මේ දිනවල බොහෝදෙනාගේ කතාබහට ලක් වෙමින් සමාජ මාධ්‍යයේ ද වයිරල් වී ඇති වීඩියෝවක් ලෙස ‘රැඳුණා’ හඳුන්වා දිය හැකියි. එහි ප්‍රධාන භූමිකා ද්විත්වයේ තරුණියගේ චරිතය නිරූපණය කරනුයේ රංගන ශිල්පිනියක මෙන්ම මෝස්තර නිරූපණ ශිල්පිනියක ද වන දිල්හාරා පතිරගේ ය. මෙම වීඩියෝව දැඩි කතාබහට ලක්වෙමින් නැරඹුම් වාර වේගයෙන් පසු කරමින් සිටියි. එකී රූප රචනාව ගැනත් සිය කලාදිවිය ගැනත් කතා කිරීමට දිල්හාරා පතිරගේ මෙසේ සරසවිය හා එක්වූවාය.
ඔබේ අලුත්ම රංගනය ඇතුළත් ‘රැඳුණා’ මියුසික් වීඩියෝව මේ දිනවල ඉතා ජනප්‍රියයි නේද ?
ඔව්, ඇත්තෙන්ම ‘රැඳුණා’ කියන්නේ ලංකාවේ සාම්ප්‍රදායික රාමුවෙන් මිදුණු තරමක් වෙනස්, නිර්භීත , උණුසුම් නිර්මාණයක් කීවොත් නිවැරදියි. මෙහි මගේ රංගනය සහ ඇඳුම් විලාසිතා පිළිබඳ සමාජය තුළ යම් කතාබහක් වගේම විවේචනයකුත් ඇතිවෙලා තිබෙනවා . රංගන සහ නිරූපණ ශිල්පිනියක් වශයෙන් හැමදාම එකම රාමුවට කොටු නොවී වෙනස්ම අත්හදාබැලීමක් කිරීමට මා හට ලද අවස්ථාවක් ලෙසයි මේ මියුසික් වීඩියෝව මා නම් දකින්නේ .
කොහොමද මෙයට ආරාධනා ලැබුණේ ?
මේ සඳහා මට මුලින්ම ආරාධනා කළේ ෂෝන් කුමාරනායක අයියා. මේ තේමාව ගැන කියද්දි මට මුලින්ම බයක් , දෙගිඩියාවක් ඇතිවුණා . මෙවැනි නිර්මාණයක් භාරගත් පළමු අවස්ථාවක් මේකයි . ‘රැඳුණා’ කියන්නේ මගේ පළමු මියුසික් වීඩියෝව. මෙය සාර්ථකව කරගන්න හැකි වේවිද යන සිතුවිල්ලත් මගේ ඔළුවේ තිබුණා . එහෙත් පසුව මම ඒ අභියෝගය භාරගන්න තීරණය කළා
මෙහි රඟපෑමේදී අනෙකුත් ශිල්පීන්ගෙන් ලද සහය මොනවගේද ?
මෙහි මාත් සමඟ ප්‍රධාන චරිතයෙන් දායක වන්නේ ක්ෂේත්‍රයේ සිටින ජනප්‍රිය , දක්ෂ රංගන ශිල්පියකු වන නාලක දලුවත්ත අයියා . ඔහුයි මමයි පමණයි මෙහි රඟපාන්නේ. මෙවැනි නිර්මාණයකට මම දායක වන පළමු අවස්ථාව නිසා මුල්ම දර්ශනවලදී ඔහු වැන්නකු සමඟ රංගනයේ යෙදෙන්න මට සුළු චකිතයක් ඇති වුණා . ඔහු ඉතා සුහදශීලියි. ළඟින්ම ඇසුරු කරන්න පුළුවන් යාළුවෙක් වගේ වැඩ කරන්න පුළුවන් කෙනෙක් . එනිසා මට රංගනයේදී තිබූ බය නැති කරගෙන මනා අවබෝධයකින් යුතුව නිර්මාණයට උපරිම සාධාරණය ඉටුකරන්නත් නාලක දලුවත්‍ත අයියාගෙන් ඉතා විශාල සහයක් ලැබුණා . ඔහු වැන්නකු සමඟ වැඩ කරන්න ලැබීම ගැන මම සතුටු වෙනවා .
අධ්‍යක්ෂ- කැමරා ශිල්පී ඇතුළු පිරිසගෙන් ලද සහය මොනවගේද ?
