මාධ්‍ය දර්ශනයේදී මටත් ඇඬුණා-දමිතා අබේරත්න

gossiplanka image 1
“ඇතුළට එනවාද? නැතිනම් ආපහු හැරිලා යන්නද? කල්පනාව,”සියල්ල වරද්දගෙන අන්තිමේ තමන්ගේ ගෙදරට ඇවිත් උළුවස්ස උඩ හිටගත්තු පුලස්තිගෙන් මෙහෙම අහන්නේ ඔහුගේ බිරිඳ. මේ කතාවේ වැඩිදුර කතාව දැනගන්න නම් සුරංග ද අල්විස් අධ්‍යක්‍ෂණය කළ Room No. 106 බලන්නම වෙනවා. එහි කතානායකයා වන පුලස්ති ගැන කතා කිරීම අපි පසුවට තබලා ඔහුගේ බිරිඳව අපි අපේ කතානායිකාව විදිහට තෝරා ගත්තා. කවුද ඇය?


මම දමිතා අබේරත්න. මේ දවස්වල Room No. 106 පුලස්තිගේ බිරිඳ විදිහට හෝල්වලට ඇවිත් ඉන්නේ. ඇත්තටම පුලස්තිගේ නෝනාට හොඳ ප්‍රතිචාර මේ වෙනකොට ලැබෙනවා. අනික තවම මේ කතාව විසඳිලා නැහැනේ. තවමත් ඒ නොවිසඳුණු ඛේදවාචකයට පවුල් දෙකක් මුහුණ දෙනවා. ඒක හින්දම මේ කතාව ඇතුළේ ලොකු අවදානමක් තිබුණා.


පිටපත කියවපු ගමන් මම සුරංගගෙන් ඇහැව්වේ මේක අවදානමක් නේද කියලා. සුරංග මට එක පොරොන්දුවක් වුණා.


මේ කතාවේ නැතිවුණ ජීවිතවලට හෝ ජීවත්වෙලා ඉන්න මිනිස්සුන්ටවත් මේ පිටපතෙන් හෝ නිර්මාණයෙන් අපි කිසිම වෙලාවක හානියක් කරන්නේ නැහැ කියලා. මේ නිර්මාණයට සම්බන්ධ වන සෑම කලාකරුවකුටම ඒ ඇෂුවරන්ස් එක මම දෙනවා කියලා කිව්වා.


චිත්‍රපටය නැරඹූ පසු දමිතාට ඇති වුණේ මොන වගේ හැඟීමක්ද යන වගත් ඇය සඳහන් කළා.


මමත් මේ චිත්‍රපටය මුලින්ම නැරඹුවේ මාධ්‍යවේදීන්ගේ දර්ශනය දවසෙයි. මමත් එදා ප්‍රේක්‍ෂකයෙක් වෙලා නරඹන්නයි උත්සාහ කළේ. අත්තිමේ මම දන්නේ නැහැ අවසාන භාගය වන විට මමත් හොඳටම අඬනවා. ඒ කියන්නේ මම ප්‍රතිනිර්මාණය කරපු චරිතය දිහා බලාගෙන මට ඇඬුණා. ප්‍රේක්‍ෂකාගාරයේ ඉඳලා එළියට ආපු ගමන් එක්කෙනෙක් ඇහැව්වා මොකක්ද ඒ ඔයා කළේ කියලා. ඒ හිටියේ මම නෙමෙයි පුලස්ති කාරියවසම්ගේ බිරිඳයි.


පුලස්තිට ජීවය දුන් බිමල් ජයකොඩි ගැනත් දමිතා අපත් සමග අදහස් බෙදා ගත්තා.


මම කියන්නම ඕනෑ සුරංග ද අල්විස්, ප්‍රවීණ සංස්කරණ හා කැමරා ශිල්පි ප්‍රවීන් ජයරත්න වගේම පිටපත් රචක සුනෙත් මාලිංග කියන තුන්දෙනාගේ අදහස් එකතුවෙලා තමයි Room No. 106 සිනමා නිර්මාණය බිහිවෙන්නේ.


අවසාන දර්ශනය රූගත කරනකොට බිමලුයි මමයි රිහසල් එකක් කළා. ඊට පස්සේ සුරංග ඇක්ෂන් කියනවා ඇහුණා. හැබැයි කට් කියනවා ඇහුණේ නැහැ. නළුවකුගේ හෝ නිළියකගේ වගකීම කට් කියනකම් රඟපාන එකනේ. මම දන්නේ නැහැ, මම මූඩ් එකේම හිටියා. සුරංග පිටුපසින් ඇවිත් මාව බදා ගත්තා. එතකොටත් සුරංගගේ ඇස් දෙකේ වගේම එතැන හිටපු සියලුම කාර්මික ශිල්පීන්ගේ ඇස්වලත් කඳුළු. හැමෝම ෂොක් වෙලා හිටියා. එතැනදී මමයි බිමලුයි වගේම අපි හැමෝම එක පොකුරක් වගේ ඒ දර්ශනය හරියට වින්දා. හැමෝම දුන්නු ශක්තිය එක්ක තමයි පුලස්තිගේ බිරිඳගේ චරිතය නිර්මාණය වෙන්නේ. Room No. 106 සිනමා නිර්මාණයෙන් කතාබහ කරන කාරණාව වගේම සමාජයට ලබාදෙන පණිවුඩය කුමක්ද යන වගත් මෙහිදී ඇය පැවැසුවා.


