දිනපු හැමෝම තාප්පෙන් පැනලා තියෙනවා -ධනංජය සිරිවර්ධන

gossiplanka image 1
 


ධනංජය සිරිවර්ධන නම මේ දිනවල පුංචි තිරයේ මෙන්ම රිදී තිරයේද නැවත ඇසෙන්නට පටන් ගෙන ඇත. ‘තාප්පෙන් පැන්නා’ නමින් වෙනස්ම ශානරයේ ටෙලි නිර්මාණයක් පුංචි තිරයට තිළිණ කරන ඔහු සුරංග ද අල්විස්ගේ ‘Room No 106‘ සිනමාපටයේ සහන් නමැති අභීත පොලිස් නිලධාරියා ලෙසින් අභියෝගාත්මක රංගනයක නියැළෙයි. ‘මදර් ලංකා‘ සිනමාපටයේ සත්‍යා ලෙසින් පසුගිය වසරේ ප්‍රේක්ෂක ඔබේ ආදරය ඉහළින්ම දිනාගත් ධනංජය ‘ඉරගිනි මද්දහන‘ ටෙලි නිර්මාණයේ බණ්ඩාර ලෙසින් අමතක නොවන රංගනයක නියැළුණේය. දක්ෂ රංගන ශිල්පියකු මෙන්ම දක්ෂ අධ්‍යක්ෂවරයකු ලෙසද කලා ක්ෂේත්‍රයේ නමක් දිනා සිටින ඔහු කලා දිවියේ අත්දැකීම් බෙදාගන්නට අප හා එක්වීය.



ධනංජය මේ දිනවල සිනමාවේ වගේම ටෙලිවිෂනයේත් ප්‍රබලව කතාබහට ලක්වන චරිතයක් වෙලා. කොහොමද සිනමාවේ අත්දැකීම්?


මේ දිනවල ඉතාම සාර්ථකව තිරගත වන ‘Room No 106‘ කියන්නේ සුරංග ද අල්විස්ගේ සිනමා නිර්මාණයක්. තිරරචනය සුනෙත් මාලිංග ලොකුහේවාගේ. පසුගිය කාලයේ ලංකාවේ සිදුවුණු සත්‍ය සිදුවීමක් පාදක කරගෙන නිර්මාණය වුණු මේ සිනමාපටයට මට ආරාධනා කරන්නේ අධ්‍යක්ෂ සුරංග. හොඳ සිනමා නිර්මාණයකට දායක වෙන්න ලැබීමේ සතුටක් එක්ක මේ දිනවල ප්‍රේක්ෂක ප්‍රතිචාර විඳිමින් ඉන්නවා.


මෙය සත්‍ය සිදුවීමට එහා ගිය නිර්මාණාත්මක අත්දැකීමක් කියන්නත් පුළුවන්. ප්‍රතිචාර ගැන කතා කරනවා නම්?


දකින විදිහ අනුව මේ සිනමාපටයට විවිධ අර්ථකථන දෙන්න පුළුවන්. නමුත් ‘Room No 106‘ සිනමාපටය ඔස්සේ කියවෙන්නේ මේ තිරපිටපත් රචකයාගේ, අධ්‍යක්ෂවරයාගේ සහ නිෂ්පාදක කණ්ඩායමේ සිතුවිල්ල. බලන කෙනාට වෙන විදිහට හිතෙන්න පුළුවන්. ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර එක්ක බැලුවොත් මිනිස්සු මේ නිර්මාණාත්මකබවට ගොඩක් කැමැතියි. ඒ සිදුවීම දිහා අලුත් කෝණයකින් බලපු එක ගැන ඔවුන් සතුටුයි. ඔවුන්ටත් ඒ ගැන විවිධ අදහස් තියෙනවා. සත්‍ය සිදුවීමකට වෙනස්ම අර්ථකථනයක් දීම සාර්ථක උත්සාහයක් කියලා මමත් හිතනවා.


තිරපිටපත අතට ලැබුණම මොකද හිතුණේ?


සත්‍ය සිදුවීමක් ඇසුරින් කරන නිර්මාණයක් නිසා වෙනස් අත්දැකීමක් වේවි කියලා හිතුණා. වගකීම කියන එක ඕනෑම නිර්මාණයකට දායක වෙද්දි තියෙනවනේ. ඒත් එක්කම හොඳ වැඩක් කරමු කියන බලාපොරොත්තුව තමයි අපි හැමෝටම තිබුණේ. ඒක අපිට කරගන්න පුළුවන් වුණා කියලා හිතනවා.


සහන් කියන පොලිස් නිලධාරියාගේ අත්දැකීම දැනුණේ කොහොමද?


