දුර ගමනක් යන්න නෙවෙයි මට ඕන හොඳ ගමනක් යන්න -හෙශාන් මනුල

gossiplanka image 1
 

මේ දිනවල ස්වාධීන රූපවාහිනී නාළිකාවේ විකාශය වන ප්‍රියන්ත ප්‍රනාන්දුගේ ‘සංවරය’ ටෙලි නිර්මාණය බොහෝ දෙනාගේ කතාබහට ලක්වන්නකි. එහි කැප්ටන් නුගාර සේනානායක ලෙස ගුවන් නියමුවකුගේ භූමිකාවට පණ පොවන ඔහු යොවුන් රංගන ශිල්පි හෙශාන් මනුලය. පසුගියදා නිමාවට පත්වූ ‘මා’ ටෙලි නිර්මාණයේ ද්විත්ව චරිතයකට පණ පොවමින් ප්‍රේක්ෂක ඔබේ ආදරය දිනා ගත්තේ ද ඔහුය. ෂාරුක් ඛාන් සමඟ ඉන්දියානූ එයාර්ටෙල් වෙළෙඳ දැන්වීමට පෙනී සිටිමින් දැන්වීම් කලාවට පළමු පියවර තැබූ ඔහු නිරූපණ ක්ෂේත්‍රයේ ද වසර 15ක අත්දැකීම් ඇත්තෙකි. රංගනය, නිරූපණය මෙන්ම ව්‍යාපාරික ක්ෂේත්‍රයේද සන්නාමයක් වී සිටින හෙශාන් සිය අත්දැකීම් රසඳුන හා බෙදාගත්තේ මෙලෙසිනි


‘සංවරය’ ඔබේ රංගනය වෙනස්ම මානයකට ගෙනයන ටෙලි නිර්මාණයක්. කොහොමද අවස්ථාව ලැබෙන්නේ?


මුලින්ම මට ආරාධනාව ලැබෙන්නේ එහි නිෂ්පාදිකාවගෙන්. ඊට කලින් අධ්‍යක්ෂවරයාගෙන් කෝල් ඇවිත් තිබුණත් ඒක මට මඟහැරිලා තිබුණා. ‘සංවරය’ නිලක්ෂි සහ රජිත් යුවළගේ නිෂ්පාදනයක්. ඇය මගෙන් ඇහුවා මෙහෙම කැරැක්ටර් එකක් තියෙනවා ඔයා කැමැති ද කියලා. ඇත්තටම ඒක මාව පුදුම කළ ආරාධනයක් කිව්වත් හරි. “ෆයිලට් කෙනෙක් විදිහට ඇන්දොත් ඔයා හරි ලස්සනට ඉඳීවි“ කියලා මට බොහෝ දෙනෙක් කියල තිබුණා. ඒ නිසා ඇත්තටම මං එහෙම ෂූට් එකක් කරන්න සූදානමින් ඉද්දිමයි මේ කෝල් එක එන්නේ. මීට කලිනුත් මට මේ වගේ දේවල් වෙලා තියෙනවා. මට මොකක් හරි දෙයක් හිතුණොත් කොහෙන් හරි මට ඒ දේ ලැබෙනවා. මං නිතරම සොබාදහම එක්ක ඉන්න කෙනෙක්. ඒ නිසාද මන්දා බොහෝ වෙලාවට මං හිතන දේවල් ඒ විදිහට මගේ ජීවිතේට ලැබෙනවා. මෙන්න මේ වගේ එකක් තමයි ඊළඟට එන්නෙ කියලා සමහර දේවල් මට කලින්ම ඇඟට දැනෙනවා. ඒක දැන් මට ටිකක් පුරුදු නිසා මං ඒවට සූදානම් වෙලත් ඉන්නවා. සමහර ඒවායේ ඇඳුම් පැලඳුම් වුණත් මට ඉක්මනට දෙන්න පුළුවන් වෙන්නේ ඒ නිසා.


කැප්ටන් නුගාර සේනානායක කියන්නෙ මොන වගේ චරිතයක් ද?


