කොළඹ කට්ටියට සෙට් වුණ සුජානි

gossiplanka image 1
 



මම ගමේ ඉඳන් කොළඹ එන්නෙ ගායිකාවක් වෙන්න හිතාගෙන. නමුත් අහම්බයකින් ඒක රංගනය පැත්තට යොමු වෙනව. ඒක වෙන්නෙ මෙහෙමයි. මුලින්ම මට රඟපාන්න අවස්ථාව ලැබෙන්නෙ පහත රට නර්තනයට ඇති හැකියාව නිසා. ඇත්තටම මම මේ අවස්ථාවට එකතු වෙන්නෙ ටීවී එකේ පේන්න නටන්න ඕනා කියල හිතාගෙන.


ඩ්‍රාමා එකේ නැටුම් කණ්ඩායමෙන් එහා තැනක් ලැබෙයි කියන බලාපොරොත්තුවක් කොහොමටවත් තිබුණෙ නැහැ. ඒ වුණත් චරිතයකට මාව ගැළපෙනව, මට කරන්න පුළුවන් කියල හිතල සද්ධාමංගල සර් සහ එතුමාගේ බිරිඳ කතාවෙලා මට චරිතයක් ලබාදෙනව.


සුජානි මධුවන්ති ගමේ ඉඳන් කොළඹ එන්නෙ රඟපාන්නම නෙමෙයි. ගායනය වෙනුවෙන් ආපු ඇය රංගනයට යොමුකරවන අහඹු අවස්ථාව උදා වුණේ ඒ විදිහට.


හැබැයි ගායිකාවක් විදිහට සුජානිව අපිට කවදාවත් දකින්න ලැබුණෙ නැහැ.


මේ දවස්වල ‘කොළඹ කට්ටිය’ත් එක්ක කල් ගෙවන සුජානි සැබෑවටම නම් මිනූ වගේ කෙනෙක් වෙන්නෙ නැහැ කියලයි කියන්නෙ.


‘කොළඹ කට්ටිය’ ටෙලි ඩ්‍රාමා එකේ මිනූට මාව යෝජනා කරන්නෙ සද්ධා සර්ගෙ බිරිඳ. ඇයගේ යෝජනාව සහ විශ්වාසයත් එක්ක මට මේ නිර්මාණයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙනව. ඇත්තටම කොළඹ කට්ටිය එක්ක මේ දවස්වල ජීවිතේ ගෙවෙන්නෙ හරිම සතුටින්.


සුජානි සතුටින් හිටියට මිනූට නම් එක එක විදිහෙ කතා කියනවලු…


චරිතයේ ස්වභාවයත් එක්ක සමහර අය මිනූට බණිනව. සමහර අය නම් එයාගෙ එක එක සෝබන වැඩ නිසා අනේ ෂෝයි, මරු කියල කියනව. තවත් අය කියන්නෙ අනේ මේ වගේ අය ෆීල්ඩ් එකෙත් ඉන්නව නේද කියල.


මේ වගේ නොයෙක් කතා අතර කෙරෙන කොළඹ කට්ටියගෙ ෂූටිං නම් මාර විනෝදයි. මේ සෙට් එකේ ඉන්නෙ එකිනෙකාට නුහුරු නුපුරුදු අය නෙමෙයි. අවුරුදු ගාණක් පුරාවට එකට වැඩ කරන අය. ඒ වගේම මිනූට කරන්න තියෙන දේවල් එක්ක ඒ විනෝදය තවත් වැඩි වෙනව.


ඔන්න ඔහොමයි සෙට් එකේ කාලය ගෙවෙන්නෙ.


මිනූ වගේ අය රංගන ක්‍ෂේත්‍රයේ ඉන්නව කියල සමහරු කිව්වට සුජානිට නම් ඒ වගේ අය මුණගැහිල නැතිලු. හැබැයි ඒ වගේ ඇටිටියුඩ් තියෙන අය නම් මුණගැහිල තියෙනවලු.


ගායිකාවක් වෙන්න කොළඹ ආපු ඇය අද වෙනකොට රංගන ජීවිතේ දකින්නෙ මේ විදිහට.


