මෙහි අරමුණ ගෝලීය ලාංකීක පවුලක් බිහි කිරීමයි -සහන් රන්වල

gossiplanka image 1
 

ඕනෑම රටකට අනන්‍යතාවයක් තිබේ.රටක නම කියූ සැණෙකින් සිතේ මැවෙන එහි පරිසරය, ආහාරපාන, ඇඳුම් පැලඳුම්, නර්තනය, සිනමාව, සංගීතය ආදී දෑ ඒ රටේ අනන්‍යතාවයයි.මේ සියල්ල එක්ව ගත් කල එයට “සංස්කෘතිය” යන වචනය ද යෙදිය හැකිය. රටක සංස්කෘතිය, එරටේ කාල ත්‍රිත්වය යා කරන පාලමක් බඳුය.ශශ්‍රී ලාංකේය සංස්කෘතිය ගැන කතා කරන විට “රන්වල බලකාය” යන දෙපදය එයට නිරායාසයෙන්ම ඒකාත්මික වෙයි.ඔවුන්, දේශීය ජන සංගීතයේ විවිධ නාද රටා අපූරුවට සුසර කරමින් වත්මනට ගැළපෙන දේශීයත්වය කැටි වූ නව ආරක දේශීය සංගීත පද්ධතියක් බිහි කිරීමේ උදාර මෙහෙවරෙහි පෙර ගමන්කරුවන් බව අවිවාදිතය. දේශීය ජන සංගීතයේ රන් සලකුණක් බඳු වූ “ලයනල් රන්වලයන්ගේ” මගපෙන්වීම මත ඇරඹුණු රන්වල බලකායෙන් දේශීය ජන සංගීතය ලෝ ප්‍රචලිත කිරීම සඳහා වන මෙහෙවර අගය කළ යුතු වන්නේ ඒ නිසාය.එම මෙහෙවරේ තවත් දිගුවක්, මෙම වසරේ අග භාගයේ දී ආරම්භ කිරීමට ඔවුන් දැන් සූදානම්ය.මින් ඉදිරියට දිග හැරෙන්නේ, රන්වල පදනමේ මෙහෙයුම් අධ්‍යක්ෂ සහන් රන්වලයන් සමග ඒ පිළිබඳව සරසවිය කළ කතා බහයි.


මේ දවස්වල අලුත් ව්‍යාපෘතියකට සූදානම් වෙනවා නේද?


ඔව්.මේක අවුරුදු ගානණාවක් තිස්සේ අපි සැලසුම් කරපු දෙයක්.මේ අවුරුද්දේ තමයි මල්ඵල ගැන්වෙන්නේ. මෙහි ආරම්භක උත්සවය “අඩරබඩථ ධට ඹ්චදඬච” නමින් දෙසැම්බර් මාසේ 19 සහ 20 යන දිනවල නෙළුම් පොකුණේ දී පැවැත්වීමට නියමිතයි.මේ වෙනකොට එහි සියලු කටයුතු සංවිධානය වෙමින් පවතින්නේ.ඔස්ට්‍රේලියාව, සිංගප්පූරුව, කැනඩාව, මැලේසියාව වැනි විදෙස් රටවල් ගණනාවක දරුවන් දැනටත් මෙම ව්‍යාපෘතියේ නර්තන සහ ගායන අංග ඉදිරිපත් කිරීමට පුහුණුවීම් කටයුතුවල යෙදෙනවා. ශශ්‍රී ලාංකික සම්භවයක් සහිත දුවා දරුවන් කිසිදු ජාති භේදයකින් තොරව “ශශ්‍රී ලාංකිකයන් ” කියන හැඟීමෙන් මේ ව්‍යාපෘතියට සහභාගී වෙන්න අපේක්ෂාවෙන් සිටිනවා.


මේ ව්‍යාපෘතියේ අරමුණ ගැන කිව්වොත්?


