පූජනී කියන්නේ ආදරය ජීවිතේ අංක එක විදිහට සලකන කෙනෙක්

gossiplanka image 1
 

ස්වාධීන රූපවාහිනී නාළිකාවේ විකාශය වන සම්මානනිය අධ්‍යක්ෂ ප්‍රියන්ත ප්‍රනාන්දුගේ සංවරය ටෙලි නිර්මාණයේ චමත්කාගේ භූමිකාවට පණ පොවන පූජනී භාග්‍යා නිතර ඔබ නෙතු මානයට එන රංගන ශිල්පිනියක ද නොවේ. ආරාධනා කොතරම් ලැබුණ ද අනවශ්‍ය ලෙස කාර්යබහුල වීමට අකැමැති පූජනී තමන් දායක වන නිර්මාණ ප්‍රමාණය සීමිත වූවත් දැඩි කැපවීමෙන් උපරිම සාධාරණයක් ඉටුකිරීමට වෙහෙසෙන්නීය. ගයාන් – පූජනී කැදැල්ලට මුල්තැන දෙන ඇය නිදහස ලැබෙන පරිදි නිර්මාණ කටයුතුවලටද දායක වන්නීය. මේ ඇය හා කළ කතාබහයි.


පූජනී මේ දවස්වල අපට හමුවන්නේ චමත්කා ලෙසින්. ඒ අවස්ථාව ලැබෙන්නේ කොහොමද?


‘සංවරය’ ප්‍රියන්ත ප්‍රනාන්දුගේ අධ්‍යක්ෂණයක්. නීලා ප්‍රඩක්ෂන් නිෂ්පාදනයක්. මට ආරාධනාව ලැබෙන්නේ ප්‍රියන්ත අයියාගෙන්. මීට කලින් ඔහුගෙන් ලැබුණු ආරාධනයට මට සම්බන්ධ වෙන්න බැරි වුණා. ඊට පස්සේ තමයි සංවරය ටෙලි නාට්‍යයට ආරාධනා ලැබෙන්නේ. සංවරය 2024 වසර අවසානයේ වගේ රූගත කෙරුණු ටෙලි නිර්මාණයක්. ටික කාලයක් නොපෙනී ඉඳලා දැන් සංවරය ටෙලි නාට්‍යයෙන් දකින්න ලැබීමත් එක්ක නැවතත් ආරාධනා ගලාගෙන එනවා.


සංවරය කියන්නේ මොන වගේ තේමාවකින් ගලාගෙන යන ටෙලි නිර්මාණයක්ද?


අද සමාජයේ පවතින සංකීර්ණ ගැටලුම තමයි සංවරය හරහා කතාබහට ලක්වෙන්නේ. මධූ කියන ගම්බද තරුණියගේ මව විදෙස්ගත වෙලා ලංකාවට එන්න බැරිව විදෙස් රටක හිරවෙලා ඉන්නවා. තම මව ගෙන්වාගන්න ඇය චමත්කාගෙන් උදවු බලාපොරොත්තු වෙනවා. ඒ වගේම එහිදී ඔවුන් ලක්වන හිංසනය පිළිබඳවත් මෙහි කතාබහට ලක්වෙනවා. වර්තමානයේ රටේ ලෝකයේ පවතින සමාජමය ගැටලු ඔස්සේ තමයි කතාව ගලාගෙන යන්නේ.


චමත්කාගේ භූමිකාව ගැන කතා කරනවා නම්?


චමත්කා කියන්නේ මාධ්‍යවේදිනියක්. ගුවන් නියමු කැප්ටන් නුගාර සේනානායක කියන්නේ ඇගේ පෙම්වතා. ඔහු නිවාඩු අරන් ලංකාවට එන්නේ ඔවුන් දෙදෙනාගේ විවාහය ගන්න හිතාගෙන. නමුත් චමත්කා කියන්නේ මුළු ජීවිතේම රැකියාවටම කැපකරන යුවතියක්. රැකියාවේ වැඩ කිහිපයක් හේතුවෙන් දින දමාගත් තම විවාහයත් ඇය කල් දානවා. ඉන් පසුව රැකියාවේ මෙන්ම තමන්ගේ පෞද්ගලික ජීවිතයේ ඇයට මුහුණදෙන්න වෙන ගැටලු ඔස්සේ තමයි කතාව ගලාගෙන යන්නේ.


එහෙම බලද්දි චමත්කා පූජනීට වඩා හාත්පසින්ම වෙනස් නේද?


