මම මේ දවස්වල වැඩිපුරම ඉන්නේ වේදිකාවේ -උමයංගනා වික්‍රමසිංහ

gossiplanka image 1
 

කටු ඉඹුල, ඉතින් ඊට පස්සේ, ජීවිතේ ලස්සනයි, නිසල සඳ ඔබ, පියවි, සුදු ඇඳගෙන කළු ඇවිදින්’ වැනි ටෙලි නිර්මාණවලින් ප්‍රේක්ෂකයන් අතර ට ආ උමයංගනා වික්‍රමසිංහ මේ දිනවල නම් වැඩිපුර දකින්න ලැබෙන්නේ වේදිකාව හරහා. ඒ එක්කම කාලයකට පසුව උමයංගනා වික්‍රමසිංහ සිනමාවෙන් දකින්නත් අවස්ථාව උදා වෙනවා. ඒ ‘මොණර විලක්‘ සිනමා නිර්මාණය හරහා. ඒ ගැන වගේම මේ දිනවල කලා කටයුතු ගැන කළ කතාබහයි මේ.



ඔබ රංගනයෙන් දායක වූ ‘මොණර විලක්‘ චිත්‍රපටය දැන් තිරයට ඇවිත්, ‘මොණර විලක්‘ සිනමා නිර්මාණයේ දී ඔබට රඟපාන්න අවස්ථාව ලැබෙන්නේ හෙළ නිළි රැජිනිය එක්ක, ඒ මතකය අවදි කළොත්?


මාලනී ෆොන්සේකා මහත්මිය මට මුලින්ම මුණගැහෙන්නේ එතුමිය අධ්‍යක්ෂණය කරපු ‘දෝනි‘ ටෙලි නාට්‍යයේදී. ඒ මීට වසර 20කට පමණ පෙර. ඇයත් සමඟ පසු කාලීනව දමයන්ති ෆොන්සේකා මහත්මිය අධ්‍යක්ෂණය කරපු නාට්‍යයේත් බොහොම සමීපව රංගනයෙන් දායක වෙන්න අවස්ථාව ලැබුණා. මොණරවිලක් සිනමාපටයෙන් මෑතකදි ඇයත් සමඟ වැඩ කරන්න ලැබීම ගැන මට ගොඩක් සතුටුයි.


අප අතරින් වෙන්වු දක්ෂ නළුවකු වන දර්ශන් ධර්මරාජ්වත් මේ සිනමාපටයේදි හමුවෙනවා. ඒ ගැන ඔබට දැනෙන්නේ කොහොමද?


දර්ශන් ධර්මරාජ් කියන්නේ අපට හිටපු දක්ෂ රංගන ශිල්පියෙක්. ඔහුගේ රංගනයත් දකින්න කැමති ප්‍රේක්ෂකයෝත් ‘මොණර විලක්‘ සිනමාපටය නරඹයි කියලා මම විශ්වාස කරනවා. දර්ශන් සමඟ අපට බොහෝම සුහදව කටයුතු කරන්න පුළුවන් වුණා.


‘මොණර විලක්‘ සිනමා නිර්මාණයේ සංගීත අධ්‍යක්ෂණය සිදු කරන්නේ විකටර් රත්නයකයන්, ගීත ගායනයෙන් ගීත කෝකිලාවිය ලතා වල්පොල හඬ මුසු වෙලා තියෙනවා. එවැනි නිර්මාණයකට ඔබටත් සම්බන්ධ වෙන්න ලැබීම ගැන මොකද හිතෙන්නේ?


එදා සිනමාව කිව්වම සංගීතයටත් හිමිවුණේ විශේෂ ස්ථානයක්. වික්ටර් රත්නායක මහත්මයාගේ හඬ, ලතා වල්පොල මහත්මියගේ හඬට තවමත් ප්‍රේක්ෂකයන් ආදරෙයි. ඒ ගීතවලට ආදරය කරන ප්‍රේක්ෂාගාරයක් තවමත් අපට ඉන්නවා. එවැනි චිත්‍රපටයකට දායක වෙන්න ලැබීම මට සතුටක්.


මේ වෙද්දී ඔබව දකින්න ලැබෙන වේදිකා නාට්‍යය නිර්මාණ මොනවද ?


උදයසිරි වික්‍රමරත්නයන් අධ්‍යක්ෂණය කළ 361 වේදිකා නාට්‍ය තමයි මේ දිනවල රට පුරා වේදිකාගත වෙන්නේ. එහි ගිහාන් ප්‍රනාන්දු ඇතුළු තවත් රංග ශිල්පීන් පිරිසක් සමඟ මමත් රංගනයෙන් දායක වෙනවා.


වේදිකාව තුළින් ජීවිතේට ලැබුණු දේ මොනවද ඇහුවොත් මොන වගේ උත්තරයක් ද දෙන්න තියෙන්නේ?