මේ වන විට අධ්‍යාපනය , රැකියාව හෝ වෙනත් යම් කරුණු මත රටින් බැහැරව විදෙස් ගතවෙලා ඉන්නවා විශාල පිරිසක්.තමන්ට ආවේණික කුමන හෝ තත්ත්වයක් නිසා විදෙස් ගත වුණා වුණත්, ඔවුන් බහුතරයක් ශශ්‍රී ලංකාව අමතක කර නැහැ.ඒ අය ලංකාවේ ගීත අහනවා.සිනමාපට බලනවා.ලංකාවේ ඇඳුම් පැලඳුම්, කෑම, බීම, ලංකාවේ දේශපාලනය වගේ හුඟක් දේවල් ගැන ඒගොල්ලෝ උනන්දුයි.තමන්ගේ ආගම දහමට අදටත් එයාලා ගරු කරනවා. ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක දී වුණත් එයාලා සතුටු වෙන්නේ ලංකාවේ කණ්ඩායමට ජය පතලා.


ඒ වගේම එයාලා එයාලගේ දරුවන් තුළත් ශශ්‍රී ලාංකීය හැඟීම ඇති කරන්න උත්සාහ කරනවා.හුඟාක් රටවල නර්තන පාසල්, භාෂා පාසල්,දහම් පාසල් තියෙනවා.ඒ තුළින් ඔවුන් උත්සාහ කරනවා ඔවුන්ගෙන් ගිලිහී ගිය ශශ්‍රී ලාංකිකත්වය ඊළඟ පරපුරට දායාද කරන්න.නමුත්, මේ දරුවෝ, තරුණවියට එළඹුණාට පස්සේ මේ දේවල්වලින් ඈත් වෙනවා අපි දකිනවා.ඒකට හේතුව විදිහට අපිට දැනුණු දෙයක් තමයි,මේ දරුවන්ට තමන්ගෙකම නැත්නම් ශ්‍රි ලාංකිකත්වය පවත්වාගෙන යන්න මාධ්‍යයක් නැතිකම.ඇත්තටම මෙච්චර කාලයක් එයාලා ලංකාවට ආවේ එයාලගේ නිවාඩු කාලෙට, එයාලගේ දෙමව්පියන්ගේ මහ ගෙදර බලන්න; එහෙම නැත්නම් ආච්චි සීයා බලන්න.නිවාඩු කාලය ඉවර වෙලා ආපහු ගියාට පස්සේ ලංකාවත් එක්ක එයාලගේ තියෙන සියලු සම්බන්ධකම් ආයෙත් නැතිවෙලා යනවා.එයාලගේ හැඟීම්,සිතුම් පැතුම් ලංකාවත් එක්ක බද්ධ කරගන්න අවස්ථාවක් එයාලට නැහැ.ඉතින් අපි මේ උත්සාහ කරන්නේ ඒ මාධ්‍ය එයාලට හදලා දෙන්න.මේ ව්‍යාපෘතියේ අපේ ප්‍රධාන අරමුණ තමයි “ගෝලීය ලාංකික පවුලක්” බිහි කිරීම;ලෝකයේ කොයි කොනක හිටියත් ලාංකික හැඟීමෙන් පිරිපුන් අනාගත පරපුරක් නිරමාණය කිරීම.


Rhythm of Lanka ව්‍යාපෘතිය ගැන වැඩි විස්තරයක් කියමු.


