මේ දිනවල අති සාර්ථකව විකාශය වන ජහුටා ටෙලි නාට්‍ය නරඹන ඔබට ‘කස්සා’ ගැන වගේම කොළඹ කට්ටිය හි ‘හිරන්ත‘ ගැන අමුතුවෙන් කිව යුතු නැහැ. තරුණ පරපුරේ නවක රංගන ශිල්පී අනුදිස කොඩිතුවක්කු තමයි මේ චරිත දෙකටම ජිවය දෙන්නේ.
මේ දවස්වල මොකද කරන්නේ?
දැනට විකාශය වන ටෙලි නාට්‍ය දෙකේ වැඩ කරනවා. එකක් ස්වරණවාහිනී නාළිකාවේ විකාශය වන ‘ජහුටා‘ නාට්‍යය. අනෙක දෙරණ නාළිකාවේ විකාශය වන ‘කොළඹ කට්ටිය‘ නාට්‍යය. ඒ වගේම දෙරණ ප්ලස් ඇප් එකේ වෙබ් සීරියස් එකක ඉන්නවා. ඉදිරියට එන්න තියෙන නිර්මාණ වල වැඩ කටයුතු වලත් ඉන්නවා. ඒ හැරුණම ඉගෙනීමේ කටයුතුත් කරනවා.
අනුදිසගේ පවුලේ විස්තර කොහොමද?
මගෙ ගම රත්නපුර. පවුලේ ඉන්නෙ අම්මා, තාත්ත, අක්කා සහ මම. අම්මා වෘත්තියෙන් ගුරුවරියක්. තාත්තා ප්‍රසිද්ධ පෞද්ගලික ආයතනයක කළමනාකරුවශයෙන් කටයුතු කරනවා. අක්කා රජරට විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියක්. මේ වෙද්දී මගෙ අක්කා විධායක ශ්‍රේණියේ නිලධාරිනියක් ලෙස සේවය කරනවා. මම පාසල් ගියේ රත්නපුර ශාන්ත ඇලෝසියස් ජාතික පාසලට. මේ වන විට පෞද්ගලික විශ්වවිද්‍යාලයක ඉංජිනේරු පීඨයේ ඉගෙනුම ලබමින් සිටිනවා.
ඔබට ජහුටා නිර්මාණයට දායක වෙන්න ලැබුණේ කොහොමද?
ජහුටා කියන්නේ මගේ පළමු නාට්‍යය. ඒක ඉම්පාස් ආයතනයෙන් කරන නිෂ්පාදනයක්. සද්ධා සර් දවසක් මට කිවුවා ‘කස්සා‘ කියන චරිතයක් තියෙනවා ඔඩිෂන් එන්න කියලා. ඒ අනුව තිර පරීක්ෂණවලට පෙනී ඉඳලා තමයි මට මේ චරිතය ලැබුණේ. මට කැමරාව කියන එක නුහුරු නැහැ. කලිනුත් කැමරාව එක්ක වැඩ කරලා තිබුණා. ටෙලි නාට්‍යයක මුලින්ම රඟපාන්නේ කස්සා කියන චරිතය. ඒකත් එක්ක බැලුවම ඉතාමත් උද්යෝගයෙන් මම කැමරාවට මුහුණ දුන්නා. ඒ ගැන සතුටුයි.
එතකොට කොළඹ කට්ටියට සම්බන්ධ වුණේ කොහොමද?
කොළඹ කට්ටියට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙන්නේ ඉම්පාස් ආයතනය හරහාම තමයි. සද්ධා සර් නිසයි කොළඹ කට්ටිය නාට්‍යයට සම්බන්ධ වෙන්න ලැබුණේ. සද්ධා සර්ට වගේම චේතනි මිස්ටත් ගොඩක් ස්තුතිවන්ත වෙන්න ඕනේ.
කස්සා තුළ ද හිරන්ත තුළ ද වැඩියෙන් අනුදිසගේ ලක්ෂණ තියෙන්නේ?
කස්සා සහ හිරන්ත ගත්තම ඒ චරිත දෙක තුළම එක හා සමාන ලක්ෂණ කිහිපයක් තියෙනවා. හැබැයි හිරන්තට තව වෙනස්කම් ටිකක් එකතු කරලා තියෙනවා. පොඩි ලොකු කමක්, පැණි පාටක් ඒ වගේ ආදරණිය බවක් හිරන්ත තුළ තියෙනවා. මගේ ඇත්ත ජීවිතේට සමාන චරිතයක් තමයි කස්සා කියන්නේ. කස්සා ගැන මට මුලින්ම සද්ධා සර් කිවුවම සහ පිටපත කියෙව්වම මගේ ජීවිතේට සමාන මගේ හැසිරීම්වලට සමාන ලක්ෂණ කිහිපයක් තිබ්බේ. මම මේ චරිත දෙකම එක හා සමානව ආදරෙන් කරගෙන යන්නේ ඒ ඒ චරිතවලට උපරිම සාධාරණයක් ඉෂ්ට කරන්න උත්සාහ කරනවා.