කැප්ටන් නුගාර සේනානායක කියන්නේ සම්මානනීය අධ්‍යක්ෂ ප්‍රියන්ත ප්‍රනාන්දුගේ ‘සංවරය’ ටෙලි නිර්මාණයේ මගේ කැරැක්ටර් එක. කැප්ටන් නුගාර පිටරට ඉඳන් නිවාඩු දාලා ලංකාවට එන්නේ විවාහය සඳහා. ඇය මාධ්‍යවේදිනියක්. නමුත් ඇය වෙනත් කටයුත්තක් එක්ක කාර්යබහුල වෙලා ඉන්න නිසා විවාහය පරක්කු කරනවා. අන්තිමට නුගාරත් ඇගේ වැඩේටම සහය දෙන්න ඉදිරිපත් වෙනවා. ඒ සිදුවීම් එක්ක තමයි කතාව ගලාගෙන යන්නේ. පූජනී භාග්‍යා, නයෝමි තක්ෂිලා ඇතුළු පිරිසක් මාත් එක්ක රංගනයෙන් දායක වෙනවා. කොළඹ සහ මහව රූගත කෙරෙන්නේ. එයාර්පෝට් එකෙත් දර්ශන රූගත කෙරුණා. ගොඩක් වියදම් කරලා, ගොඩක් මහන්සි වෙලා කරපු නිර්මාණයක්.


කැප්ටන් නුගාරට ලැබෙන ප්‍රතිචාර කොහොමද?


ඉතාම සතුටුදායකයි. යූටියුබ් එකේ පුදුමාකාර විදිහට ප්‍රතිචාර ලැබෙනවා. සංවරය ගැන ප්‍රමෝට් කරද්දිම ප්‍රේක්ෂකයන් ප්‍රතිචාර දක්වලා තිබුණා. “හෙශාන් භාරගත්ත නම් කොහොමත් හොඳ එකක් වෙන්න ඇති, අනිවාර්යයෙන්ම බලන්න ඕන“ කියලා තිබුණා. ඒක මට ලොකු හයියක්. මිනිස්සු මා ගැන එහෙම හිතද්දි මගෙත් යුතුකමක් තියෙනවා හොඳම දේ දෙන්න. “ඔයාගෙ ගමන හෙමින් වුණාට ඔයා හරි ලස්සන ගමනක් යනවා“ කියන එක ඔවුන් මට නිතරම කියනවා.


ගුවන් නියමු ඇඳුම නිර්මාණය කරගන්නේ ඔබ. ඒ අත්දැකීමත් කියමු?


ඔව්. මම පැෂන් ඩිසයිනින් පැත්තත් කරන නිසා ඒ ගැන ලොකු අධ්‍යයනයක් කරනවා. හැකියාව තිබුණු පලියටම හිතුමතේට අපිට ඇඳුම් නිර්මාණ කරන්න බැහැ. පැෂන් ඩිසයිනර් කෙනෙක් වුණත් මොඩ්ල් කෙනෙක් වුණත් ඒ අධ්‍යයනය තියෙන්නම ඕන. කැප්ටන් කෙනකුගේ ඇඳුමේ අතකට ගෝල්ඩ් ලයින් හතරක් එනවා. ෆස්ට් ඔෆිසර් නම් ගෝල්ඩ් ලයින් තුනයි. සෙකන්ඩ් ඔෆිසර් නම් ගෝල්ඩ් ලයින් දෙකයි. ඒවටත් තේරුම් තියෙනවා. බට්න්වලට වගේම දාන පිළිවෙළ අනුවත් තේරුම් තියෙනවා. ඒ දේවලුත් හරියටම හිතලා තමයි මම ඩ්‍රාමා එක වෙනුවෙන් ඒ ඇඳුම කළේ. අපි ගුවන් තොටුපොළේ රූගත කළ අවස්ථාවේ ගොඩක් අය හිතුවේ මම ඇත්තම ගුවන් නියමුවෙක් කියලා. ඒ වෙලාවෙම ගුවන්යානා කිහිපයකුත් ආවා. මගේ එහා පැත්තට තව ෆස්ට් ඔෆිසර් කෙනෙකුත් ගත්තා. කැමරාවේ ලෝන් ෂොට් එකකට එයාර්පෝට් එක ඇතුළේ ඉඳන් අපි ඇවිදන් එද්දි ගොඩක් අය හිතුවේ අපි ඇත්තම ගුවන් නියමුවෝ කියලා. හැට් එක දැම්මම කොහොමත් අඳුරගන්න බෑ. එක ගුවන් සේවිකාවක් ඇවිත් “ඔයා ෆයිලට් කෙනකුටත් වඩා ලස්සනට ඉන්නවා“ කිව්වා. “අනේ මේ වගේ අය අපේ එකේ නැද්ද?“ කියලත් ඇහුවා. ඉන්දියානු ජාතිකයන් පිරිසකුත් ඇවිත් කතා කරලා ඔයා හරිම ලස්සනයි කිව්වා. ඔය වගේ අවස්ථාවක් ආයෙ ලැබෙන්නෙත් නැති එකේ මාත් ඉතින් ෆයිලට් වගේ ඇවිද ඇවිද හිටියා. ඒක හරිම සුන්දර අත්දැකීමක්.


