පාසලේදී කිසිම කලාවකට යොමු නොවූ මම අද ජාත්‍යන්තර සම්මාන දිනූ නළුවෙක් -සරත් කොතලාවල

gossiplanka image 1
 

ශංකර් හා ජයක්‍රිෂන් යනු භාරතීය සිනමාව මියුරු සංගීතයෙන් අමන්දානන්දයට පත් කළ අති විශිෂ්ට සංගීත අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකි. මේ අපූරු මිතුරන් දෙදෙනා එක්ව හින්දි සිනමාවේ අමරණීය ගීත රැසක් නිර්මාණය කළ අතර ඒවා අතිශය ජනාදරයට පත් විය. භාරතීය සිනමාවේ හොඳ ම සංගීත අධ්‍යක්ෂවරයාට හිමි ෆිල්ම්ෆෙයාර් සම්මාන නව වතාවක් දිනා ගැනීමට මෙම සංගීත අධ්‍යක්ෂවරුන් දෙදෙනා සමත් විය. මෙවැනි ද්විත්ව සබඳතාවලින් ගොඩනැඟුණු විශිෂ්ට නිර්මාණ බොහෝමයක් අපට හමුවන අතර එවැනි විශිෂ්ට යුගලයන් මෙරට කලා ක්ෂේත්‍රය ඒකාලෝක කළ අවස්ථා ද බහුලය. පණ්ඩිත් අමරදේවයන් සහ මහගම සේකරයන්, ආචාර්ය සුනිල් ආරියරත්නයන් සහ ආචාර්ය නන්දා මාලිනියන්, ආචාර්ය වික්ටර් රත්නායකයන් සහ ප්‍රේමකීර්ති ද අල්විස් සූරීන් ඒ අතර වෙති.


මෙරට සිනමා ක්ෂේත්‍රයට අපූරු නිර්මාණ බිහි කරමින් ජාත්‍යන්තරය ජයගත් සිනමා අධ්‍යක්ෂ, තිර රචක, රංගන ශිල්පී ද්විත්වයක් ලෙස මෑත කාලයේ සම්මාන ගෞරවයට පාත්‍ර වූයේ කුමාර තිරිමාදුර සහ සරත් කොතලාවලය. මෙම අපූරු නිර්මාණකරුවන් දෙදෙනාගේ සහසම්බන්ධයෙන් ලියා අධ්‍යක්ෂණය කළ ‘The Newspaper’ චිත්‍රපටය බැංගලෝර් අන්තර්ජාතික සිනමා උලෙළේදී ආසියානු කලාපයේ හොඳම චිත්‍රපටයට හිමි සම්මානය දිනාගනු ලැබීය. 2022 බැංගලෝර් ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ (BIFFes) ආසියානු සිනමා තරගයේ දෙවැනි හොඳම චිත්‍රපටය ලෙසත්, එම වසරේම ලන්ඩනයේ පැවති 23 වැනි රේන්බෝ චිත්‍රපට උලෙළේ හොඳම අධ්‍යක්ෂවරයාට හිමි සම්මානයත් දිනූ මෙම සුපිරි අධ්‍යක්ෂවරුන් දෙදෙනා 2022 සැප්තැම්බරයේ පැවති 18 වන කසාන් ජාත්‍යන්තර චිත්‍රපට උලෙළේදී ඒකාබද්ධ හොඳම නළුවන් ලෙස සම සම්මානයට පාත්‍ර විණි. මේ සියල්ල අබිබවමින් මෙරට රසික සහෘද ආදරය නොඅඩුව දිනා සිටින මෙම කලාකරුවන් යුවළ අතරින් කුමාර තිරිමාදුර පසුගිය සතියේ අපගේ පාඨකයන් වෙත සමීප වූ අතර එම අවස්ථාව මෙවර සරත් කොතලාවල වෙත හිමි කෙරිණි. ඒ තරමටම මේ කලාකරුවන් දෙදෙනා එක්ව ගමන් කරන දෙදෙනකු ලෙස ඉතිහාසගත වී හමාරය.


