සූරිය සුළඟ’ චිත්‍රපටයේ තාත්තා ගැන මේ දවස්වල කවුරුත් කතා වෙනවා. තාත්තා කෙනෙක් තුළ තිබිය යුතු දයාව, කරුණාව, සෙනෙහස තමන්ගේ දරුවා ගැන තියෙන විශ්වාසය ඒ හැම එකක්ම මා තුළින් දකින්න ලැබෙනවා කියලයි හැමෝම කියන්නේ. ‘සූරිය සුළඟ’ චිත්‍රපටයේ තාත්තාට යම් මෙහෙවරයක්, පිළිගැනීමක් හිමි වෙනවා නම් එය මට විතරක් නොවෙයි, ඒ චරිතය කරන්න මට උදව් වුණ හැමෝටම ඒ ගෞරවය හිමි විය යුතුයි. මගේ පුතා ලෙස රඟන මේඝටත්, දියණිය ලෙස රඟන මුතුතරංගාටත් ඒ ගෞරවය හිමිවිය යුතුයි.”
සූරිය සුළඟ චිත්‍රපටයේ තාත්තාගේ චරිතයට ජීවය දුන් ටෙරී ජයසිංහ නම් ප්‍රතිභා පූර්ණ නළුවා එසේ පවසන්නේ බොහෝ නිහතමානීවය.
1972 වසරේදී ලයනල් වෙන්ට් රංග ශිල්ප ශාලිකාවේ රඟපෑම පිළිබඳ හැදෑරූ ටෙරී ජයසිංහ ‘වාරුවෙන් යන මිනිස්සු‘ නාට්‍ය ඔස්සේ කරළියට එන්නේය.
“ලයනල් වෙන්ට් රංග ශිල්ප ශාලිකාවේදි ඩොක්ටර් සරත්චන්ද්‍ර, ධම්මජාගොඩ ආදි ප්‍රවීණ ගුරුවරුන් යටතේ නාට්‍ය කලාව, රංගනය ගැන හදාරන්න අවස්ථාව ලැබුණා. නෙවිල් ඩයස් සුබසිංහ නාට්‍යකරුවාගේ ‘වාරුවෙන් යන මිනිස්සු’ නාට්‍යයේ රඟපාන්න අවස්ථාව ලැබුණා. ඒ නාට්‍ය කළේ 1977 අවුරුද්දේ. එය යෞවන සම්මාන උලෙළේ හොඳම නාට්‍ය වුණා. නාට්‍යයට සම්මාන හතක් හිමි වුණා. විශිෂ්ට රංග කුසලතා සම්මානය මට හිමිවුණා. ඉන් පස්සේ නත්තල වෙනුවෙන් ඒකාංගික නාට්‍යයක රඟපාන්න අවස්ථාව ලැබුණා. ඒ ‘කැරොල් කරත්තය’ නාට්‍යයේ. එම නාට්‍යය අධ්‍යක්ෂණය කළේ රොහාන් වැලිවිට. පිටපත ලිව්වේ ජැක්සන් ඇන්තනි. ඊට පස්සේ පරාක්‍රම නිරිඇල්ලගේ ‘මිහිමඬල ගිනිවදී’, ජැක්සන් ඇන්තනිගේ ‘ඇසළ කරුවල’, සුදත් මහදිවුල්වැවගේ ‘දණ්ඩේ ලූ ගිනි’ ආදි නාට්‍යවල රඟපාන්න අවස්ථාව ලැබුණා. මේ අතරම ජෝර්ජ් සිල්වාගේ ‘සීලවතී’ නාට්‍යයේ මර්සි එදිරිසිංහ සමඟ ප්‍රධාන චරිතය රඟපාන්න අවස්ථාව ලැබුණා. ඒ වගේම නාලන් මෙන්ඩිස්ගේ ඉසුරු සංග්‍රාම ටෙලි නාට්‍යයේ රඟපෑමට අවස්ථාව ලැබුණා. මේ හැම නාට්‍යයකම මම රඟපෑවේ බොහෝම කැමැත්තෙන්. මම කවදාවත් වෘත්තීය නළුවෙක් වුණේ නෑ. මට ඉන්නේ දුවයි පුතයි. දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට මුල්තැන දීමත් සමඟ මම පොඩ්ඩක් රඟපෑමෙන් ඉවත් වුණා.”
පාසල් වියේදීම රඟපෑමට අත්පොත් තැබූ ටෙරී ජයසිංහ කිසිදින රඟපෑම සිය ජීවන වෘත්තිය කර ගැන්මට බලාපොරොත්තු නොවූයේය. නමුදු ඔහු කලාවට බොහෝ සේ ඇලුම් කළේය. රාජ්‍ය නාට්‍ය අනුමණ්ඩලයේ වසර කිහිපයක්ම කටයුතු කළ ඔහු වසර ගණනක් යුද්ධයෙන් බැටකෑ යාපනයේ දරුවන්ට නාට්‍ය වැඩමුළු කරන්නට පටන් ගත්තේය. නමුදු එයට ලැබිය යුතු රාජ්‍ය අනුග්‍රහය නොලැබිණ.
“දවසක් මට ජැක්සන් ඇන්තනි කතා කළා. ටෙරී අයියේ ඇවිල්ලා හමුවෙන්න. මම චිත්‍රපටයක් කරනවා, ඔයාව ඔළුවේ තියාගෙන ලියපු චරිතයක් තියෙනවා කියලා. ඒ චිත්‍රපටය තමයි ‘එකගෙයි සොකරි’. දවසක අපි හැමෝම එකට හමුවුණා. ‘අපේ ගමේ’ දි ‘සොකරි කවි’ ජනගත කළා. ‘එකගෙයි සොකරි’ චිත්‍රපටය තවම තිරගත වුණේ නෑ.”