ඔව්. මේ සඳහා සහභාගි වෙන්නේ ලාංකික සම්භවයක් සහිත ලෝකයේ විවිධ රටවල ජීවත්වන දරුවන් සහ දෙමව්පියන්.මෙය ඔවුන්ගේ විවිධ හැකියාවලින් ඔප් නැංවුණු විශේෂ ව්‍යාපෘතියක්. දෙසැම්බර් 19 වැනිදා පැවැත්වෙන සංදර්ශනයේ දී මේ දුවා දරුවන් ඔවුන්ගේ ගායන හා නර්තන හැකියාවන් විවිධ තේමාවන් ඔස්සේ නිරමාණය වුණු නර්තනාංග සහ ගායනාංග රැසකින් එළි දක්වනවා. ඒ වගේම විසිවෙනි දින වෙන් කරලා තියෙන්නේ ගායනයට හෝ නර්තනයට විශේෂ දක්ෂකමක් නැති දරුවන් සහ වැඩිහිටියන් වෙනුවෙන්. අපි එයාලවත් අමතක කළේ නැහැ. එදිනටත් සුවිශේෂී අංග කිහිපයක් අපි සූදානම් කරලා තියෙනවා. විනෝද ක්‍රීඩා අංශය මෙහිදී විශේෂයි. මෙතනදි වෙන්නේ, විවිධ රටවලින් එදාට ලංකාවට පැමිණෙන දරුවන් අතරින් අහඹු ලෙස අපි දරුවන් කණ්ඩායම් කරනවා. එහිදී එක කණ්ඩායමක ඇමරිකාව, සිංගප්පූරුව, ඉතාලිය, කැනඩාව ආදී විවිධ රටවල ජීවත්වන දරුවන් සිටින්න පුළුවන්. ඔවුන් අභියෝගයට මුහුණ දෙන්නේ ශශ්‍රී ලාංකික හැඟීමෙන්. ඒක තමයි වඩා වැදගත්. එයට අමතරව දරුවන් සහ වැඩිහිටියන් එක්ව තරග කරන ඉවුම් පිහුම් තරඟයකුත්, මෝස්තර නිරූපණ තරඟයකුත් එදාට තියෙනවා. මෙයට ඉදිරිපත් වන දරුවන්ට සහ වැඩිහිටියන්ට ඇඳුම් සපයන්නේ ලංකාවේ ඇඳුම් නිරමාණ ශිල්පීන්. ඒක ඔවුන් නොමිලේ තමයි කරන්නේ.


ඒ වගේම මේ ව්‍යාපෘතියට දළදා මාලිගාවෙන් අලි ඇතුන් ප්‍රදර්ශනයක් එකතු කරනවා.විසි වෙනිදාට වැදි නායකතුමා ඇතුළු පිරිසකුත් මෙයට සහභාගී වෙනවා. ඒ වගේම එදාට ලංකාවේ ක්‍රිකට් තරු, ගායක ගායිකාවන්, රංගන ශිල්පීන් ශිල්පිනියන් වැනි ලංකාවේ ජනප්‍රිය චරිතත් එයාලට මුණගැහෙන්න පුළුවන්. මේ පිරිස ලංකාවට පැමිණෙන තැන ඉඳන්ම සුහදත්වය වරධනය වන විදිහේ පිළිගැනීමක් අපි සූදානම් කරලා තියෙනවා. අපේ අවශ්‍යතාවය ඔවුන්ගේ හිතේ අපේ රට ගැන, අපේ මිනිසුන් ගැන හැඟීමක් ඇති කරන්න. ඒ වගේම ලංකාව සමඟ සමාජ හා ආරථික සම්බන්ධතා ඇති කරන්න. ඒ සඳහා විශාල වැඩපිළිවෙලක් අපි සූදානම් කරලා තියෙනවා.


මේ අදහස කාගෙද?