“සමහර දේවල් තියෙනවා තනියම ගොඩනඟනවාට වඩා තවත් කෙනකුගේ සහසම්බන්ධයෙන් විශිෂ්ටත්වයට පත් වෙනවා. කුමාරයි, මමයි කාලයක් තිස්සේ දැන හඳුනාගෙන, නාට්‍ය ක්ෂේත්‍රයේ එකට වැඩ කළා. ඊට අමතරව අපි දෙන්නා විවිධ හාස්‍යෝත්පාදක රූපවාහිනි වැඩසටහන් ඉදිරිපත් කළා. ඒවාට හොඳ ප්‍රතිචාර ලැබුණා. ඒ වැඩසටහන් ගොඩාක් ජනප්‍රිය වුණා. එක නාළිකාවකින් ආරම්භ කළ අපි දෙන්නාගේ ඉදිරිපත් කිරීම් තවත් නාළිකාවලටත් පැතිරුණා. ඒ නාළිකාවලිනුත් අපට ඇරයුම් ලැබුණා. අපි දෙන්නා ඒවාත් ඉතාම හොඳින් කළා. ඊට පස්සේ ටෙලි නාට්‍යයකට අපි දෙන්නා සම්බන්ධ වුණා. නමුත් අවාසනාවකට ඒ ටෙලි නාට්‍ය කිසිම නාළිකාවකින් විකාශය වුණේ නැහැ. දෙවැනුව අපි දෙන්නා සම්බන්ධ වුණු ‘අංගාරේ ඉංගාරේ‘ ටෙලි නාට්‍ය විකාශය වුණා. ඒක ජනප්‍රියත් වුණා. ඊට පස්සේ 2014 දී කුමාර තිරිමාදුරත්, මමත් එක්ව තිර රචනය කර අධ්‍යක්ෂණය කළ ‘තණ්හා රති රඟා‘ චිත්‍රපටයට එම වසරේ දෙරණ ලක්ස් චිත්‍රපට සම්මාන උළෙලේදී හොඳම තිර රචනයට හිමි සම්මානය හිමි වුණා. ඊටත් පස්සේ අපි දෙන්නා එක්ව නිර්මාණය කළ ‘ද නිවුස් පේපර්‘ චිත්‍රපටයට සම්මාන ගණනාවක් හිමි වුණා. තනියම නිර්මාණයක් කරනවා තරම් දෙන්නෙක් එක්ක එකතු වෙලා නිර්මාණයක් කිරීම එතරම් පහසු කාර්යයක් නම් නෙවෙයි. විශේෂයෙන්ම කුමාර තිරිමාදුර කියන නිර්මාණකරුවා සමඟ එකඟතාවකට එන්න කිසිසේත්ම පහසු නැහැ. මමත් එහෙමයි. නමුත් සමාජ මතවාද, පවතින යථාර්ථයන් පිළිබඳ අපි දෙන්නාගේම සියයට පනහේ එකඟතාවක් තිබුණා. ඉතිරි සියයට පනහ එකඟ වෙන්න නොසෑහෙන්න මරා ගත්තා. ලොකු කාලයක් ගත වුණා. පිටපත අවසන් කරන්නම වසර හතරක් ගියා. අධ්‍යක්ෂණයට තවත් වසර තුනක් විතර ගියා. අපි දෙන්නා අතර අසීමිත ව සංවාද ගොඩනැඟුණා. ඒ සංවාද සශ්‍රීක කරගන්න අපි දෙන්නාම ගවේෂණ කළා. දූපත් මානසිකත්වයෙන් එළියේත්, මේ දුපත ඇතුළේත් අහස සහ පොළොව අතර සීමාව අතික්‍රමණය කරමින් අපි අපේ අධ්‍යයන පරාසයේ අභ්‍යන්තර කැණීම් පවා සිදු කරමින් අපේ කලාව තුළ ගවේෂණයන් සිදු කළා. ඒ තර්ක විතර්ක මරාගැනීම් නිසාම අවසානයේ නිවැරදිම සොයා ගැනීම ජයග්‍රාහී ප්‍රතිඵලය බවට පත් කරන්න අප දෙදෙනාටම හැකි වුණා. අපි දෙදෙනාගේ එකතුවෙන් කළ නිර්මාණ සාර්ථක වීමේ රහස එයයි. මේ චිත්‍රපටය සම්මාන ගණනාවකට හේතු වුණෙත් මේ කියන සහසම්බන්ධතාවයේ සාර්ථක බව නිසායි. සම සම්මාන වාගේම මේ චිත්‍රපටය සඳහා මට හොඳම නළුවා, කුමාර සහාය හොඳ ම නළුවා වුණු අවස්ථාත් තිබුණා. කුමාර හොඳ ම නළුවා සම්මානය ලබා ගනිද්දී මම හොඳ ම නළුවාට නිර්දේශ වුණු අවස්ථාත් තිබුණා. ඊට අමතර ව ගිහාන් ප්‍රනාන්දු එක සම්මාන උළෙලකදී සහාය හොඳ ම නළුවාට නිර්දේශ වුණා. චින්තක වාස්ටත් ජූරියේ විශේෂ සම්මානයක් හිමි වුණා. හොඳ ම සංගීතය සඳහා මෙහි සංගීත අධ්‍යක්ෂණය කළ ප්‍රවීණ සංගීතඥ ගයත්‍රී කේමදාසටත් සම්මාන ලැබුණා. එහෙම බලද්දි කුමාර – සරත් එක්ව විශිෂ්ට නිර්මාණයක් බිහි වුණා කියන තෘප්තිය අපි දෙදෙනාටම තියෙනවා. එයින් ලැබෙන උත්තේජනය අප දෙදෙනාවම පියවර ගණනාවක් ඉදිරියට රැගෙනවිත් තිබෙනවා.“