ඇත්තටම රංගන ක්‍ෂේත්‍රය කියන්නෙ හරිම සුන්දර තැනක්. කැපිලි කෙටිලි වගේ දේවල් ලොකුවට මට ආවෙ නැහැ. නමුත් පොඩි පොඩි දේවල් නොවුණාම නෙමෙයි. ඒ වගේ දේවල් ඕනෑම ක්‍ෂේත්‍රයක තියෙන්න පුළුවන්නෙ. ඒවාට ඉතිං වෙලාවෙ හැටියට සුදුසු විදිහට මුහුණ දුන්නා. මේ ක්‍ෂේත්‍රයේ හැම වෙලාවෙම වෙනස් අත්දැකීම් ලැබෙන නිසා රංගන ශිල්පියකුට එක තැන පල් වෙන්නෙ නැතිව නිරන්තරයෙන් අලුත් වෙන ජීවිතයක් ගෙවන්න අවස්ථාව ලැබෙනව.


සුජානි කියන්නෙ ඇය රංගන ශිල්පිනියක් නොවුණා නම් අද වෙනකොට ටීචර් කෙනෙක් විදිහට වැඩ කරයි කියල. සමහරවිට ඒ සංගීතය පැත්තෙන්ම වෙන්නත් පුළුවන්.


අපි දකින විදිහට සුජානිගෙ රංගන ජීවිතේ හැරවුම් ලක්‍ෂ්‍යය වුණේ කෝළංකුට්ටමේ භාග්‍යා.


ඇත්තටම කෝළංකුට්ටම ටෙලි නාට්‍යයේ භාග්‍යාට මිනිස්සු ගොඩක් ආදරය කළා. සමහර විට ඒ අහිංසක ගැමි චරිතයක් නිසා වෙන්න ඇති. මගේ රංගන ජීවිතේ ලොකු වෙනසක් ඇතිකරපු භාග්‍යා නිසා මට ලැබුණ දේ බොහොමයි.


මේ හැම චරිතයක්ම අතර හැංගිලා ඉන්න සුජානි කියන සැබෑ චරිතය මොන වගේද කියල හරියටම දන්නෙත් ඇයමයි.


සුජානි කියන්නෙ හරිම සරල කෙනෙක්. ගොඩක් අය කියන්නෙ ලොකුකමක් නැති නිහතමානී කෙනෙක් කියල. හැබැයි මට අහිංසක මිනිස්සුන්ට මමත් අහිංසකයි වගේම මට නපුරු අයටත් මම නපුරුයි. ඒ වගේම මට අසාධාරණයක් වුණොත් මම මං වෙනුවෙන් පෙනී ඉන්නව. නමුත් සමහර අවස්ථාවලදි ගොඩක් ඉවසීමෙන් කටයුතු කරන්න සිද්ධ වුණා.


මේ ගමන යද්දි මට මට මගේ ගෙදරින් ලැබෙන සහයෝගය විශේෂයෙන්ම මතක් කරන්න ඕනා. මගේ අම්මා මට උපරිම නිදහස දීලා තියෙනව මගේ වැඩ ටික කරගෙන යන්න සහ වැරදි මාර්ගයක නොයන බවට එයා මාව ගොඩක් විශ්වාස කරනව. ඒ වගේම මම මොන වගේ චරිතයක් කළත් ඒක ආදරෙන් බලන එකම ප්‍රේක්‍ෂකයා වෙන්නෙත් මගේ අම්මා.


ගෙදරින් ලැබෙන හයිය තමයි කෙනකුගේ ගමනට ශක්තිමත් අඩිතාලම වෙන්නෙ.


සුජානි ගමේ ඉඳන් කොළඹ ආවට පස්සෙ පවුලේ අය ළඟ හිටියෙ නැහැනෙ. ඉතිං ජීවිතේ හිතන තරම් පහසු වුණේ නැහැ.


ගමේ ඉඳන් කොළඹ ආවට පස්සෙ මට සිද්ධ වුණා තනියම ජීවත් වෙන්න. ඒක ලෙහෙසි වුණේ නැහැ. රංගන ක්‍ෂේත්‍රයට ආවෙත් හැදෑරීමක් නැතිව. දෙබස් පවා මට මතක හිටින්නෙ නැහැ. ඉතිං මම නිසා මගේ මුල්ම ඩ්‍රාමා එකේ සෙට් එක හරිම අපහසුතාවට පත් වුණා.


අපේ කතා බහ අවසානයේ වර්තමාන සමාජය තුළ හොඳට නරකට දෙකට මුල් වෙන සමාජ මාධ්‍ය ගැන ඇය දැක්වූයේ මේ වගේ අදහසක්.


සමාජ මාධ්‍ය කියන්නෙ හරි විදිහට පාවිච්චි කරනව නම් ඇත්තටම හොඳ දෙයක්. තමන්ගෙ දක්‍ෂතා එළිදක්වන අතරතුර හොඳ දේවල් සමාජගත කරන්න පුළුවන් හොඳ ෆ්ලැට්ෆෝම් එකක්.

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
Previous Post Next Post