අපි සෑහෙන කාලයක පටන් “ලංකාවලෝකනය” කියන රන්වල බලකායේ වැඩසටහන තුළින් ලෝකයේ විවිධ රටවල ඉන්න විවිධ දක්ෂතා පිරුණු ලාංකික සම්භවයක් සහිත දරුවන් සමග ගනුදෙනුු කරනවා.කුඩා කාලයේ දී ලංකාවේ දේවල්වලට ඇලුම් කළත්, කාලයත් සමඟම ඔවුන්ගෙන් ඒක ගිලිහිලා යෑම පිළිබඳව ස්වයං විවේචනයක් මට කවදත් තිබුණා. ඒ ගැන හිතනකොට මට ලොකු පීඩනයක් දැනුණා. මේ දරුවන්ට ලංකාව හා සම්බන්ධ වෙන්න වේදිකාවක්, පාලමක් නැති එක ගැන මම කවදත් කණගාටුවෙන් හිටියේ. ඔය අතරේ කොවිඩ් වසංගතයෙන් අපේ රට වගේම අනිත් රටවලුත් හුදෙකලා වුණානේ. ඒ නිසා මේ කාලයේ දී අපි ධදතඪදඥ වැඩසටහන් කිහිපයක් පටන් ගත්තා.මේ දරුවෝ ඒ වැඩසටහන්වල දී හරි අපූරුවට තමන්ගේ දක්ෂතා පෙන්නුවා.මේ දක්ෂතා දැකපු නවසීලන්තයේ පදිංචි වෙලා ඉන්න, අපේ හිතවත් සොයුරියක් වන ඉන්ද්‍රා කොළඹගේ අක්කා අපෙන් ඉල්ලීමක් කලා දරුවන්ගේ දක්ෂතා ලංකාවේ මාධ්‍යයකින් පෙන්නන්න කියලා.ඒ අනුව තමයි අපි “හෙළ සුවඳයි අපේ ළමයි” කියන වැඩසටහන නිර්මාණය කළේ.දෙරණ, ස්වර්ණවාහිනී වගේ නාලිකා මගින් ඒ වැඩසටහන විකාශය වුණා.ඒ වැඩසටහනේ දී මේ දරුවන් ඉදිරිපත් කළ නර්ථනාංග සහ ගායනාංගවල තිබුණු විශිෂ්ටබව දැක්කාම,මගේ අර පරණ සිතුවිල්ල යළි ඉස්මතු වුණා. එතන තමයි මේ ව්‍යාපෘතියේ ආරම්භය.අවුරුදු ගණනාවක් තිස්සේ ක්‍රියාත්මක කරන්න බලාගෙන හිටියා වුණත්, රටේ සහ ලෝකයේ තිබුණු ඇතැම් අරබුද නිසා ඒක ටික ටික කල් ගියා.මං හිතනවා ඒක පටන් ගන්න මේක තමයි හොඳම වෙලාව කියලා.


“ලංකාවලෝකනය” කියලා කියන්නේ ලෝකයේ විවිධ රටවල ඉන්න ශශ්‍රී ලාංකික දරුවන්ට ජන සංගීතය ගැන වැටහීමක් ලබා දෙන වැඩමුළු මාලාවක් නේ.මේ වචනයේ අරථය කුමක්ද?


“ලංකාවලෝකනය” කියන වචනයට තේමාව වුණේ “සිංහාවලෝකනය” කියන වචනය. සිංහයා කියන්නේ අභිමානයෙන් ඉදිරියට යන ප්‍රතාපවත් සතෙක්.එහෙම යම් තාක් දුරක් ඉදිරියට ගිහිල්ලා සිංහයා නැවතත් තමා ආ මග දෙස හැරී බලනවා. එහෙම හැරිලා බලන්නේ, තමන් ආ මඟ පිළිබඳව ස්ථීර නිගමනයකට එළඹෙන්න.ඉන් පස්සේ නැවතත් තවත් ශක්තිමත්ව ඉදිරියට ගමන් කරනවා;ආපසු හැරෙන්නේ නැහැ. ඒ අර්ථයෙන් තමයි අපි “ලංකාවලෝකනය” කියන වචනය මේ වැඩමුළුවලට යෙදුවේ. අපේ දේවල් දිහා බලලා ඒවා වැලඳගෙන වර්තමානය හා බැඳී ඉදිරියට යෑම තමයි අපේ අරමුණ.


Rhythm of Lanka ව්‍යාපෘතියට කර උර දුන් අය ගැනත් මතක් කරමු.