මේ දිනවල විකාශනය වන ‘බැද්දේගම‘ටෙලිනාට්‍යයෙන්ද අපට ටෙරි හමුවේ. දැන් තිරගතවන සූරිය සුළඟ චිත්‍රපටයේ තාත්තාගේ චරිතයට වටිනාකමක් එක්කළ ටෙරි ඒ ගැන පැවැසුවේ මෙලෙසිනි.
“චිත්‍රපටයේ මුහුරත් උලෙළට ගියා. විවිධ මාධ්‍යවල සූරිය සුළඟ චිත්‍රපටය ගැන බොහෝ ප්‍රවෘත්ති පල වුණා. නමුත් ඒ එකත්වත් මගේ නමක් හෝ පින්තූරයක් නෑ. මම කවුද මොනවද කරන්නේ කියලා කවුරුවත් දන්නේ නෑ. සහාය අධ්‍යක්ෂ මට කතා කරලා කිව්වා “අයියේ ඔයාගේ නම දන්නේ නැති නිසා අයියා ගැන ප්‍රවෘත්තිවල යන්නේ නෑ. ඒ ගැන හිතන්න එපා“ කියලා. මම කිව්වා “මට ඕන චිත්‍රපටයේ ඉන්නවා කියන එක කියන්න නෙමෙයි. චිත්‍රපටයේ හිටියා කියන එකයි වැදගත් කියලා.”
“මේ චිත්‍රපටයේ තාත්තාගේ චරිතය තියෙන්නේ බොහෝම කෙටි කාලයක්. නමුත් ඒ කාලය තුළ තාත්තාගේ චරිතය මිනිසුන්ට දැනෙනවා. එහෙම දැනෙන චරිතයක් මට රඟපාන්න ලැබීමම සතුටක්. චිත්‍රපටයේ පුතා විදිහට රඟන මේඝගෙන් ලැබෙන සහායත් හරිම අගෙයි. මේඝ එහෙම රඟ පෑ නිසයි මට ඒ චරිතය දැනෙන්න රඟපාන්න ලැබුණේ. “තාත්තාගේ චරිතය හදවතට දැනෙනවා.” කියලා ලැබෙන ප්‍රතිචාර හුඟක් වටිනවා. මගේ ජීවිතේ හමු වූ සැබෑම සුන්දර මනුස්සයෙක් තමයි ප්‍රියන්ත කොළඹගේ. රුවන් කොස්තා බොහෝම දක්ෂ මනුස්සකම් පිරුණ කෙනෙක්. මේ හැමෝගෙන්ම ලැබුණ සහාය නිසයි. ඒ චරිතයේ මම සාර්ථක වෙන්න හේතුව. සූරිය සුළඟ මගේ රංගන ජීවිතයේ පුනරුත්පත්තිය කිව්වොත් මම නිවැරැදියි.”
ටෙරී රඟන අලුත්ම නිර්මාණය බැද්දේගම ටෙලි වෘත්තාන්තයයි.
“කෝරළේ මහත්තයා කියන්නේ බොහෝම කපටි කෛරාටික චරිතයක්. මට ඒ වගේ චරිතයක් කරන්න අමාරුයි. ඒක වෙනමම චරිතයක්. නමුත් අධ්‍යක්ෂවරයාගෙන් හා අනෙකුත් නළු නිළියන්ගෙන් ලැබුණ සහාය ගොඩක් වටිනවා. ඒක මම මෙතෙක් රඟපෑ චරිත අතරින් කළ වෙනස්ම චරිතයක්. මේ දිනවල තමන් අලුත් නාට්‍යයක වැඩවල ඉන්නේ. තවමත් ඒ නාට්‍යයට නමක් නෑ. දරුවෝ දෙන්නෙක් ඉන්න තාත්තා කෙනෙකුගේ චරිතයක් තමයි එහි රඟපාන්න තියෙන්නේ.
වේදිකාවේ, ටෙලිනාට්‍යවල මෙන්ම සිනමාවේද මහ ගොඩක් නිර්මාණවල රඟපා නැති වුවද මතකයේ හිටින නිර්මාණ රැසකට දායක වීමට ඔහුට අවස්ථාව ලැබී ඇත. මේ වන විට ජීවිතයේ හැත්තෑ තුන්වැනි වියේ පසුවන ටෙරී ජයසිංහ සිය රංගන ජීවිතය පිළිබඳ පැවැසුවේ මෙලෙසිනි.
“මගේ බිරිඳ චන්ද්‍රානිගෙන් හොඳ සහායක් ලැබෙනවා. ඇය මට රඟපාන්න නිදහස දීලා තියෙනවා. මම කවදාත් පස්සෙන් ගිහිල්ලා චරිත ඉල්ලා නෑ. දොඩංගොඩ බදාගත්තා වගේ හැමදේම බදාගන්න මගෙ කිසිම කැමැත්තක් නෑ. මම හැමදාම හිතුවේ මගේ ආත්ම තෘප්තියට විතරක් රඟපාන්න තිබුණාම ඇති කියලා. කවදාවත් මම මගේ පෞද්ගලික ජීවිතේ නළුවෙක් විදිහට ඉන්න හදලා නෑ”