සරත් කොතලාවල නම් වූ ප්‍රතිභාපූර්ණ රංගවේදියා මෙරට වේදිකාව, සිනමාව, ටෙලි නාට්‍ය එක ලෙස ජය කෙහෙළි නැංවූ ශිල්පියෙකි. එසේම ඔහු සම්මානනීය අධ්‍යක්ෂවරයෙකි, නිෂ්පාදකවරයෙකි, තිර රචකයෙකි. ප්‍රවීණ නාට්‍යවේදී ජයලාල් රෝහණ කලාකරුවාණන්ගේ ‘දිරිය කැදැල්ල‘ වීදි නාට්‍ය කණ්ඩායමට එක් වූ සරත් කොතලාවලයන්ට එහිදී සිය නාට්‍ය ගුරුවරයා වූ ෂෙල්ටන් පයාගලයන් මුණගැසීමෙන් සිය ජීවන ගමන අපූරු මඟකට අවතීර්ණ විය.


“ෂෙල්ටන් පයාගලයන් තමයි මා යා යුතු මඟ හඳුනාගෙන මට ඒ ගමන යන්න අවශ්‍ය මඟ පෙන්වීම කළේ. නාට්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සහ සමකාලීනයින් මගේ ගමනට අත්වැල සැපයූවා. ඊට පස්සේ සිනමාවට සම්බන්ධ වුණාමත් ප්‍රවීණයන්ගේ සහාය මට ලැබුණා. මම රංගන ශිල්පියෙක් හැටියට ඉතාම සාර්ථක වුණු කෙනෙක් කියලා මට දැනෙන්නේ එදා මෙදාතුර මට ලැබී ඇති චරිතයන්ගේ ස්වභාවය නිසයි. මම රඟපෑ බොහෝ චරිත සාමාන්‍ය සමාජයේ ආදරණීය, ආකර්ෂණීය චරිත නෙවෙයි. මේ සමාජය තුළ විවිධ සංකීර්ණ චරිත මට ලැබිලා තියෙනවා. ඒවා අසාර්ථක වුණා නම් මට එවැනි විවිධ අවස්ථා ලැබෙන්නේ නැහැ. එක පැත්තකින් මගේ ගුරුවරුන්ට සහ මට ආදර්ශ සැපයූ ප්‍රවීණ, ජ්‍යේෂ්ඨ කලාකරුවන්ට මගේ ගෞරවය පිරිනමනවා. අනෙක් පැත්තෙන් මේ සමාජයේ විවිධාකර වූ චරිත ස්වභාවයන් ඉතා සියුම්ව අධ්‍යයනය කරන්නත්, ඒවායේ අභ්‍යන්තරය විනිවිද දකින්නත් මේ කලාව නිසාම හුරු වී සිටිනවා. ඒ විතරක් නෙවෙයි චරිතයක් ලැබෙනකන් බලාගෙන ඉන්නේ නැතුව රංගන ශිල්පියෙක් හැටියට අප කළයුතු අභ්‍යාසවල මම නිරතුරුවම නියැළෙනවා. චරිතයක් ලැබුණාම ඒ චරිතයට කිඳා බැහැලා චරිතය තුළ ජීවත් වෙන්න මට මේ නිසා පහසු වෙලා තියෙනවා. මම මුලින් ම වේදිකාවට සම්බන්ධ වුණේ වේදිකා පරිපාලනයෙන් සහ පසුතල නිර්මාණයෙන්. යොවුන් නාට්‍ය උළෙලට මම මුලින්ම කෙටි නාට්‍ය ඉදිරිපත් කළා. ‘උන්නාන්සේ වැඩි සේක‘ කෙටි නාට්‍යයෙන් ආරම්භ කරලා ‘ප්‍රේමසිරි මිය ගියෝය‘ නමින් දෙවැනුවත් කෙටි නාට්‍යයක් නිර්මාණය කළා. රාජ්‍ය නාට්‍ය උළෙලට මුලින්ම සම්බන්ධ වුණේ 1996 දී ‘මළගම‘ කියන නාට්‍යයෙනුයි. ඒ නාට්‍ය උළෙලේදී හොඳම නළුවාට නිර්දේශ වුණා. 2000 වසරේදී සුනිල් පතිරණ අධ්‍යක්ෂණය කළ ‘සොල්දාදුවා සහ සඳඑළිය‘ නාට්‍යයේ රඟපෑමෙන් හොඳම නළුවා වුණා. 2001 දිත් හොඳම නළුවා වුණා. 2002 වසරේ එකම උලෙළකදී ඉදිරිපත් වුණු නාට්‍ය දෙකකින් හොඳම නළුවා සම්මානයත්, හොඳම සහාය නළුවා සම්මානයත් මට ලැබුණා. 2003දී ‘සූකරයෙක් සමඟ‘ නමින් මගේම නාට්‍යයක් කළා. ඒකට හොඳම තිර පිටපත්, හොඳම නිෂ්පාදනය සහ හොඳම අධ්‍යක්ෂණය කියන සම්මාන තුනම හිමි වුණා. ‘ද්වන්ධ‘, ‘නරි බුරති‘ 1 සහ 2, ‘ජයසිරිට පිස්සු‘, ‘ඒකා සාක්කුවේ‘, ‘සුදු වලහා හිරෙන් පනී‘ කියන නාට්‍යයත් මගේම නිෂ්පාදනයි. ඊට පස්සේ චිත්‍රපටයක් කරන්න කැමැත්තක් ඇති වෙලා කුමාරත් එක්ක ‘තණ්හා රති රඟා‘ කළා. ඊට පස්සේ පාදඩයා, මගේ වම් අත, සොඳුරු දඩබිම,0 භීෂණයේ අතුරු කතාවක්, සුදු කලු සහ අළු, සමනල තටු, අම්මාවරුනේ, සිකුරු හතේ, මචං, ගාමණි, නිකිණි වැස්ස, තණ්හා රති රඟා, ඩොක්ටර් නවරියන්, කදිර දිව්‍ය රාජ, රහස් කියන කඳු, සිංහබාහු, කාසි වාසි, අයිස්ක්‍රීම්, මදර් ලංකා, ෆාදර්, චන්දරේගේ වයිෆ් ආදි වශයෙන් චිත්‍රපට ගණනාවක රඟපෑවා.“


සරත් කොතලාවල නිෂ්පාදනය කර වේදිකාගත කරන නාට්‍ය සියල්ලේම ඇඳුම් නිර්මාණ කටයුතු සිදු කරන්නේ ඔහුගේ බිරිය පුෂ්පා සමන්ති. ඇය තමාගේම පෞද්ගලික ව්‍යාපාර කටයුත්තක නියැළෙන අතර සරත් කොතලාවලගේ නිර්මාණ සඳහා ඇඳුම් නිර්මාණයෙන් දායක වන්නීය. ඔවුන් දෙදෙනාට ඉසුරි සන්දීපනි නමින් දියණියක් සහ ඉසුරු මනුෂ නමින් පුතෙක් සිටි. දුව විශ්වවිද්‍යාලයේ අවසාන වසර ශිෂ්‍යාවකි. පුතා මේ වසරේ විශ්වවිද්‍යාල ගමන ආරම්භ කළේය.