මහාචාර්ය මුදියන්සේ දිසානායක, ආචාර්ය රවිබන්ධු විද්‍යාපති, ආචාරය සෝමරත්න දිසානායක,ආචාරය රෝහණ වීරසිංහ, අනෝජා වීරසිංහ, ඩිලන්ත මාලගමුව, මහේල ජයවරධන, එඩ්වඩ් ජයකොඩි, චරිතා ප්‍රියදරශනී, මහාචාර්ය පැට්‍රික් රත්නායක, වසන්ත දුග්ගන්නාරාළ, ප්‍රදීපා ධරමදාස වගේම රේණුකා බාලසූරිය යන විශේෂ චරිත ආරම්භයේ දීම අපිත් එක්ක එකතු වෙලා හිටියා. දැන් අපිත් එක්ක තවත් ප්‍රවීණයින් රැසක් එකතු වෙලා ඉන්නවා. මහේන්ද්‍ර පෙරේරා, ගිරිරාජ් කෞශල්‍ය, දිල්හානි අශෝකමාලා, බිමල් ජයකොඩි, හේමාල් රණසිංහ, සාරංග දිසාසේකර, රවීන් කනිෂ්ක, කීර්ති පැස්කුවෙල්, නලින් පෙරේරා, භාතිය-සංතුශ්, ජය ශී‍්‍ර, ඛ්ඥදබඪඨපචඤඥඛ සහ ජනනාත් වරකාගොඩ තමයි ඒ අය.හරේන්ද්‍ර ජයලාල් ඇතුළු පිරිස විසින් තමයි නිවේදන කටයුතු මෙහෙයවන්නේ.


ලාංකික සම්භවයක් සහිත මේ දරුවන්ගේ ලංකාවට තියෙන්නේ මොන වගේ ඇල්මක්ද?


ඇත්තෙන්ම ලංකාවට වැඩිපුරම ආදරය කරන පිරිස මම දැක්කේ ලංකාවෙන් පිටතදී.දෙයක් අහිමි වුණාම තමයි අපිට ඒකේ වටිනාකම වැඩිපුර දැනෙන්නේ.ඒ වගේ තමයි එයාලටත් ලංකා හරි වටිනවා. මේ තමන්ගේ රට කියලා විශාල ආදරයක් ගෞරවයක් එයාලට මේ රට ගැන තියෙනවා.


රන්වල පදනමේ වත්මන් තත්ත්වය කෙසේද?


රන්වල පදනම අපි මුලින්ම ආරම්භ කරන්නේ දෙදාහ වසරේ දී.ඒ බත්තරමුල්ල පැලවත්තේ අපේ ගමේ.මේ වෙනකොට බස්නාහිර පළාතේ ශාඛා කීපයකුත්,ගාල්ල,මාතර,කුරුණෑගල වගේ ප්‍රදේශවල ශාඛා කීපයකුත් දේශීය වශයෙන් අපිට තියෙනවා.ඊට අමතරව ඔස්ට්‍රේලියාව නවසීලන්තය වැනි ලෝකයේ විවිධ රටවල ශාඛා ගණනාවක් තියෙනවා.මේ වෙනකොට රන්වල පදනමින් බිහි වූ ආදි ශිෂ්‍ය සංඛ්‍යාව තිස් දහසකට වැඩියි. ඒ වගේම වර්තමාන ශිෂ්‍ය ප්‍රජාව තුන් දහසකට වැඩියි.මේ අතර විදෙස් රටවල දුවා දරුවනුත් ඉන්නවා.ඒ වගේම හැත්තෑවකට අධික ආචාර්යවරු පිරිසකුත් අසූවකට අධික ගුරු සහායකවරුන් පිරිසකුත් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා.මේ කරතව්‍ය සාරථක කර ගැනීම සඳහා විශාල කාරයාල කාරය සහායක මණ්ඩලයකුත් ඉන්නවා. ඒ වගේම තමයි රන්වල බලකාය විදිහට අපි රට පුරා වගේම ලෝකය පුරාත් ප්‍රදරශනාත්මක සංදර්ශන, දේශනමාලා, සම්මන්ත්‍රණ ආදිය පවත්වනවා.ඒ සඳහා විශ්වවිද්‍යාල වලින් පාසල් වලින් සහ විවිධ ආයතනවලින් ආරාධනා රැසක් අපිට ලැබෙනවා.මේ සියල්ලේ අරමුණ ජාතික සංගීත පද්ධතියක් බිහිකර ගැනීමේ උත්කෘෂ්ඨ පරමාරථය මුදුන්පත් කර ගැනීම.ඒක තමයි අංක එක.