සහන් කියන්නේ ඒ විමර්ශනයට සහභාගී වන පොලිස් නිලධාරියා. අපි දැක්කෙ නැති වුණාට සත්‍ය සිදුවීමේදීත් ඒ වගේ දක්ෂ පොලිස් නිලධාරියෙක් ඉන්න ඇති. ඔහුට ඒ කාර්ය හරියට කරගන්න බැරිවීමට හේතුව තමයි මේ සිනමාපටයෙන් පෙන්නන්නේ. ඒ නිලධාරියාට ඒ කාර්යය හරිහැටි කරගන්න බැරි වුණේ ඇයි කියලා දැනගන්න ‘Room No 106‘ බලන්න එන්න කියලා ආරාධනා කරනවා.


මේ දිනවල පුංචි තිරයේ කාගේත් කතාබහට ලක්වෙලා තියෙන ‘තාප්පෙන් පැන්නා’ ඔබේ අධ්‍යක්ෂණයක්. කොහොමද ඒ අත්දැකීම?


‘තාප්පෙන් පැන්නා‘ කියන්නේ සාමාන්‍යයෙන් අපි එදිනෙදා දකින කතාවලට වඩා වෙනස් මාතෘකාවක් ඔස්සේ ලියවුණු තිරපිටපතක්. රූපරාමුවල ඉඳන්ම සාමාන්‍ය කතාවකට වඩා වෙනස් ආකෘතියක් තියෙනවා. ලැබෙන ප්‍රතිචාරත් වෙනස්. දැනට කොටස් ගණනාවක් විකාශය වෙලා තියෙනවා. හැමෝම ඉල්ලන්නේ වෙනස් අත්දැකීමක්. අන්න ඒ වෙනස් අත්දැකීම තමයි මේ දීලා තියෙන්නේ.




තාප්පෙන් පනින්න එක්වුණු කණ්ඩායමත් මතක් කරමු?


‘තාප්පෙන් පැන්නා‘ කියන්නේ මායි චාමර ප්‍රසන්න කොඩිතුවක්කු කියන තිරපිටපත් රචකයායි බොහෝ කාලයක් සාකච්ඡා කරලා කරපු ටෙලි නිර්මාණයක්. තිරපිටපත ඔහුගේ. නිෂ්පාදනය චාමර සමරවික්‍රමගේ. ඒ වගේම කැමරා අධ්‍යක්ෂණයෙන් මංජුල කුමාරතුංග, සංස්කරණයෙන් මනේෂ් ප්‍රමුදිත, කලා අධ්‍යක්ෂණයෙන් දිලීප, සහාය අධ්‍යක්ෂණයෙන් දිනේෂ් හග්ගල්ල, නිෂ්පාදන කළමනාකරණයෙන් රනුක, වේෂ නිරූපණයෙන් උහාන් ඕවිට දායක වෙනවා. රංගනයෙන් උදාරි වර්ණකුලසූරිය, අභිෂේක් ප්‍රමුදිත, පියුමාලි එදිරිසිංහ, වින්සන්ට් ගුණරත්න, මානෙල් වීරමුණි, උද්දික ජයරත්න, යශෝධා විමලධර්ම, ධනූ සින්නතම්බි, නුවන් ජුඩ් ලියනගේ, රාධිකා ගුණවර්ධන ඇතුළුව අලුතෙන් හඳුන්වාදෙන දේව් සහ මනෝහාරී ඇතුළු කිහිප දෙනෙකුත් ඉන්නවා. පරණ අයයි අලුත් අයයි එකතු වෙලා කරන නිර්මාණයක් කිවුවත් හරි.


තාප්පෙන් පැන්නා සාමාන්‍ය ප්‍රේක්ෂකයාට තරමක් සංකීර්ණ අත්දැකීමක් නේද?


