටම සම්බන්ධ වෙන්නේ. කොහොම වුණත් නාට්‍ය මැදදී තමයි මට හිතෛෂිගෙ චරිතයට සම්බන්ධ වෙන්න ලැබුණේ.


චරිතයකට මැදදි සම්බන්ධ වෙන එක අභියෝගයක් වුණේ නැද්ද?


මුලින්ම නම් ටිකක් විතර බය වුණා. ඒකට හේතුව තව කෙනෙක් කරපු චරිතයක් භාර ගන්න එකම ලොකු අභියෝගයක්. ප්‍රේක්ෂකයෝ බලාපොරොත්තු වෙනවා කලින් හිටිය කෙනා චරිතේ කරපු විදියට අලුතින් ආව කෙනත් කරයි කියලා. හැබැයි කාටවත් කාවවත් වෙන්න බැහැනේ. ඒ හින්දා මම දැනගෙන හිටියා මැදදී මේ චරිතේ භාර ගත්තම මට නෙගටිව් කමෙන්ට්ස් එනවා කියන එක. ඒ දේවල් දැනගෙන තමයි මම චරිතේ භාර ගන්නේ. අභියෝගය වුණේ කලින් හිතෛෂීව අමතක කරලා දැන් ඉන්න හිතෛෂීව එයාලගේ හිතේ පැලපදියම් කරන එක. මම හිතනවා මම ඒ අභියෝගය යම් තාක් දුරට සාර්ථකව කරගෙන යනවා කියලා.


දැන් ලැබෙන ප්‍රතිචාර කොහොමද?


ඇත්තම කිව්වොත්, මුලදි නම් සුබදායි ප්‍රතිචාර ලැබුණේ නැහැ. දැන් මම නාට්‍යයේ රඟපාන්න පටන් අරන් මාස තුන හතරක් වෙනවා. මුලදී තිබුණු තත්ත්වය ගොඩක් දුරට අඩුවෙලා. හිතෛෂී කියන චරිතයට මම ලබා දෙන දායකත්වයට ගොඩක් ආස වෙලා තියෙනවා. දැන් ගොඩක් අය ආදරේ කරනවා. මම හිතනවා ඉස්සරහට යද්දී තව ගොඩක් අය ආදරේ වෙලා හිතෛෂීට ආදරේ කරන හැමෝම මට ආදරේ කරන්න පටන් ගනී කියලා. ඒ නිසා මේ වෙද්දී ලැබෙන ප්‍රතිචාරවලට මම සතුටුයි.


ඉදිරියට එන්න තියෙන නිර්මාණ මොනවද?


දැනට ටෙලි නාට්‍ය දෙකකට රංගන දායකත්වය දීලා තියෙනවා. එකිනෙකට වෙනස් චරිත දෙකක් කරන්න ලැබුණා. මම හිතනවා ඒ නිර්මාණ විකාශය වෙනකොට ඒ චරිත ගැන ප්‍රේක්ෂක ආදරේ ලබන්න හැකි වෙයි කියලා.


චරිතයක් භාර ගන්න කලින් මුලිකවම බලන්නේ මොනවද?


මුලින්ම බලන්නේ මට ගැළපෙන චරිතයක් ද කියන එක. මට නොගැළපෙන චරිත මම භාර ගන්නේ නැහැ. අනිත් දේ තමයි ඒ චරිතෙට මට උපරිම සාධාරණයක් ඉෂ්ට කරන්න පුළුවන් වෙයි කියන විශ්වාසය මා තුළම ගොඩ නැඟෙන්න ඕනේ. ඒ එක්කම මම කැමතියි එකම විදියේ චරිත නැතුව විවිධ චරිත කරන්න. ඒ නිසා මම ලැබෙන නිර්මා‍ෙවලදී විවිධ චරිත කරන්න උත්සහ කරනවා.


ඔබ අහම්බෙන්නේ රංගනයට යොමු වෙන්නේ. නිළියක් වෙන්න ලැබුණු එක ගැන දැනෙන්නේ කොහොමද?


නිළියක් වෙනවා කියන එක මගේ තුන් හිතකවත් තිබිලා නැහැ. හරිම අහම්බෙන් ලැබුනු අවස්ථාවක්. මුලදී නම් චුට්ටක් මම බයෙන් හිටියා. ටික කාලයක් යද්දී මට එපා වුණා. උදේ පාන්දරම නැඟිටිනවා. අව්වද වැස්සද කියලා බලන්න බැහැ. ලොකු කැපකිරීමක් කරන්න වෙනවා. අර මම ආසාවෙන් හිටපු නැති දෙයක් නිසා ටික කාලයක් යද්දී එපා වේගෙනත් ආවා. හැබැයි දැන් නම් මම ඒකට පුරුදු වෙලා ඉන්නේ. දැන් චරිතේ භාර ගනිද්දිම මම ඒ කැපකිරීමට සුදානම් වෙනවා. අද වෙද්දී නම් මම හරිම සතුටුයි නිළියක් වීම ගැන. මා ගැන දන්නේ නැති බොහෝ පිරිසක් මාව දැන ගත්තා. දුර පැතිවලට ගියාම ගොඩක් අය ඇවිත් කතා කරනවා. ඒ එක්කම පොඩි කාලේ ඉඳන් මම ආස කරපු ආදරේ කරපු නළු නිළියන් එක්ක රඟපාන්න ලැබෙනවා. ඒ නිසා දැන් නම් හරිම ආසාවෙන් රංගනය තුළ නියැළෙන්නේ.


ඔබ රංගනය ගැන හදාරනවද?


දැනට නම් මම වෙනමම කියලා රංගනය හදාරන්නේ නැහැ. නමුත් අපි වැඩකට ගියාම එතැන ඉන්න ජේ්‍යෂ්ඨ නළු නිළියන්ගෙන් ඉගෙන ගන්න බොහෝ ‍දේවල් තියෙනවා. ඒ දේවල් එක්ක මම රංගනය ගැන ඉගෙන ගන්නවා. ජානු මගේ මුල්ම නාට්‍යය. එතැනදී මම රංගනය ගැන කිසිම දෙයක් දන්නේ නැහැ. මේ වෙද්දී මම කරන චරිත බලද්දී සහ ජානු එකේ මුල්ම කොටස බලද්දී මටම තේරෙනවා මගේ රංගනය ගැන මම ලබලා තියෙන දියුණුව.


මේ කලා ගමනට ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද?


ගෙදරින් තමයි ලොකුම සහයෝගය ලැබෙන්නේ. මම රඟපාන්න ආව දවසේ ඉඳන් අම්මා තාත්තා සහ නංගිලා දෙන්නා මා එක්ක ඉන්නවා. මට කවුරු හරි ගොසිප් එකක් හැදුවත් ඒ අය විශ්වාස කළේ නැහැ. මගෙ පවුලේ අය දන්නවා මම කවුද කියන එක. ගෙදර අය මාව තේරුම් ගැනීමම තමයි කටකතාවලට තිබුණු බය නැති වෙන්න හේතුවක් වුණේ. ගෙදර අයගේ හිතේ මා ගැන තියෙන විශ්වාසය ගොඩක් වටිනවා.

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
Previous Post Next Post