දැහැන (1998), විමුක්ති (1998), අරුමෝසම් වැහි (2003), ආදරණීය කතාවක් (2016), දේදුණු ආකාසේ (2017), මන්දාරා (2024), සිනමා නිර්මාණ ශ්‍රී ලාංකේය සිනමා ප්‍රේක්ෂකාගාරයට තිළිණ කළ ප්‍රියන්ත කොළඹගේ නවතම සිනමා නිර්මාණය ‘සූරිය සුළඟ’ මේ දිනවල රටපුරා සිනමාහල්වල තිරගත කෙරේ. ත්‍රාසය, කුතුහලය ඇතුළුව දේශපාලනය ද සමඟින් ශ්‍රී ලාංකීය සිනමා ප්‍රේක්ෂකාගාරයට තිළිණ කළ මේ අපූරු කතාන්දරය ගැන ප්‍රියන්ත සමග පුංචි කතාබහක නිරත වුණා.
ත්‍රාසය, කුතුහලය, භීතිය කැටිවුණ ආදර කතාවක් නිර්මාණය කරන්න හිතුවේ ඇයි ?
ඔව්. ඇත්තට ම මේක ඇක්ෂන් ත්‍රිලර් ශානරයට තමයි අයත් වෙන්නේ. දැන් අපි ගත්තොත් ආදරණීය කතාවක්, දේදුණු ආකාසේ ඒ දෙක පොඩ්ඩක් තාරුණ්‍යය ගැන කියැවෙන ආදර කතාවක්නේ. හැබැයි ඊට පසුව නිර්මාණය වුණු මන්දාර ගත්තොත් පවුල පසුබිම් කරගෙන කුඩා දරුවකු වටා ගෙතුණු වෙනස්ම කතාන්දරයක්. හැබැයි ඉතිං මම සූරිය සුළඟ හරහා තාරුණ්‍යයට ළංවෙලා ඊට වැඩිය එයා ගිය කතා තේමාවක් හොයා ගත්තා. ඒකට හේතුව අපේ සමාජයේ තාරුණ්‍යය දේශපාලනික වටපිටාවත් එක්ක නැතිනම්, අපි කියන්නේ දේශපාලන උගුලෙන් කොහොමද මේ තාරුණ්‍යය මුහුණදෙන දේවල් සහ ඒ උගුලට හසුවෙලා ඉන්න තාරුණ්‍යය මොනවගේද කියලා කියන්න තමයි සූරිය සුළඟ හැදුවේ. ඉතිං අපිට උඩින් පෙනෙන කතාවට වඩා යථාර්ථවාදී කතාවක් යටින් පේනවානේ. අපි හැමෝම හුස්ම ගන්නේ ඇවිදින්නේ කන්න බොන්නේ මේ සියලුම දේවල් කරන්නේ දේශපාලන වාතාවරණය ඇතුළෙනේ. ඒකෙන් මිදෙන්න කාටවත් බෑ. අපි නොදැනුවත්ම මේ දේශපාලනයේ ගොදුරක්. ඒක තාරුණ්‍යයට බලපාන විදිහට තමයි මේ පාර සූරිය සුළඟින් කතාකරන ප්‍රධාන තේමාව වෙලා තියෙන්නේ.
මේඝ සූරියආරච්චිව සිදත්ගේ චරිතයට තෝරාගැනීමට විශේෂ හේතුවක් තිබුණාද?
මේඝව මම ක්‍ෂේත්‍රයට අරගෙන එන්නේ මන්දාරා චිත්‍රපටයෙන්නේ. එතකොට මන්දාරා චිත්‍රපටයේ මේඝත් එක්ක කරපු ගනුදෙනුව හරහා මම හොඳට අඳුර ගන්නවා. මේඝටත් අධ්‍යක්ෂවරයෙක් විදිහට මාව හොඳට තේරෙනවා. ඒ වගේම තමයි මම හේමාල්ව ආදරණීය කතාවක් හරහා හඳුන්වාදෙනවා. ඒ වෙනකොට හේමාල් කරලා තිබ්බේ ප්‍රවේගය විතරයි. දේදුණු ආකාසෙට ආපහු ගන්නෙත් ආදරණීය කතාවක් තුළින් අපි දෙදෙනා අතර ගොඩනැඟුණු සම්බන්ධතාවය උඩයි. ඒ වගේම මේඝවත් මන්දාරා එකෙන් ගෙනැල්ලා තමයි සූරිය සුළඟට සම්බන්ධ කරගන්නේ. මගේ ප්‍රතිපත්තියට අනුව ඕනෑම රංගන ශිල්පියෙක්ව ගෙනාවොත් ඔහුට දෙවැනි අවස්ථාවක් ලබාදෙන්න ඕනෑ. සනත් ගුණතිලක මහත්මයාවත් මගේ දැහැන චිත්‍රපටයේ අවස්ථාවක් ලබාදුන්නාට පස්සේ ආපහු මම සනත් එක්ක විමුක්ති නිර්මාණයෙත් වැඩ කළා. මොකද එතකොට මාත් එක්ක එන ගමනේදී ඔවුන්ට ශක්තියක් හදාගන්න ඉඩක් හදලා දෙනවානේ. ඒ හින්දයි මේඝව මේ චිත්‍රපටයට ගන්න ඕනෑ කියලා හිතුණේ. අනික මන්දාරා එකට වඩා වෙනස් වෙච්ච හැඩයක් ඔහුට ලබාදෙන්න ඕනෑ කියලත් මට හිතුණා.