“අපේ දුවයි, පුතයි පුංචි කාලේ චිත්‍රපටවල ළමා චරිත රඟපෑවා. ‘සමනල තටු‘ චිත්‍රපටයේත් හිටියා. නමුත් මෑතකදී නම් ඒ දෙන්නාම නිර්මාණවලට සම්බන්ධ වුණේ නැහැ. පස්සේ කාලෙක මොන විදිහකට කලාවට සම්බන්ධ වෙයි ද කියන්න මම දන්නේ නැහැ. දැනට නම් ඒ දෙන්නාම අධ්‍යාපන කටයුතුවලට මුල්තැන දීලා තියෙනවා.“


සරත් කොතලාවල මූලික අධ්‍යාපනය ලැබුවේ හෝමාගම දීපන්ගොඩ කනිෂ්ට විද්‍යාලයෙනි. පහේ පන්තියෙන් පසුව ශ්‍රී මේධානන්ද මහා විද්‍යාලයට ගිය ඔහු සාමාන්‍ය පෙළ සමත්ව උසස් පෙළ වාණිජ්‍ය විෂය ධාරාවට එක් වූයේ සුභද්‍රාරාම විද්‍යායතනයටය. උසස් පෙළ හොඳින් සමත් වූ ඔහුගේ අනාගත මඟ විවර වූයේ නාට්‍ය කලාව ඔස්සේය. හෝමාගම මාගම්මන හත්නාගොඩ ගම ඔහුගේ උපන් ගම සේම ඔහු තවමත් ජීවත් වන්නේ ඒ ගම් පළාතේමය. ගොඩ මඩ ගොවිතැනින් සශ්‍රීක වූ ඒ ගම සුන්දර වූයේ බැලු බැලු අත විහිදුණු රබර් යායවලිනි. ඔහුගේ පියා ඉතාම දක්ෂ ගොවි මහතෙක් වගේම ඔහු රබර් ආශ්‍රිතව සුළු ව්‍යාපාරයක ද නිරත වූයේය. වයස අවුරුදු අනූ පහක් ආයු වළඳා ඉතා මෑතකදී පියා මිය පරලොව ගියේය. මව ද ගොවිතැනට උදව් කරමින්, දරුවන් රැක බලා ගනිමින් ගමේ රබර් ආශ්‍රිත වෘත්තීන්හි ද නියැළුණාය.