මේ තරම් දැවැන්ත කාර්යයක් සාර්ථක කරගන්න අධ්‍යක්ෂවරයාගෙන් ලැබුණු සහයෝගය කොහොමද?


කියන්න බැරි තරම් සහයෝගයක් ලැබෙනවා. ප්‍රියන්ත අයියාගේ වැඩකට ආරාධනා ලැබුණා කියල මම ක්ෂේත්‍රයේම යාළුවන්ට කිව්වම ඔවුන් කිව්වේ ඔහුත් එක්ක වැඩ කරන්න ලේසි නැහැ, හරිම සැරයි කියලා. ඒත් කියන්න සතුටුයි අද වෙනකල් මට එක වචනයක් කියලා නැහැ. ඒ වගේම මම ඉල්ලන හැම පහසුකමක්ම දුන්නා. සමහරුන්ට ඒවා ගැටලු වෙන්න ඇති. නමුත් වැඩේ භාරගන්න කලින්ම ඒව ගැන කතාබහ කරගෙන ආවා නම් කාටවත් කිසිම ගැටලුවක් නැහැ.


හෙශාන් එක්ක වැඩ කරන එක පහසු නැහැ කියලත් ආරංචියි?


මෙහෙමයි. මම ප්‍රොෆෙෂනල් විදිහට වැඩ කරන රංගන ශිල්පියෙක්. මම වැඩක් භාරගත්තම ඒ වෙනුවෙන් ගොඩක් කැපවෙනවා. විනය කියන එක උපරිම පවත්වාගෙන යනවා. අපේ ක්ෂේත්‍රය කොතරම් දියුණුයි කිව්වත් වැඩක් නෑ විනය අතින් පිරිහිලා නම්. ඒ වගේම මම ශරීරය ගැන ගොඩක් හිතනවා. අවශ්‍ය විදිහට කෑම බීම ගන්නවා. ප්‍රොෆෙෂනල් මට්ටමින් වැඩ කරන නිසා මට අවශ්‍ය පහසුකම් ඉල්ලනවා. මාත් එක්ක බොහොම කැමැත්තෙන් වැඩකරන නිෂ්පාදකවරුන් ඉන්නවා. පැය භාගෙකට කලින් මම ලෝකේෂන් එකට එනවා වගේම ලොකේෂන් එකට ගියහම වැඩේම තමයි. මම මගේ ප්‍රඩක්ෂන්වලට කියල තියෙන්නේ මම කිව්ව වෙලාවට වඩා විනාඩියක් හරි පරක්කු වුණොත් මගේ පේමන්ට් එකෙන් භාගයක් කපන්න. නැත්නම් පේමන්ට් එක දෙන්න බැහැ කියන්න කියලා. මොකද මට අවශ්‍ය සියලු දේ ඔවුන් දෙනවා නම් මගේ පැත්තෙනුත් ඒ විදිහට තියෙන්න ඕන. මාව ඕන අය කොහොමත් මාව ගන්නවා. දුර ගමනක් යන්න නෙවෙයි මට ඕන හොඳ ගමනක් යන්න.


ඔබ වෘත්තීන් කිහිපයක නියැළෙන කෙනෙක් වුණත් කාලය කළමනාකරණය කරගෙන හරිම නිදහසේ ජීවිතය විඳින කෙනෙක්?


මම වෙඩින්, පාර්ටි, ක්ලබ් වගේ දේවල්වලට යන්නෙම නැති කෙනෙක්. කලා නිර්මාණ වුණත් වැඩිය භාර ගන්නේ නැති නිසා මට කාලය හොඳටම කළමනාකරණය කරගන්න පුළුවන්. වැඩි වැඩ නැති නිසා සොබාදහමත් එක්ක ඉන්න කාලය ඉතිරි වෙනවා. කිසිවකුට කරදරයක් නොවී සොබාදහමට අනුව ජීවත් වෙන්නයි මට ඕන. මම ඉන්නෙම ගහකොළ, කඳු, කැලෑ අස්සේමයි. මේ වෙද්දි ලංකාවේ කඳු විසි එකක නැඟලා තියෙනවා. යාළුවොත් එක්ක මම කඳුවල කෑම්ප් ගහනවා. මේතරම් කාලෙකට අපහසුතාවට පත්වුණේ එකම අවස්ථාවකදී විතරයි. මමයි යාළුවෙකුයි බතලේගල නැඟලා කෑම්ප් ගහලා හිටපු අවස්ථාවක මහා වැස්සකුයි සුළඟකුයි ආවා. තව පොඩ්ඩෙන් අපි දෙන්නා එදා සුළඟට ගහගෙන ගිහින් කන්දෙන් වැටෙනවා. මෙතෙක් ලබපු බිහිසුණු අත්දැකීමක් ඒක.


ඔබ වෘත්තිය මට්ටමේ නිරූපණ ශිල්පියෙක් විදිහට අද නිරූපණ ක්ෂේත්‍රය දකින්නෙ කොහොමද?


නිරූපණ ශිල්පියෙක් බිහි කරනවා කියන එක ලේසි නැහැ. ඒක හරි අධ්‍යයනයක් ඇතිව යා යුතු ගමනක්. නිරූපණ ක්ෂේත්‍රයේ මේ මගේ පහළොස් වැනි අවුරුද්ද. හරියට අධ්‍යයනය කරන්නෙ නැතුව ගිහින් අතරමං වෙන පිරිස වැඩියි. ගොඩක් දෙනෙක් එක එක පාඨමාලාවලට කියලා නිකං සල්ලි ගෙවනවා. ගොඩක් දෙනෙක් මගෙනුත් අහනවා මොඩ්ල් කෙනෙක් වෙන්නෙ කොහොමද කියලා. එතැනදි මම කියන්නේ ඔයා මොඩ්ල් කෙනෙක් වෙන්න සුදුසු ද කියන එක මුලින්ම බලන්න කියලා. ඒකටත් යම්කිසි හැකියාවක් තියෙන්න ඕන. ඒ වගේම සුදුසුකම් ලත් නිරූපණ පාසලක් තෝරගන්න එකත් ගොඩක් වැදගත්. තමන්ගේ සිහින සැබෑ කරගන්න ගම්වලින් නගරයට එන අහිංසක තරුණ තරුණියන් අතරමං වෙන තැනක් මේක.


හෙශාන් නිරූපණය පැත්ත ගැන ලොකු දැනුමක් එක්ක ආපු කෙනෙක්?


අපි මොන දේ කළත් ඒක අධ්‍යයනයක් ඇතුව කරන්න ඕන. මොඩ්ල් කෙනෙක් වුණහම දැනගත යුතු බොහෝ දේවල් තියෙනවා. පිරිමි කෙනෙක් කකුලක් පිට කකුලක් දාද්දි වුණත් ඒකෙ විනයක් තියෙනවා. ඇඳුමක් අඳිද්දි යම්කිසි රීතියක් තියෙනවා. අපිට ෆුල් ෂූට් එකක් ඇඳන් නිරූපණය කරන්න කිව්වොත් අපිට ඒක ගැන දැනුමක් තියෙන්න ඕන. හැම බට්න් එකම දැම්මොත් ඒක වැරදියි. ඒකටත් රීතියක් තියෙනවා. ඒ වගේ ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා. අපි මොන දේ කළත් ඒ ගැන අධ්‍යයනය කරලා තේරුමක් ඇතිව කරන්න ඕන.