ඔව්. මේක සාමාන්‍ය නිර්මාණයක් නෙවෙයි. මගේම ‘සිදාදියේ සමනලියෝ‘ ගත්තොත් සාමාන්‍ය එදිනෙදා ජීවිතයේ හමුවන චරිත කිහිපයක් ඇසුරින් තමයි කතන්දරය නිර්මාණය වෙලා තියෙන්නේ. නමුත් මං ඊට කලින් ලියපු ‘Number 9‘ වගේම චාමරගේ ‘තාදී, භවාන්තර, ප්‍රාණ‘ වගේ නිර්මාණ සංකීර්ණයි. හිතන්න යමක් තියෙනවා. අර වගේ සරල කතා තේමාවන් වගේම මේ වගේ ශානරත් තියෙන්න ඕන කියලයි මට හිතෙන්නේ. හැමදාම එකම කතාව, එකම විදිහට, එකම නළුනිළි කණ්ඩායම එක්ක බලනවට වඩා වෙනස් විදිහට දකින්න මිනිස්සු කැමැතියි. එක කොටසක් බලලා මුළු කතාවම තේරුම් ගන්න පුළුවන් ජාතියේ නාට්‍යයක් නම් නෙවෙයි මේක. මේක යථාර්ථවාදී කතාවක් නෙවෙයි. මේක ප්‍රබන්ධයක්. ටීවී සීරීස් බලපු අයට ප්‍රබන්ධ බලපු අයට මේක හොඳ අත්දැකීමක් වේවි කියලා හිතනවා. එපිසෝඩ් කිහිපයක් මඟහැරලා ඊළඟ එක බලලා අල්ලගන්න පුළුවන් විදිහේ කතාවකුත් නෙවෙයි මේක. ඒ නිසා දිගටම බලන්න කියලා මං ආරාධනා කරනවා. සරල රසවින්දනය අතරේ ඉඳහිට මේ වගේ එකක් ගැන හිතන්නත් ප්‍රේක්ෂකයා පුරුදු කරන්න ඕන. මේ වෙනුවෙන් කාලය යොදවන්න ඕන. වෙන රටවල ගත්තොත් ඔවුන් වෙන වෙන වැඩ කරන ගමන් නාට්‍ය රසවිඳින්නෙ නැහැ. ඔවුන් ඒ වෙනුවෙන් කාලය යොදවනවා. අපේ රටෙත් එහෙම පිරිසක් ඉන්නවා. ඉඳහිටවත් හැමෝටම ඒ වගේ රසවින්දනයකුත් ලබාදෙන්න ඕන. තාදී ගත්තත්, Number 9 ගත්තත් මොකද වුණේ කියන එක හරියටම තේරෙන්නේ අවසානයේ. සරල රසවින්දනය වගේම මේ වගේ සංකීර්ණ නාට්‍යත් තියෙන්න ඕන කියලයි මං හිතන්නේ.


‘තාප්පෙන් පැන්නා‘ කියන නම සරල වුණාට ඇතුළේ තියෙන්නෙ සංකීර්ණ කතාවක්. ඇයි ඒ වගේ නමක් දැම්මේ?


ඒක මම මුල ඉඳන්ම හිතපු නමක්. අපි හැමෝගෙම වටේ තාප්පයක් තියෙනවා. අපි දකින දේවල් විතරක් හොඳයි කියලා විශ්වාස කරගෙන අපි ඒ තාප්පෙට කොටුවෙලා ඉන්නවා. නමුත් එක්තරා දවසක් එනවා එක්කෝ අපි මේ තාප්පේ විනිවිද යන්න ඕන. එහෙම නැත්නම් අපි මේ තාප්පේ කඩාගෙන යන්න ඕන. එහෙමත් නැත්නම් අපි මේ තාප්පෙන් පනින්න ඕන කියලා තීරණයක් ගන්න වෙන. තාප්පය කියන්නේ බවුන්ඩ්‍රීස්. ‘ලිමිට් එක පැන්නහම චේන් එක පැන්නා…. චේන් එක පැන්නහම තාප්පෙන් පැන්නා‘ කියලා මේකෙ තේමා ගීතයේම කියැවෙනවා. ලෝකෙ දිනපු කවුරුහරි ඉන්නවානම් එයා තාප්පෙන් පැනලා තියෙනවා. තාප්පෙන් පැනපු හැමෝම දිනන්නෙ නැති වුණාට දිනපු හැමෝම තාප්පෙන් පැනලා තියෙනවා. ඉංග්‍රීසියෙන් කියන්නේ out of the box කියලා. උපදෙසක් විදිහට මම හැමෝටම කියනවා වෙනස් විදිහට හිතන්න කියලා. අන්න ඒ විදිහට හිතපු කතාව තමයි මේ.


පත්තර මල්ලිටත් තාප්පෙන් පනින්න අවස්ථාවක් ලැබිලා තියෙනවා නේද?