රන්වල පදනම මගින් පවත්වන සංදර්ශන සහ වැඩමුළු ගැන කිව්වොත්?


“ගම අවුලඤඤං” දැන් දරශන වාර එක්දහස් එකසියයකට වඩා අපි පවත්වලා තියෙනවා. මේ සංදර්ශනය මුලින්ම ආරම්භ කළේ මගේ පියා. අපි දැන් ඒකට නවමු අංග එකතු කරමින් ඉදිරියට අරගෙන යනවා. උදාහරණයක් විදිහට ප්‍රාදේශීය සහ කාලානුරූපීව අපි මේ සංදර්ශනය වෙනස් කරනවා. අපි ගාල්ලේ සංදර්ශනයක් කළොත්, අපි කරන්නේ ඒ ප්‍රදේශයේ භාෂාවෙන් නිරමාණය වුණු අංගයක්. ඒ වගේම “ත්‍රී සිංහලයේ ත්‍රිවිධ සම්ප්‍රදායේ තුන් කල් යා කෙරුම” නමින් අපි නම් කරලා තියෙන “ත්‍රී” සංදර්ශනයත් “රන්වල පොඩ්ඩෝ සහ පොඩි අයට ජන ගී” යන සංදර්ශනයත් අපි රට පුරා පවත්වනවා.ඒ වගේම ජන ගී සම්බන්ධ වැඩමුළු සහ “දේශීයත්වය සහ නවීනත්වය” කියන දේශන මාලාවත් අපි රට පුරා පවත්වනවා.ඒ වගේම ලංකාභිෂේක,ලංකාවලෝකනය,යක්කු බොලව් ආදී අංග ගණනාවකුත් අපි දේශීය සහ විදේශීය වශයෙන් පවත්වනවා.


දේශීයත්වය සහ වත්මන් තාක්ෂණික දියුණුව ඔබ දකින්නේ කොහොමද?


වර්තමාන ලෝකය තුළ තාක්ෂණය කියලා කියන්නේ අතහැර දාන්න පුළුවන් අංගයක් නෙමෙයි. තාක්ෂණය ප්‍රතික්ෂේප කරලා ක්‍රිස්තු පූරව යුගයට යන්න අපි කාටවත් අද බැහැ.නමුත් කිසිසේත්ම අපි තාක්ෂණයේ වහලෙක් නොවිය යුතුයි.කරන්න ඕනේ, තාක්ෂණය මෙවලමක් විදිහට භාවිත කිරීම තුළින් දේශීයත්වය හෝ සංස්කෘතිය සංවර්ධනය කිරීම. තාක්ෂණය ප්‍රතික්ෂේප කිරීම හෝ තාක්ෂණයට වහලෙකුවීම කියන අන්ත දෙකම අපි බැහැර කරනවා. මධ්‍යම ප්‍රතිපදාව හොඳයි.


ඔබ හිතන විදිහට රටක දියුණුව රඳා පවතින්නේ, තාක්ෂණය තුළද?සංස්කෘතිය තුළද?


මේ දෙකම තුළ.උදාහරණයක් විදිහට ජපානය කියන්නේ තාක්ෂණය අතින් අති දියුණු රටක්.නමුත්, ජපානය කිව්වහම අපිට මැවෙන සංස්කෘතියක් තියෙනවා. ඔවුන්ගේ ඇඳුම් පැලඳුම්, සංගීතය, කෑම බීම, ආචාර විධි වගේ සංස්කෘතික අංග තමයි ඔවුන්ගේ දේශීයත්වය.රටක් දියුණු වෙන්න නම්, තාක්ෂණයත් දේශීයත්වයත් එකට යා විය යුතුයි.