‘මා’ කියන්නේ ඔබ ද්විත්ව චරිතයකින් සම්බන්ධ වුණු සාර්ථක ටෙලි නිර්මාණයක්. අභියෝගයක් වුණේ නැද්ද?


‘මා’ කියන්නේ මගේ රංගන ජිවිතේ හැරවුම් ලක්ෂ්‍යයක්. ‘මා’ ටෙලි නිර්මාණයෙන් තමයි ගොඩක් මිනිස්සු මාව හඳුනගත්තේ. එකම රුව තියෙන දුප්පත් තේජාන් ජයසිංහ වගේම මියගිය පොහොසත් මිනෙත් රණබාහු විදිහට පෙනී සිටිම ලොකු අභියෝගයක් වුණා. මට මගේ දක්ෂතාව හොඳින්ම පෙන්නන්න ලැබුණු අවස්ථාවක්. තේජාන්ගේ සම්පූර්ණ පුරුදු අමතක නොකර ප්‍රේක්ෂකයාට සැකයක් නොහිතෙන විදිහට දිගු කාලයක් මිනෙත්ව ජීවත් කරවනවා කියන එක ලේසි වුණේ නැහැ. තිර පිටපත් රචක මහේෂ් රත්සර මද්දුමආරච්චිට මං ගොඩක් ස්තුතිවන්ත වෙනවා මාව මේ සඳහා යෝජනා කිරීම සම්බන්ධයෙන්. ඔහු තමයි මාවම ඕන කියලා තිබුණේ. මමත් ගොඩක්ම ආසාවෙන් කරපු ටෙලි නිර්මාණයක්. සුමති ටෙලි සම්මාන උලෙළේ නිර්දේශ නාමයන් අතරට එන්නත් ඒක හේතු වෙන්න ඇති.


ඔබ සම්බන්ධ වෙන ටෙලිනාට්‍යවල ඇඳුම් නිර්මාණය කරන්නෙත් ඔබමද?


ඔව්. මං රංගනයෙන් දායක වන ටෙලි නිර්මාණවල සියයට අනූපහක්ම වගේ අඳින්නේ මගේම ඩිසයින්. ඒ කැරැක්ටර් එකට අනුව ඩිරෙක්ටර්ගේ අනුමැතියත් ඇතිව තමයි කෙරෙන්නේ. කලර් පැලට් එක ගැනත් අවධානය යොමුකරන්න ඕන. ඒ අනුව තමයි පාට තෝරගන්න ඕන. එහෙම නැති ඒවත් තියෙනවා. බොහෝ දුරට ටෙලි නිර්මාණවල ඇඳුම් සපයන්නෙත් ආර්ට් ඩිපාර්මන්ට් එකෙන්මයි. මට කතා කරන ගොඩක් නිර්මාණවලට මගෙන්ම ඇඳුම් ඉල්ලනවා.


ආදරය, විවාහය ගැන හෙශාන්ට තියෙන්නේ මොනවගේ අදහසක්ද?


මම ප්‍රධානවම හොයන්නේ එයාගෙ පර්සනලිටි එක, අනෙක් අයට ගරු කරන්න ඕන. එතකොට ගැටලු අඩුයි. මම නීති රීති දාන කෙනෙක් නෙවෙයි. එයා නිදහස් වෙන තරමට එයාගෙ නිර්මාණශීලීත්වය වැඩි වෙනවා වගේම මටත් ආදරය වැඩි වෙනවා. ඒ වගේ නිදහසේ ජීවත් වෙන්න කැමැති කෙනෙක් තමයි මම හොයන්නේ.

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
Previous Post Next Post