ඔව්. පත්තර මල්ලී නමින් ජනප්‍රිය නුවන් ලියනගේ වගේම ජෝර්ජ් සැමුවෙල්ස් කියන මාධ්‍යවේදියාත් මෙහි රඟපානවා. නුවන් කරන්නේ පත්තර මල්ලී කියන චරිතයමයි. ඒ ඔහු අවුරුදු 15ක් තිස්සේ හදාගත්ත සන්නාමය. මේක ලංකාවේ ටෙලිවිෂනයේ පත්තර කියවන පිරිසගේ අනුරුවක් වෙන්නත් පුළුවන්. අපි හිතන දේ සිදුනොවෙන්නත් පුළුවන්. හරියටම ඒක දැනගන්න නම් තාප්පෙන් පනින්නම වෙනවා. අභිෂේක් සහ පියුමාලි මේ වගේ ටෙලි නිර්මාණයක රඟපාන්නේ පළමු වතාවට. ඔවුන් දෙදෙනාත් තාප්පෙන් පැන්නා කියල හිතනවා. උදාරි වර්ණකුලසූරිය, යශෝධා විමලධර්ම බුද්ධික ජයරත්න වගේ සිනමාවේ චරිතත් මේකට දායක වෙලා තියෙනවා. මේක අපි දකින්නේ ‘ආර්ට් පීස්‘ එකක් විදිහට. හැම රූපරාමුවකටම අපි සෑහෙන්න මහන්සි වුණා. අපිට ඕන වුණේ මිනිස්සුන්ට හොඳ නිර්මාණයක් දෙන්න. අදට වඩා හෙට කතා කරන නිර්මාණයක් කරන්න.




ප්‍රේක්ෂකයන් හැමෝටම අපි තාප්පෙන් පනින්න කියලා ආරාධනා කරමු?


ඔව්. තාප්පෙන් පනින්න. හොඳට හොයලා බලලා පනින්න. මොකද තාප්පෙන් පැනපු හැමෝම දිනුවේ නැති වුණාට දිනපු හැමෝම තාප්පෙන් පැනලා තියෙනවා.


මෙවර පැවති 31 වැනි සුමති සම්මාන උලෙළේ නිර්දේශ නාම අතරට එකතු වුණේ ඔබ බලාපොරොත්තුවෙන් හිටිය රංගනය නොවෙයි නේද?


ඇත්තටම මටත් හරි පුදුමයි. මං බලාපොරොත්තුවෙන් හිටියේ ඉරගිනි මද්දහන බණ්ඩාරගේ චරිතය. නමුත් නිර්දේශ වෙලා තිබුණේ ‘පාවී එන්න ආසයි‘ ටෙලි නිර්මාණයේ සමන්තගේ චරිතය. ඒ ගැන මම ෆේස්බුක් සටහනකුත් තැබුවා. මම සඳහන් කළේ සම්මාන උලෙළේ අසාධාරණයක් ගැන නෙවෙයි. මම සඳහන් කළේ, ඉරගිනි මද්දහන බණ්ඩාරගේ චරිතය, පාවී එන්න ආසයි සමන්තගේ චරිතයට වඩා ඉතා විශාල ධාරිතාවක් තිබුණු කැරැක්ටර් එකක් නිසා ඒක නිර්දේශ නොවී මේක නිර්දේශ වීම ගැන මට විශාල පුදුමයක් තියෙනවා කියන එක විතරයි.


බණ්ඩාරට ප්‍රේක්ෂකයන් ගොඩක් ආදරේ කළා. ආදරණීය ප්‍රේක්ෂකයන් වෙනුවෙන් ඔබටත් යමක් කියන්න ඇති?


ඔව්. ඉරගිනි මද්දහන කියන්නේ අලුත් ප්‍රේක්ෂකාගාරයක් නිර්මාණය කරපු ටෙලි නිර්මාණයක්. ප්‍රේක්ෂකාගාරය කියන්නෙත් එක්තරා විනිශ්චය මණ්ඩලයක් තමයි. බණ්ඩාර කියන්නේ කාලෙකට පස්සේ මගේත් ලොකු ධාරිතාවක් තිබුණු චරිතයක්. බණ්ඩාර වගේ චරිතයක් මට ආයේ කරන්නත් බැරි වෙයි. බණ්ඩාරට ප්‍රතිචාර දැක්වූ පිරිස විවිධාකාරයි. ඒ නිසා සම්මාන නැතත් ප්‍රේක්ෂකයන්ගේ රසඥතාව වෙනුවෙන් ඕනෑම චරිතයක් කරන්න මම සූදානම්. ගිය වසරේ තිරගත වුණු මදර් ලංකා චිත්‍රපටයේ සත්‍යා වගේම ඉරගිනි මද්දහන ටෙලි නිර්මාණයේ බණ්ඩාර කියන්නේ මගේ ජීවිතේ මම රඟපාපු හොඳම චරිත දෙක. ඒ නිසා සම්මාන කෙසේ වෙතත් මදර් ලංකා චිත්‍රපටයේ සත්‍යා විදිහට රඟපෑවේ ඉරගිනි මද්දහනේ බණ්ඩාරමයි කියලා හැමදාම ප්‍රේක්ෂකයන්ගේ මතකයේ තියේවි.

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
Previous Post Next Post