“ඒ කාලේ තිබුණු සුන්දර ගම අද බොහෝසෙයින් වෙනස් වෙලා තියෙනවා. නගරයට සාපේක්ෂව ඒ වෙනස්වීම අඩු වේගයකින් සිදු වන නිසා අදටත් ගමේ අසිරිය යම් තරමකට සුරැකී තිබෙනවා. ගොවිකම මටත් හොඳට හුරු පුරුදුයි. ගමේ මිනිස්සුන්ගේ ජීවන රටාව, ඔවුන්ගේ දුක් වේදනාවන් වාගේම සතුට, සුහදත්වය පුංචි කාලේ පටන් අත්දැක තිබෙනවා. රංගනයේදී ඒ හැම අත්දැකීමක්ම පාසලක් වගේ මට උදවු වුණා. මම ඉගෙනගත් එක පාසලකවත් සංගීත, නැටුම්, නාට්‍ය කලාව තිබුණේ නැහැ. සෞන්දර්ය විෂයකට කියලා තිබුණේ චිත්‍ර විෂය පමණයි. අඩුම තරමේ උසස් පෙළ කළ විද්‍යායතනයේවත් තිබුණේ නැහැ. ඒ නිසා කිසිම කලා කටයුත්තකට මම පාසල් ජීවිතයේදී සම්බන්ධ වෙලා නැහැ. නමුත් අද වෙද්දි මම ජාත්‍යන්තර සම්මාන දිනූ නළුවෙක් බවට පත්ව සිටිනවා. ඒ ගැන අප්‍රමාණ සතුටක් මට තියෙනවා. වේදිකාව, සිනමාව වගේම ටෙලි නාට්‍ය ගණනාවක රඟපාලා තියෙනවා. දැන් නම් මම ඉතාම කලාතුරකින් තමයි ටෙලි නාට්‍යයක් තෝරා ගන්නේ. මම රඟපෑ ටෙලි නාට්‍ය අතර අහස් ගඟ, අහස් ගව්ව, අළු බඳුන, බට්ටි, ගඟ ළඟ ගෙදර, ග්‍රැහැම්බෙල්වත් හිතුවාද, හරස් පාර, ඉතින් ඊට පස්සේ, මාණික්කාවත, මැටි කඩුලු, මිණි කිරණ, මොණරතැන්න, රිදී සිත්තම්, සිරි සිරිමල්, තීර්ත තරණය, එයා දැං බැඳලා වගේ ටෙලි නාට්‍ය රැසක් තියෙනවා. ගොඩාක් චරිතවලට සම්මානත් ලැබුණා. මේ දවස්වල නම් මම වැඩිපුරම චිත්‍රපටත් එක්ක තමයි වැඩ කරන්නේ. ‘සීනි‘, ‘විසේකාර‘, ‘කොටු‘, ‘පිස්සෝ‘, ‘සිඟිති‘ කියන චිත්‍රපටවල වැඩ කරනවා. තවත් චිත්‍රපට කිහිපයකම වැඩ පටන් ගන්න තියෙනවා. වේදිකාව පැත්තෙන් ‘පැන්ඩෝරා‘ සහ ‘ඔළු හැලුවෝ‘ කියන වේදිකා නාට්‍ය දෙකත් එක්කත් මේ දවස්වල වේදිකාවෙන් වේදිකාවට යනවා. ඊට අමතරව අලුත්ම චිත්‍රපටයක් ලියලා අධ්‍යක්ෂණය කළා. අපිත් එක්ක එකට වැඩ කරගෙන යන අපේම අය පහළොස් දෙනෙක් එකතු වෙලා තමයි ඒ චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු සිදු කළේ. මමයි, සේමිණි ඉද්දමල්ගොඩයි, ධර්මප්‍රිය ඩයස්, ආනන්ද කුමාරඋන්නැහේ, වසන්ත මොරගොඩ, දිමුතු චින්තක, විශ්ව කොඩිකාර, කොරලගේ සමන්, ප්‍රේමලාල් ලියනගේ, චන්දන නිෂාන්ත, දුමින් ද සිරිකාන්ත, රංජන් ප්‍රසන්න, චින්තක ජයකොඩි, ප්‍රසන්න කිතලගම එක්ව ඇති කරගත් එෆ්. ජී. ඒ. (feg) ආයතනය තමයි මේ නිෂ්පාදනයට මැදිහත් වුණේ. ඒකේ සංගීත කටයුතු මේ දවස්වල කරගෙන යනවා. චිත්‍රපටයේ නම ‘ද මනි‘ (The Money). ඒක බොහොම හාස්‍යයෙන් පිරුණු අමුතු විදිහේ චිත්‍රපටයක් බවට පත් වේවි. චිත්‍රපට කර්මාන්තයේ දැන් ඇති වී තිබෙන පිබිදීම ඉදිරියටත් පවත්වාගෙන යන්න නම් වැසී ගිය සිනමා ශාලා ඉක්මනින් පිළිසකර කරලා ජනගත කළ යුතුයි. ඒ සඳහා කවුරුන් හෝ මැදිහත් වෙනවා නම් ක්ෂේත්‍රයට අලුතින් එක් වෙලා ඉන්න අලුත් අත්දැකීම් සහිත අපූරු නිර්මාණ කරන තරුණ පිරිසට ඒක ලොකු ශක්තියක් වෙනවා. අපටත් අලුත් දේවල්වලට සම්බන්ධ වෙන්න එයින් හැකි වෙනවා.“

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
Previous Post Next Post