මේ අධ්‍යක්ෂ දිනිඳු දිසානායක අයියා . ඒ වගේම කැමරා අධ්‍යක්ෂණය කරන්නේ Studio Dream Place හි සජිත් චාමර අයියා . සාම්ප්‍රදායික රාමුවෙන් මිදුණු මෙවැනි නිර්මාණයකදී රංගන ශිල්පිනියකට උපරිම නිදහසින් සහ පහසුවෙන් හැසිරිය හැකි වෘත්තියමය වටපිටාවක් නිර්මාණය කර දීම ඉතා වැදගත් . ඒ අතින් මේ නිෂ්පාදන කණ්ඩායම මට ලබා දුන් සහයෝගය සහ ඒ ඇති කළ විශ්වාසවන්තභාවය විශිෂ්ටයි . කිසිම චකිතයකින් තොරව මගේ උපරිම දායකත්වය නිර්මාණයට ලබාදෙන්න ඔවුන් මට විශාල ශක්තියක් වුණා .
‘රැඳුණා’ට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර මොනවගේද ?
මෙයට ඉතා ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබෙනවා සහ ලැබෙමින් පවතිනවා . සාම්ප්‍රදායික නාමයෙන් මිදී කළ නිර්මාණයක් නිසා සමාජ මාධ්‍යයෙන් විවිධ මට්ටමේ විවේචනත් එල්ල වෙනවා . ඒ විවේචන මධ්‍යයේ වුවත් මෙවැනි වෙනස් දෙයක් සහ වෙනස් අත්හදාබැලීමක් සිදුකිරීම ගැනත් , මගේ රංගනය ගැනත් බොහෝ අය මට පෞද්ගලිකව සුබ පතනවා . ඕනෑම නිර්මාණයකට හොඳ සහ නරක ප්‍රතිචාර අඩු වැඩි වශයෙන් ලැබීම සාමාන්‍ය දෙයක් .
මෙහි ඇතැම් දර්ශන ඔබට අභියෝගයක් වුණේ නැද්ද ?
මම මීට පෙර කැමරාව ඉදිරියේ කටයුතු කළෙත් මියුසික් වීඩියෝ ක්ෂේත්‍රයේ මගේ පළමු අත්දැකීම වුණේ මෙයයි . මෙහි එන විලාසිතා අනුව රංගනයේ යෙදීම මට තරමක අභියෝගයක් වුණා තමයි . ඒ විලාසිතාවන් මගේ සිරුරට කොතරම් ගැළපෙනවාදැයි සහ චරිතයට මගෙන් උපරිම සාධාරණයක් ඉටුවේද යන චකිතය මුලින්ම මගේ සිතට ආවා . එහෙත් නිර්මාණයේ හැඩය හඳුනාගෙන, නිෂ්පාදන කණ්ඩායමේ සහයෝගයත් සමඟ ඒ අභියෝගයට මට සාර්ථක මුහුණදිය හැකි වුණා .
මීට අමතරව දිල්හාරා රංගනයෙන් දායක වූ නිර්මාණ මොනවාද ?
‘රැඳුණා’ නිර්මාණය තමයි මගේ පළමු මියුසික් වීඩියෝ රංගනය .මම නිරූපණ ක්ෂේත්‍රයේයි වැඩිපුරම වැඩ කරලා තිබෙන්නේ. ඊට අමතරව වෙළෙඳ දැන්වීම් සහ ඉදිරියේදී තිරගත වීමට නියමිත චිත්‍රපටයකටත් රංගනයෙන් දායක වුණා
අද මෙරට මියුසික් වීඩියෝ කලාව තිබෙන තැන ගැන ඔබේ අදහස කවරාකාරද ?
මා දකින විදිහට අද මියුසික් වීඩියෝ කලාව තාක්ෂණික සහ ගුණාත්මක බවින් බොහෝ ඉදිරියට පැමිණ තිබෙනවා . අලුත් පරපුරේ නිර්මාණකරුවන් ඉතා දක්ෂයි . ඔවුන් ජාත්‍යන්තර මට්ටමේ නිර්මාණ කිරීමට ලොකු උත්සාහයක් ගන්නවා . එසේම අද සාම්ප්‍රදායික රටාවෙන් මිදී එකිනෙකට වෙනස් විවිධාකාර සංකල්ප ඔස්සේ නිර්මාණ බිහිවෙමින් තිබෙනවා . අද මෙරට දක්ෂ අධ්‍යක්ෂවරුන් වගේම රංගන ශිල්පීන් ශිල්පිනියන් ද සිටිනවා . මියුසික් වීඩියෝ කලාවට ඉදිරියේදී හොඳ ගමනක් යන්න පුළුවන් වේවි කියන ධනාත්මක විශ්වාසය මට තිබෙනවා.