ඇත්තටම ඔව්. චමත්කා කියන්නේ ආදරය, ජීවිතය තමන්ගේ කකුල් දෙක ළඟට ඇවිල්ලත් ඒ ගැන තැකීමක් නොකර තමන්ගේ රැකියාවේ හීන පස්සේ දුවන තරුණියක්. නමුත් පූජනී කියන්නේ ආදරය තමන්ගේ ජීවිතේ අංක එක විදිහට සලකන, ඒ ලැබුණු ආදරය ජීවිත කාලෙටම පරිස්සම් කරගන්න වෙහෙසෙන තරුණියක්. පූජනී තමන්ගේ කැරියර් එක වෙනුවෙන් පෞද්ගලික ජීවිතය කිසිසේත්ම අතනොහරිනවා වගේම භාරගත්ත වැඩක් කවදාවත් අතරමඟ දමා නොයන, අන් කිසිවකු අපහසුතාවට පත් නොකරන කෙනෙක්.


චමත්කාට ලැබෙන ප්‍රතිචාර ගැනත් කියමු?


සෑහෙන ප්‍රතිචාර ලැබෙනවා. නමුත් නුගාරව නොසලකා හැරීම සම්බන්ධයෙන් නම් හොඳ ප්‍රතිචාර ලැබෙන්නේ නෑ. මගේ දෙබස්වලත් නපුරු ගතියක් තියෙන නිසා සමහර විට ප්‍රේක්ෂකයන් නොසන්සුන් වෙලා ඇති. පූජනී භාග්‍යා කියන්නේ කිසිසේත්ම එහෙම චරිතයක් නොවෙයි කියන එක ඔවුන් දන්නවා. එක පැත්තකින් චමත්කා ආත්මාර්ථකාමියි කියන්නත් පුළුවන්. චරිතයේ ස්වභාවය අනුව නරක ප්‍රතිචාර ලැබෙන්නම ඕන. එහෙම ප්‍රතිචාර ලැබෙනවා කියන්නෙ මම හොඳින් චමත්කාගේ චරිතය කරනවා කියන එකනේ. ඒ ගැන හිතලා සතුටු වෙනවා.


හෙශාන් මනුල ආදරවන්තයා විදිහට හමුවන පළමු අවස්ථාව නේද?


ඔව්. ආදරවන්තයා විදිහට හමුවෙන්නේ පළමුවතාවට. නමුත් මනුල අයියයි මායි නිර්මාණයකට දායක වන දෙවැනි අවස්ථාව. මීට කලින් සියත නාළිකාවේ විකාශය වුණු රේස් ටෙලි නිර්මාණයේ අපි වැඩ කළා.


ඔබ දායක වුණු අනෙක් නිර්මාණත් එක්ක බලද්දී සංවරය ටෙලි නිර්මාණයේ වෙනසක් දකිනවද?


ඔව්. සංවරය කියන්නේ සීමිත කොටස් ප්‍රමාණයක ටෙලි නිර්මාණයක්. මුළු පිටපතම මේ වෙද්දි අපිට ලැබිල තියෙන නිසා අවසානය මොකක්ද කියන එක දැනටමත් අපි දන්නවා. ඒ නිසා නිසි අවබෝධයකින් අපි කණ්ඩායමම හරිම ලස්සනට වැඩේ කරගෙන යනවා. මම සීමිත කොටස් ගණන්වල වගේම මෙගා ටෙලි නාට්‍යවලටත් දායක වෙලා තියෙනවා. ඒ දෙකටම මං ආදරෙයි. නමුත් නිර්මාණයක අවසානය ගැන මුල ඉඳන්ම අවබෝධයකින් ඉන්න එක හරිම පහසුයි කියල හිතෙනවා.


ප්‍රියන්ත ප්‍රනාන්දු වගේ සම්මානනීය අධ්‍යක්ෂවරයෙක් එක්ක වැඩ කරන්න ලැබීම ගැන මොකද හිතෙන්නේ?


ප්‍රියන්ත අයියා ගැන නම් කියන්නම ඕන. ඔහු අපේ කණ්ඩායමේ හැමදෙනා එක්කම විහිළු කරගෙන හරිම විනෝදයෙන් ඉන්න කෙනෙක්. නමුත් අදාළ වැඩේ වෙලාවට වැඩේම ඉන්න ඕන. ඔහුගෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. ඒ වගේම ඔහුගේ ඕනෑම නාට්‍යයකට කුමක්ම හෝ සම්මානයක් ලැබෙනවාමයි.


සිනමාව පැත්තෙනුත් මේ දවස්වල පූජනී ගැන අහන්න ලැබෙනවා?


ලබන මාසෙ මගේ අලුත්ම චිත්‍රපටය තිළිණ බොරලැස්සගේ ‘මං හොයන්නේ ප්‍රේමයක්‘ තිරගත වීමට නියමිතයි. සන්තුෂ්කි අභිලාෂි, දර්ශන් තවරාජ් ප්‍රධාන භූමිකාවලින් දායක වෙද්දී මමත් නිල්මිණී තෙන්නකෝන් අක්කත් උප ප්‍රධාන චරිතවලින් දායක වෙනවා. ආදරණීය කතාවකින් ඉතාම ඉක්මනින් තිරයෙන් හමුවෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5

Previous Post Next Post