රැප් ගීතවලට වර්තමාන තරුණ පරපුරේ විශාල ආකර්ෂණයක් තියෙනවා.දේශීය ජන සංගීතය තුළ තියෙන “ටීකා” සහ මේ රැප් ගීතවල යම් සමානකමක් තියෙනවා නේද?


ඔව්. ටීකාවල විතරක් නෙමෙයි, මන්තර, බෙර පද, සවුදම් වගේ අපේ ජන සංගීතයේ ඇතැම් කොටස් තුළ රැප් ලක්ෂණ තියෙනවා. ලෝකයේ වෙනත් රටවලත් මීට සමාන ගීත වර්ග තිබෙනවා.ටීකා කියන්නේ රැප් ගීත හා එක සමානව අරන් සංසන්දනාත්මකව බලන්න පුළුවන් ගී විශේෂයක්. අපි ඒකයි කියන්නේ අපේ ජන සංගීතය හැම අතින්ම පරිපූර්ණයි කියලා.


දේශීය සංස්කෘතිය අගය නොකිරීම ගැන විශාල චෝදනාවක් වර්තමාන තරුණ පරපුරට තියෙනවා. මේ ගැන ඔබ මොකද හිතන්නේ?


මම හිතන්නේ මෙතන තියෙන්නේ පරම්පරා ගැටුමක්. ඕනෑම සමාජයක් තුළ යම්කිසි දෙයකට කැමති සහ අකමැති කියන කොටස් දෙකම ඉන්න පුළුවන්. සුද්දා අපේ රට යටත් කරගන්න කොට, ඒකට විරුද්ධව සටන් කරපු පිරිසක් හිටියා වගේම එයට අනුගතවුණු පිරිසකුත් හිටියනේ.ඒ නිසා ඔය කියන දෙය, නව පරපුරේ වරදක් විදිහට මම දකින්නේ නෑ. අපේ සමහරුන් දෙදහට කලින් ඉපදුණු අය හොඳයි කියනවා; දෙදහට පස්සේ ඉපදුණු අය නරකයි කියනවා. අපේ රටේ හිටපු ශ්‍රේෂ්ඨ රජ කෙනෙක් තමයි දුටුගැමුණු රජතුමා කියන්නේ. හැබැයි එතුමා, එතුමාගේ පියාට කරපු දේ අපි අහලා තියෙනවානේ. දෙදහෙන් පස්සේ ඉපදුණු අපේ තරුණ පරපුරේ දරුවෝ තවමත් තමන්ගේ පියාට කාන්තා ඇඳුම් පැලඳුම් යැව්වා කියලා අපි අහලා නෑ. දුටුගැමුණු රජතුමාගේ පියාගේ කෝණයෙන් බැලුවොත් දුටු ගැමුණු රජතුමා වැරදිකාරයෙක්. මම හිතන විදිහට වර්තමාන වැඩිහිටි පරපුරේ වගකීම තමයි අනාගත පරපුරට හරි ආකාරව යෂ්ටිය භාරදෙන එක.බාර දෙන විදිහත් භාර ගන්න විදිහත් වැඩිහිටියා විසින් බාලයාට කියා දිය යුතුයි .තරුණ පරපුරට එක එක වැරදි පටවලා, එක පේළියට තියලා එයාලට චෝදනාත්මක වෙඩි තියෙනවට මම කැමති නැහැ.


ඔබ සිතන ආකාරයට දේශීය සංගීතයක් බිහිවීමට ඇති ප්‍රධාන බාධාව කුමක්ද?