2016 චාමික හත්ලහවත්ත අධ්‍යක්ෂණය කළ ‘රජා මං වහලා‘ වේදිකා නාට්‍ය මට පුද්ගලිකව වෙනස් අත්දැකීමක් වුණා. ඒක අවුරුද්දක වැඩමුළුවක් අවසානයේ ආව ප්‍රථිඵලයක්. එය රංගනයට හොඳ අභ්‍යාසගතවීමක්. විශේෂයෙන්ම අපි ජීවිතේ දකින විදිය, අපේ මතය. අපේ දේශපාලනික කියවීම වගේ මේ හැම දෙයක්ම වේදිකා නිර්මාණයක් හරහා ප්‍රකාශන මාධ්‍යයක් කරගන්න වපසරිය වැඩියි කියලා මම විශ්වාස කරනවා.


මෑත කාලය වෙද්දී ටෙලි නාට්‍යවලට වඩා වේදිකාවේ වැඩිපුර රැඳෙන්න හිතුවේ ඇයි?


ඇත්තම කිව්වොත් මම දැන් ටිකක් විවේකයෙන් ඉන්න කැමතියි. මම ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු විස්සකට වැඩියි. දයා වයමන් මහතා සහ ගාමිණි සර් වගෙ ගුරුවරු යටතේ මුල් අවධියේත් වේදිකාව සහ විවිධ වැඩමුළු එක්ක සම්බන්ධ වුණා. ඊට පස්සේ ටෙලි නාට්‍ය හරහා ගොඩක් කාර්ය බහුල වුණා. ඒත් පසු කාලීනව නැවතත් විධිමත් විදියට වේදිකා නාට්‍ය හරහා ලංකාවේ විවිධ අධ්‍යක්ෂවරු යටතේ මට වැඩකරන්න ලැබුණා. චාලක රණසූරිය, චාමික හත්ලහවත්ත, උදයසිරි වික්‍රමරත්න, රාජිත දිසානායක, ප්‍රියංකර රත්නායක, ආරියවංශ ධම්මගේ වගේ විවිධ ශානරවල නිර්මාණවලට දායක වෙන්න ලැබුණා. මේ කාලයේදි ඇත්තටම සමහර වැඩ කරපු කාලවල මම කිසිම ටෙලි නාට්‍යයක් බාර ගත්තෙ නැහැ. ඒ වෙනුවෙන් මම අවුරුදු කිහිපයක්ම වැඩ කළා. මම හිතනවා ඒ කාලය මට ගොඩක් පලදායි වුණා කියලා. උදාහරණයක් විදියට මුල් අවධියේ අපි වැඩමුළුවලදි එක වාක්‍ය ඛණ්ඩයක් විවිධ හැඟීම් සහ හඬ වෙනස් කරමින් අභ්‍යාස කරනවා. නමුත් පසු කාලීනව තේරුම් ගත්ත කාරණය තමයි රංගනය කියන්නේ අපි හිතලා අපේ ටෝන් එක වෙනස් කරන එක නෙවෙයි, ඒක චරිතයේ ජීව දත්ත ටික සහ වපසරිය පිටිවහලක් වෙමින් අවබෝධ කරගත්ත චරිතය රූපනවේදියා වන මා හරහා නිරායාසයෙන්ම එළියට පැමිණෙන දේ පමණයි. මේ වගේ වෙනම රසායනයක් මට දැනෙන තැනක් බවට වේදිකාව පරිශීලනය සමඟ දැනෙන්න ගත්තා. රංගනය හරහා වෙනමම තෘප්තියක් විඳිමින් රංග කාර්‍යයේ නිරත වුණා. එය හුදු බාහිරය එහෙමත් නැත්නම් භෞතික කාරණා හෝ ප්‍රේක්ෂක ආකර්ෂණය මත නොවී මගේ මනස හරහා මා තෘප්තිමත් වීමක් බවට රංගනය මගේ ජීවිතය හරහා පත්වුණා. එතැනදි මනා පුහුණුවකින් පසුව වේදිකාව මත එක දිගට මනෝභාවයන් දිගහැරෙමින් මනා සංයමයකින් යන ගමන තව තවත් ආස්වාදජනක අත්දැකීමක් වෙනවා. එකිනෙකාට අනුව මේ කියන දේ සරලත් නැති සංකීර්ණත් නැති දෙයක් වෙන්න පුළුවන්.


ජනප්‍රියත්වය කියන දේ අද ඔබ දකින්නේ කොහොමද?


මේ මොහොතේ දැනෙන සිතුවිල්ලක් තමයි අපි ජීවත් වෙනවා කියන්නෙ, අපි එකිනෙකා ගනුදෙනු කරන්නේ අපිට දැනෙන හැඟීම් පවා එහෙමයි. සියල්ල එක විදියට පවතින්නෙ නෑ කියන කාරණය සහ වෙනස්වීම කියන ස්වභාවය අපි අවබෝධ කරගත්තොත් හරිම පහසුවෙන් ජීවත් වෙන්න පුළුවන්. එතැන තමයි සැබෑම සහනය නැත්නම් සතුට අත්විඳින්න ලැබෙන්නේ. ජනප්‍රියත්වය කියන්නෙත් ඒ හැමදෙයක් වගේම එක දෙයක් විතරයි.

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
Previous Post Next Post