කොහොමද රංගනයට අවතීර්ණ වුණේ ?
මම මුලින්ම මේ ක්ෂේත්‍රයට එන්නේ නිරූපණ ශිල්පිනියක් විදිහටයි . එහිදී මට මුලින්ම අවස්ථාව ලබා දෙන්නේ අශී පෙරේරා නැමැති ඡායාරූප ශිල්පියායි . ඔහු මාව මුලින්ම මොඩ්ලින් ෂූට් එකකට සම්බන්ධ කරනවා . ඒ ෂූට් එක තමයි මගේ මේ ගමනේ මුල්ම ආරම්භය වුණේ .
පාසල් කාලයේත් කලා කටයුතුවල යෙදුණාද?
පාසලේදී කලා කටයුතුවලට සම්බන්ධ වුණා . පාසලේදී විෂයයක් ලෙස හැදෑරුවේ නර්තනය. පාසල් වේදිකා නාට්‍යවලටත් රංගනයෙන් දායක වුණා .
රංගනයට ආරාධනා ලදවිට සලකා බලන විශේෂ කරුණු වේද ?
ඔව්, මම ප්‍රධාන වශයෙන් කරුණු කිහිපයක් ගැන සැලකිලිමත් වෙනවා. මුලින්ම බලන්නේ මට ලැබෙන චරිතය ගැනයි. එයට උපරිම සාධාරණයක් ඉටු කළ හැකිද, එය මගේ රංගන පරාසයට ගැළපෙනවාද කියන දේ මුලින්ම බලනවා. ඒ චරිතය මගේ පෞද්ගලික ප්‍රතිරූපයට කොතරම්දුරට ගැළපේද වගේම නිර්මාණය ප්‍රේක්ෂකයා අතරට ගියාම ලැබෙන ප්‍රතිචාර මොන වගේද කියන දේ ගැනත් සැලකිලිමත් වෙනවා. ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැලඳගන්න , උපරිම සාධාරණයක් ඉටු කළ හැකි නිර්මාණයක් කියලා සිතුණොත් පමණක් මම ඒ නිර්මාණය භාර ගන්නවා. එකම රාමුවට කොටු නොවී විවිධ චරිත තුළින් ප්‍රේක්ෂකයා අතරට ඒමට මම කැමැත්තෙන් ඉන්නවා.
රංගනයේදී සීමා මායිම් තිබෙනවාද ?
රංගන සහ නිරූපණ ශිල්පිනියක් විදිහට මම මටම කියා විශේෂ සීමාවන් පනවාගෙන නැහැ. මම පෞද්ගලිකව දරන මතය තමයි කලාකාරිනියක් වුණාම ඕනෑවට වඩා සීමාමායිම්වලට කොටු නොවී, ඕනෑම අභියෝගාත්මක චරිතයක් සාර්ථකව නිරූපණය කිරීමට හැකි විය යුතුයි කියන දේ . එනිසා මගේ වෘත්තිය මට්ටම රැකෙන ගුණාත්මක ඕනෑම චරිතයකට සහ අධ්‍යක්ෂවරයාගේ දැක්මට උපරිම සාධාරණත්වයක් කරන්න මම සැමවිටම සූදානමින් සිටිනවා . චරිතයකට මට උපරිම සාධාරණය කළ හැකිනම් මම ඒ චරිතය භාරගන්නවා.
ටෙලිනාට්‍ය-චිත්‍රපට රංගනයට ආරාධනා ලැබුණේ නැද්ද ?
ටෙලිනාට්‍ය, චිත්‍රපටවලට ආරාධනා ලැබුණා. එහෙත් මම ඒ නිර්මාණවලට සෘජුවම දායකවෙන්න පටන් ගත්තේ නැහැ. ඉදිරියේදී ඒ ආරාධනා ගැන සලකා බලා ඉතා හොඳ නිර්මාණ ඔස්සේ රංගනයෙන් දායක වීමට බලාපොරොත්තු වෙනවා
ගායනය හා නර්තනය ආදී අංශවලට නැඹුරුව කෙසේද ?
