රූපාන්තරණ හින්දා අමිලට ලැබුණු රජදහන - අමිල කරුණානායක

gossiplanka image 1
 



ඔහු සිනමාවත් පුංචි තිරයත් ජයගත් රංගන ශිල්පියෙක්. වාසිත සමරනායක අධ්‍යක්ෂණය කරනු ලබන ‘රජදහන’ සිනමා නිර්මාණය හරහා මේ දවස්වල රටපුරා සිනමාහල්වලට ගොඩවදින අමිල කරුණානායක සමඟ කාලෙකට පස්සෙ ‘මීවිත’ පුංචි කතාබහක නියැළුණා.


ඔබ කාලෙකට කලින් රංගනයෙන් දායක වුණු රජදහන සිනමා නිර්මාණය මේ දිනවල තිරගතවෙනවා?


ඔව්, ඒකට ඇත්තටම අනෙක් චිත්‍රපට එක්ක බලද්දී වෙනස්ම ප්‍රතිචාර ටිකක් ලැබෙනවා. මට මේ නිර්මාණයේදී අවධි තුනක් නිර්මාණය කරන්න අවස්ථාව ලැබුණා. මගේ මේ ශානරයේ සිනමා නිර්මාණයක් මීට කලින් කවුරුවත් දැකලා නැහැ. මම දන්න විදිහට මේ වෙනකොට රජදහන සිනමා නිර්මාණයට පාසල් දර්ශන සඳහාත් අවසර ලැබිලා තියෙනවා. ඒකත් ප්‍රේක්ෂාකාගාරය වැඩිකරගන්න හොඳ අවස්ථාවක්.


රජදහන චිත්‍රපටයේ චරිත්ගේ චරිතය ලැබෙන්නෙ කොහොමද?


මීට කලින් මම රඟ පෑ රූපාන්තරණ සිනමා නිර්මාණය රූපවාහිනියේ විකාශනය වෙනවා දැකලා මෙහි අධ්‍යක්ෂ වාසිත සමරනායක සහ නිෂ්පාදක ජගත් ගලප්පත්ති මාව මුණ ගැසෙන්න කොළඹට එනවා. එඩ්වඩ් ජයකොඩි මහත්මයාගේ ශබ්දාගාරයේ තමයි අපි මුණගැසුණේ. ඒ වෙනකොට සංගීතය පැත්තෙන් ඔවුන් මූලික වැඩකටයුතු කරමිනුයි හිටියේ. කතාබහ කරල, පිටපත බලල මම මේ නිර්මාණය භාරගන්නව. ඔය වකාවානුවේ මම චිත්‍රපට දෙක තුනකට විතරයි සහභාගි වෙලා තිබුණේ. ඒ හින්දා හරි ආසාවෙන් භාරගත්තු වැඩක්.


විසේකාරී ටෙලිනාට්‍යයටත් හොඳ ප්‍රතිචාර ලැබුණා?


මම පසුගිය කාලය පුරාවටම සිනමාවේ විතරක් රැඳී හිටපු රංගන ශිල්පියෙක්. ප්‍රභාත් රෝෂන් කණ්ඩායම නිෂ්පාදනය කරන විසේකාරී සඳහා ආරාධනාවක් ලැබුණාම මට මුලින්ම පොඩි චකිතයක් ඇති වුණා. මේක ඇත්තටම සුදු චරිතයක් නෙමෙයි. නමුත් ඒ අවස්ථාවේ දී මම හිතුවෙ මේ අභියෝගය භාරගන්නවා කියලා. ගොඩක් අය මේ චරිතය භාරගන්න එපා කිව්වා. නමුත් මම ඒක භාරගත්තා. මම හිතනවා මම ඒ ගත්තු තීරණය හරි කියලා. මොකද සිනමාවට වඩා රූපවාහිනිය හරහා ප්‍රේක්ෂකයන් අතරට යන්න ලේසියි කියලා ඒකෙන් මට දැණුනා.


චේතියට වැඩිපුර ලැබුණේ බැණුම්?