ඒකට තියෙන ප්‍රධානම බාධාව තමයි ආකල්පමය වශයෙන් අපේ තියෙන වහල්භාවය. අපි දූපතක් වීම නිසා අපේ සිතුවිලිත් හරිම කුඩායි.අපේ රටේ මිනිස්සු හිතන්නේ රටේ විශාලත්වය අනුව තමයි හැම දෙයක්ම සිදු වෙන්නේ කියලා. එංගලන්තේ කියන්නේ කොච්චර පුංචි රටක්ද? ඒ උණත් එයාලට හැම දේකටම අනන්‍යතාවයක් තියෙනවා.අනුන්ගේ ගෙයක් පෙන්නලා “මේ තමයි අපේ ගේ” කියලා කියන මානසික තත්ත්වයකයි තවමත් අපි ඉන්නේ. අපේ අල්ලපු රටේ සංගීතය අපේ නෙමෙයි කියන එක අපි දැන්වත් තේරුම් ගන්න ඕනේ. මෙතනදී අපි ලෝකයේ දැනට පිළිගත් හින්දුස්ථානි සංගීතය හෝ බටහිර සංගීතය ප්‍රතික්ෂේප කිරීමක් කිසිසේත්ම කරන්නේ නෑ . ඒ සංගීත පද්ධති මේ වෙනකොට ක්‍රමිකව විශාල ලෙස දියුණු වෙලා තියෙන්නේ.අපි අනිවාර්යයෙන්ම ඒවාවල ආභාසය ලබාගත යුතුයි.නමුත් අපි අපිට අනන්‍යතාවයක් ඇති සංගීත පද්ධතියක් බිහි කර ගත යුතුයි. උදාහරණයක් විදිහට ලෝක සිනමාව ගත්තොත්, ඉරාන් සිනමාවට අනන්‍යතාවයක් තියෙනවා. ජපන්, කොරියන් සිනමාවලට අනන්‍යතාවයක් තියෙනවා.එයාලා ඒ සිනමාව බිහි බිහිකරන්න කොයි රටේ තාක්ෂණය උපයෝගී කරගත්තත්, එයාලගේ සිනමාව තුළ තියෙන්නේ එයාලගේ රටට ආවේණික ලක්ෂණයි. මෙන්න මේකයි අපි ආදරශයට ගන්න ඕනේ.සුදුසු හැමදේකින්ම ආභාසය ලබාගෙන අපේ රටට ගැළපෙන අපේ කියන සංගීත පද්ධතියක් බිහිකර ගන්න අපි උත්සාහ කරන්න ඕනේ.ලෝකයට පෙන්නන්න පුළුවන් සංගීතමය හැඳුනුම්පතක් අපට අත්‍යාවශ්‍යයි.


දේශීය ජන සංගීතයේ මුද්‍රාවක් බඳු වූ ලයනල් රන්වලයන්ගේ පුත්‍රයකු ලෙස ඔබ එතුමාව දකින්නේ කෙසේද?


කෙනෙකු වේදිකා නාට්‍යක සිංහයෙකුට රඟපානවා කියල කියන්නේ, සැබෑ ජීවිතයේ දී ඔහු සිංහයෙකු කියන එක නෙවෙයිනේ. නමුත් එතුමා,වේදිකාව තුළත්, ඔහුගේ නිරමාණ තුළත්, සැබෑ ලෝකයේත්, එතුමාගේ පවුල තුළත් එකම විදිහට තමයි ජීවත් වුණේ. දේශීය සංගීතයක් බිහිකිරීමේ උදාරතර පරමාර්ථය මුදුන්පත් කර ගැනීමේ අරමුණින් එතුමා කිසි විටෙක මිදුණේ නැහැ. එතුමා කළ කී සියලු දේ තුළ ඒ උත්කෘෂ්ඨ පරමාරථය තිබුණා.විටෙක, එතුමාගේ නිර්මාණශීලී හැකියාවන් පවා සීමා කර ගනිමින් මේ ජාතික මෙහෙවරට මිය යන තුරුම එතුමා ඇප කැප වී ක්‍රියා කළා.එතුමා වැනි යුග පුරුෂයෙකුගේ පුත්‍රයෙකු වීම පිළිබඳව මට ඇත්තේ උතුම් ප්‍රහර්ෂයක්.


ප්‍රියංවදා පෙරේරා

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
Previous Post Next Post