ඔබ දැන් කලාත්මක සිනමාවෙන් ඈත්වෙලාද?
මම කරපු ආදරණීය කතාවක් සිනමා නිර්මාණයට ඒ වසරේ සිනමා උත්කර්ෂණීය චිත්‍රපටය ලෙස සම්මාන හම්බවෙනවා. ඊට පස්සේ කරපු මන්දාරා ගිය අවුරුද්දේ වසරේ සිනමාත්මක චිත්‍රපටය. මෙවර සූරිය සුළඟ. ඉතිං මම හිතන්නේ චිත්‍රපටයක් වාණිජ හෝ කලාත්මක කියලා වෙන්කරන්න වුවමනා නැහැ. හැම චිත්‍රපටයක්ම වාණිජ වශයෙන් සාර්ථක වෙන්න ඕනෑ.
පසුගිය වසරේ ඇතිවුණ සිනමාවේ පිබිදීමත් එක්ක මේ වෙලාවේ චිත්‍රපටයක් තිරගත කිරීමේදී මුහුණදෙන්න තියෙන අභියෝග එහෙම මොනවාද?
මම දැන් චිත්‍රපට හයක් කරපු නිසා මේ කේෂේත්‍රය හෝ මේ කර්මාන්තය ඇතුළේ යම්කිසි නමක් ගොඩනැඟිලා තියෙන හින්දා මට දැන් ඒ ගැටලු අඩුයි. ඇත්තටම තරුණ අධ්‍යක්ෂවරයෙක් ඇවිත් චිත්‍රපටයක් එළියට දාන්න හැදුවොත් මට වඩා ගොඩාක් ගැටලුවලට මුහුණදෙන්න වෙනවා. අපි දැන් ඒවා පහුකරපු හින්දා අපිට දැන් ටිකක් ලේසියි. ඇත්තට ම තියෙන ප්‍රධානම දේ තමයි චිත්‍රපටයක ප්‍රචාරණය කියන කොටස. චිත්‍රපටය අපි කොච්චර හොඳට හැදුවත් වැඩක් නැහැ අපි ඇඩ්වර්ටයිසින් ගැන දැනගෙන ඉන්න ඕනෑ චිත්‍රපටයක් එළියට දාන්න. ඒ අභියෝගය තමයි මට තියෙන්නේ. හැබැයි ඉතිං මම නියැළී සිටින කේෂ්ත්‍රය ඇඩ්වර්ටයිසින් හින්දා ඒකෙත් මට යම්කිසි කොටසත් කරන්න පුළුවන් හැකියාව මට තියෙනවා.
දේශපාලනයේ අඳුරු පැතිකඩක් තාරුණ්‍යය එකතු කරගෙන සිනමාවට ගෙන එනකොට ඒක සාර්ථක වෙයි කියලා හිතුවාද?
මම හැමදාම නිර්මාණය කළේ ඉල්ලන නිර්මාණවලට වඩා වෙනස් නිර්මාණ. ආදරණීය කතාවක් කරන කාලේ ඒ වගේ කතාවක් තිබ්බේ ම නැහැ. වෙනම චිත්‍රපට රැල්ලක් තිබ්බේ. රජකතා එහෙම පිරිච්ච යුගයක්නෙ තිබ්බේ. එතකොටත් මට අභියෝගයක් තිබ්බා. ඉතිං මේකෙදිත් මට අභියෝගයක් නැත්තේ නැහැ. හැබැයි මම මාව විශ්වාස කරනවා. සාමාන්‍යයෙන් මම නිර්මාණයක් කළහම ඒ නිර්මාණය ප්‍රේක්ෂකයන්ට කොච්චර සමීප කරගන්න පුළුවන් දේවල් මම ඒකට ඇතුළත් කරගන්නවාද කියලා.
ප්‍රේක්ෂකයන්ගේ හදගැස්ම තේරුම් අරගෙන කරන නිර්මාණ තමයි මම බොහෝදුරට නිර්මාණ කරන්නේ. ඒක මගේ ආත්මප්‍රකාශනය කියලා මගේ ආත්මතෘප්තියට නෙමෙයි චිත්‍රපට හදන්නේ. කර්මාන්තය ගැන දැනගෙන කර්මාන්තය ගැන අත්හදාබැලීමක් කරලා තමයි වැඩේ කරන්නේ. අනික මම අභියෝග භාර ගන්නවා. නැතිනම් බැද්දේගම වගේ නිර්මාණයක් මේ වකවානුවේ කිසිම කෙනකුට කරන්න බැහැ. හොඳ නිර්මාණයක් කරන්න ඕනා කියන හැඟීම, කැපවීම අපිට තියෙනවා.