ඇත්තටම මුලදී නම් ගොඩාක් බැණුම් අහන්න සිදු වුණා. ඉතිං ඊට පස්සේ මිනිස්සු අඳුරගන්න පටන්ගත්තා මම මේ චරිතයට තමයි පණපොවන්නේ කියලා. අන්තිමේ මගේ රංගන කුසලතාව යම්තාක් දුරට ඔවුන්ට තේරුම්ගන්න පුළුවන්වීමත් එක්ක ඔවුන්ගේ ආදරය ලැබෙන්න ගත්තා. ඒත් එක්කම චේතිය ගොඩක් ජනප්‍රිය වුණා.


චේතිය නිසා අලුත් ආරාධනා ලැබුණද?


ඇත්තටම එවැනි ආකාරයේ චරිත තුන හතරක්ම ලැබුණත් මම භාරගත්තේ නැහැ. එහෙම කළොත් මම එකම රාමුවකට කොටුවෙනවා. මම භාරගත්තු අභියෝගය ජයගත්තා කියලා හිතනවා. ඉතිං මම ආසයි වෙනස් ආකාරයේ අභියෝගවලට මුහුණ දෙන්න. මොකද මම දකින දෙයක් තමයි කේෂ්ත්‍රයේ අපි මොකක් හරි දෙයකින් නමක් හදාගත්තාම ඒකෙන් ප්‍රයෝජන ගන්න හදනවා මිසක් අපිට ඉදිරියට යන්න පාර හදලා දෙන්නෙ නැහැ. අපිව ගොඩාක් ප්‍රයෝජනය ගන්න අවස්ථාවන් තියෙනවා. මට ඒක තේරුම් ගියා. මම කැමැති නැහැ අයෙමත් ඒ චරිතයට කොටුවෙන්න. වෙනස් චරිතවලින් ප්‍රේක්ෂකයාගේ හිත දිනාගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.


කොහොමද මේ දවස්වල රඟපෑම් වැඩකටයුතු?


ධනුෂ්ක පෙරේරාගේ අධ්‍යක්ෂණයෙන් සහ තිමිර උඩලමත්තගේ තිර රචනයෙන් නිර්මාණය වුණු ‘අහසින් එහා’ ටෙලිනාට්‍යය ස්වර්ණවාහිනියේ විකාශනය වෙනවා. ඒ වගේම චන්දන ඉරුගල්බණ්ඩාරගේ ‘පිරිනිවන් කඳුපාමුල’ කලාත්මක ටෙලිනාට්‍යයේ, නාලක විතානගේ අධ්‍යක්ෂවරයාගේ ‘ආයෙත් අපි’ චිත්‍රපටයේ සහ ‘සරා සුසුම්’ චිත්‍රපටයේ රූගත කිරීම් අවසන් කළා. ඒ වගේම රැජිනියේ චිත්‍රපටයේ රූගත කිරීම් පසුගිය 30 වැනිදා ආරම්භ කළා.


ඔබේ චිත්‍රපටයක් තිරගත වෙන්න කාලයක් ගියා?


ඔව්, මම හිතන්නේ කම්බිලි චිත්‍රපටයෙන් පසුව අවුරුදු එකහමාරක් දෙකක් විතර ගියාට පසුවයි චිත්‍රපටයක් තිරගත වුණේ. අනික චිත්‍රපටයක් රූගත කළාම තිරගත වෙන්නත් කාලයක් යනවානේ. අන්න ඒ වගේ කාලෙකට කලින් කරපු චිත්‍රපටයක් තමයි රජදහනක් කියලා කියන්නේ.


තිරගත වෙන්න කීයක් විතර තියෙනවාද?


තව චිත්‍රපට හතරක් තිරගත වෙන්න තියෙනවා.


වැඩිපුර කැමැති සිනමාවටද?


සිනමාවේ රැඳෙන්න කැමැතියි. නමුත් මම ගොඩාක්ම කැමැති නිර්මාණවල හොඳ චරිතවලට.


මේ තාක් ලැබුණ චරිත ගැන සෑහීමකට පත්වෙනවාද?


තවම සෑහීමකට පත්වෙන්නේ නැහැ. මේක කාලයක් තිස්සේ එන ගමනක්නේ. අත්දැකීම් තුළින් ලබාගත්තු පන්නරය පාවිච්චි කරලා හොඳ නිර්මාණවලට, හොඳ චරිතවලට අවතීර්ණ වෙන්න හැකියාව තියෙනව කියල මම හිතනවා.මහේෂ් එදිරිසිංහ

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
Previous Post Next Post