පාසල් සමයේදී නර්තනය විෂයක් ලෙස හැදෑරුවා. ඒ නිසා නර්තන අංශයට මගේ දක්ෂතාවක්, නැඹුරුවක් තිබෙනවා. ඒත් මගේ කැමැත්ත තිබෙන්නේ රංගන ක්ෂේත්‍රයට. ගායනයට මගේ විශේෂ නැඹුරුවක් හෝ දක්ෂතාවක් නෑ
අනාගත බලාපොරොත්තු වීමත් ඇති ?
රංගන ශිල්පිනියක් මෙන්ම මෝස්තර නිරූපණ ශිල්පිනියක් ලෙස මේ ක්ෂේත්‍රයේ ඉහළට යෑමට මගේ බලාපොරොත්තුවක් තිබෙනවා . එසේම ප්‍රේක්ෂකයාට මතක හිටින විදිහේ එකිනෙකට වෙනස් අභියෝගාත්මක චරිත නිරූපණයට මං බලාපොරොත්තු වෙනවා. මගේ මූලික ආරමුණ ක්ෂේත්‍රය තුළ ගුණාත්මක සහ දක්ෂ රංගන ශිල්පිනියක් ලෙස ප්‍රේක්ෂකයන්ගේ උපරිම ආදරය වගේම ගෞරවය දිනා ගත් කෙනකු වීමයි.
ඉදිරි නිර්මාණ ගැන සිහි කළොත් ?
ඔව්, නිර්මාණ කිහිපයකටම ආරාධනා ලැබී තිබෙනවා . ඒ අතරින් මගේ රංගන පරාසය හොඳීන්ම පෙන්විය හැකි, ප්‍රේක්ෂකයාට වෙනස් අත්දැකීමක් ලබාදෙන හොඳ නිර්මාණ කිහිපයක් තෝරාගෙන ළඟදීම ඒ නිර්මාණ හරහා ප්‍රේක්ෂකයා හමුවීමට සූදානමින් ඉන්නවා.
තාරුණ්‍යයේ සිටින ඔබ ප්‍රේමවන්තියක්ද ? ආදරය ගැන ඔබේ පෞද්ගලික අදහස දැනගන්න කැමැතියි ?
නැහැ, මම දැනට ප්‍රේමවන්තියක් නෙමෙයි. මම විශ්වාස කරනවා මේ අවස්ථාවේ තවත් බැඳීමක් ඇතිකරගෙන ක්ෂේත්‍රයේ ඉදිරි වැඩ කටයුතු සාර්ථකව කරගෙන යන්න අමාරුයි කියලා. ඒ නිසා මගේ සම්පූර්ණ අවධානය සහ කාලය වෙන්කර තිබෙන්නේ කලා කටයුතු වෙනුවෙන් . ආදරය ගැන මගේ පෞද්ගලික අදහස කීවොත් ජීවිතයට නිවැරදි කෙනා මුණගැසුණොත් ආදරය කියන්නේ හරිම සුන්දර දෙයක් . එසේම එය තමන්ගේ ඉදිරි ගමනට ලොකු ශක්තියක්. හැබැයි ඒ සියල්ලටම වඩා මේ මොහොතේ මගේ ගමන සහ අරමුණ වැදගත්
පවුලේ විස්තර සහ ඔවුන්ගෙන් අපේ කලා දිවියට ලැබෙන සහය මොනවගේද ?
මගේ ගමන පිටුපස සිටින ලොකුම ශක්තිය තමයි මගේ පවුල. ඒ මගේ අම්මා, තාත්තා සහ නංගිලා දෙන්නා. කලාකටයුතුවලදී එයාලගෙන් ලැබෙන සහය මට වචනයෙන් කියන්න බැරි තරම් ලොකු දෙයක් . මම ජීවිතයේ කඩා වැටුණු, අධෛර්යවත් වුණු අවස්ථාවල මාව ආදරයෙන් වැලඳගෙන නැවත නැගිට්ටවන්නේ මගේ පවුලේ අයයි . ඒ නිසා මගේ මේ සෑම සාර්ථකත්වයකම ගෞරවය ලබාදෙන්නේ මගේ ආදරණීය පවුලටයි . අවසන් වශයෙන් මට මේ ගමන යෑමට , මට ඉදිරියට යන්න සහාය වුණු සියලු දෙනාට මං බොහෝ සෙයින් ස්තුතිවන්ත වෙනවා මාව මෙතරම් දුර රැගෙන ආවට.