අනුදිසව ප්‍රේක්ෂකයන් අතරට වඩාත් අරන් ගිය චරිතේ මොකක්ද?
මේ දවස්වල මාව ගොඩක් කට්ටිය දන්නේ කසුන්, හිරන්ත සහ රමිල කියන නම් තුනෙන්. හැබැයි ජනතාව අතරට මාව අරන් ගියේ ජහුටා නාට්‍යයේ කස්සා කියන චරිතය. ඒ චරිත ලියවෙන විදිහ එක්ක කසුන් බොහොම පරිස්සමෙන් මොළේ කල්පනා කරලා වැඩ කරන විදිහ එක්ක හරිම ආදරෙන් ප්‍රේක්ෂකයින් වැලඳ ගෙන තියෙනවා. කසුන් චරිතයට පණ පොවන්න ලැබුණු එක මගේ වාසනාවක්. කසුන් නිසා මම ප්‍රේක්ෂකයෝ අතරට ගියා.
රංගනය හිතුව තරම් පහසු දෙයක් ද?
රංගනය විතරක් නෙවෙයි ඕනෑම ක්ෂේත්‍රයක් හෝ රැකියාවක් ගත්තම අපි ඒ දේ කරන්නේ ආසාවෙන් හෝ කැමැත්තෙන් නම් දෙයක් කර ගන්න පහසුයි. මම රංගනයට ගොඩක් ආස කෙනෙක්. මම රංගනය හදාරමින් ඉන්නවා. දවසින් දවස දේවල් ඉගෙන ගෙන යන ගමනක්. මේ ගමන පහසු නැහැ, නමුත් මම ඉතාම කැමැත්තෙන් තමයි රංගනයට එන්නේ.
ඉදිරියට එන්න තියෙන නිර්මාණ මොනවද?
මේ දිනවල වෙබ් සීරියස් එකකට සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ එක්කම අලුත් චිත්‍රපටයකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඒ දේවල් එක්ක මියුසික් වීඩියෝ සහ ෆොටෝ ෂූට් කරගෙන යනවා.
කලාවට එද්දී ගෙදරින් ලැබුණු සහයෝගය කොහොමද?
කලාවට එද්දී ගෙදරින් ලැබුණු සහයෝගය මට ලොකු ශක්තියක් වුණා. මම ආස දෙයක් නිසා සහ මේ අංශයෙන් මට ගමනක් යා හැකියි කියලා එයාලට දැනෙන නිසා හැම අතින්ම හොඳ සහයෝගයක් දුන්නා.
ප්‍රේක්ෂක ආදරේ කොහොමද දැනෙන්නේ?
ප්‍රේක්ෂක ආදරේ සෑහෙන්න දැනෙනවා. චරිතවල නම් වලින් අපිව හඳුනාගෙන ඒ ආදරේ ප්‍රකාශ කරද්දී දැනෙන සතුට හරිම ආදරණීයයි. අපිව මුණගැහෙන තැන්වලදී කතා කරන දේවල්, එයාලා අපේ රංගනය දකින විදිහ සහ අපි එක්ක ෆොටෝ ගන්න එක මාරම දෙයක්. ඒක මට දැනුණේ රංගනයට ආවට පස්සේ. ඒ දේ ලබන්න පුළුවන් වෙන්නේ කලාකරුවෙක්ටම තමයි. ඒ වෙලාවට දැනෙන හැඟීම කියා ගන්න බැරි තරම් ආදරණීයයි.
හෙට දවස ගැන මොනවද තියෙන බලාපොරොත්තු?
මගේ උපාධිය සම්පූර්ණ කර ගන්න එක තමයි මුල්ම බලාපොරොත්තුව. අනෙක තමයි රංගන ශිල්පියෙක් විදිහට ගමනක් යන එක. මගේ ලොකුම හීනයක් තියෙනවා කවදාක හරි හොඳම නළුවා සම්මානය ගන්න. ඒ හීනේ වෙනුවෙන් මම මහන්සි වෙනවා, කැපවෙනවා.