මේ Room No. 106 චිත්‍රපටය හරහාම කතාබහ කරන්නේ අපි එකිනෙකාට ගෞරව කරන්නේ කොහොමද? එකිනෙකාට ආදරය කළ යුත්තේ කොහොමද? සමහර තැන්වලදී අපි කොහොමද ඉවසන්න ඕනෑ. අපි ජීවිතයේ සමහර තැන් මගහරවාගත යුත්තේ ඇයි? ඒ මොහොත මගහරවා නොගැනීම නිසා ජීවිතයම නැතිවෙන හැටි. ඒ හැම කරුණකටම මුහුණ දෙන්නේ කොහොමද? හිතලා නෙමේ වුණත් දෙයක් සිද්ධ වුණාට පස්සේ හිතලා වැඩක් නැහැ කියන කරුණු මෙයින් කතාබහ වෙනවා.


ඒ වගේම අපි මාධ්‍ය ලෝකයේ ඉන්න මිනිස්සු විදිහට සමාජ මාධ්‍ය කියන්නේ අපි හරියට ගරු කරන තැනක්. හැබැයි බහුතරයක් කරන දේවල් හින්දා සමාජ මාධ්‍ය ජාල කෙරෙහි තියෙන විශ්වාසය සමහර වේලාවට බිඳිලා ගිහින් තියෙනවා. රීච් වැඩි කරගන්න කියලා දාන්න ඕනෑ දේයි එපා දේයි සියල්ලම දානවා. හැබැයි දන්නෙම නැතිව මනුස්සයකුගේ ජීවිතයත් නැතිවෙන තරමටම ඒවා බලපානවා නම් ඒක අතිශය භයානක තත්ත්වයක්. මාධ්‍යයේ සැරිසරන, මාධ්‍යයේ ජීවත්වන අපි හැමෝටමත් මේ නිර්මාණය හරහා ඒ සම්බන්ධයෙන් පණිවුඩයක් ලබාදීලා තියෙනවා. විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය යම්කිසි නියාමනයක්, විනයක්, පාලනයක් ඇතිවනේ හැසිරෙන්නේ. හැබැයි එතැනින් ඔබ්බට ගිහිල්ලා සමාජ මාධ්‍යට යද්දී මටත් පුළුවන් ග්‍රාහකයෙක් වෙන්න. මටම පුළුවන් ප්‍රේක්‍ෂකයෙක් වෙන්න. මේක අතිශය භයානක තැනක්. හැබැයි ඒක හරියට හැසිරුවොත් මේ සමාජයට කොච්චර හොඳ දේවල් කරන්න පුළුවන් ද?


ඒ හින්දා රංගන ශිල්පිනියක් වගේම ප්‍රේක්‍ෂකයෙක් විදිහටත් මම හරි කැමැති සිනමා නිර්මාණයක් තමයි Room No. 106 කියන්නේ.


ඇය අපත් සමග ඇගේ කතාව අවසන් කරන්නට මත්තෙන් කාලයක් නිහඬව සිටීමේ හේතුව ගැනත් පැහැදිලි කිරීමක් සිදු කළා.


කාලයක් මම දැඩිව නිහඬ වෙලා හිටියනේ. මම හිතන්නේ මාව නිහඬ කලා කියලයි. මට ඇත්තටම වැඩ කරන්න දුන්නේම නැහැ. ඒ වැඩ කරන්න නොදීපු පිරිස අතරේ අති බහුතරයක් ඉන්නේ කලාවේ ඉන්න පිරිසමයි. මට සමහර දේවල් විශ්වාස කරන්නත් බැහැ. දේශපාලනය කරපු අය, දේශපාලනයේ හිටපු අය තමයි වැඩිපුරම ඉන්නේ. ඒගොල්ලෝ මගේ ජීවිතය නැති කරන්න උත්සාහ ගත්තා. නමුත් මනුස්සයෙක් විදිහට එතැනට වැටෙන්න වුවමනා නැහැ.


මට වෙච්ච වරදක් නම් ඒ වරද තමයි අරගලයෙන් පසුව දේශපාලනය සිදුකිරීම. ඒක නිසා මාව විතරක් බෙල්ලට හිරකරලා සමාජ මාධ්‍ය ජාල හරහා නොදන්න කතා පවා කියමින් අපහාස කරමින් වට්ටලාම දාන්න ඕනෑ තැනට අරගෙන ආවා. මාව නිහඬ කළා. හැබැයි මේ නිහඬතාවය බිඳින පළමු කෙනා තමයි සුරංග. තත්පරයක් දෙන්න ටෙලි නාට්‍යයෙන් පසුව ඒ නිහඬතාවය බිඳලා දාන්න ඕනෑ කියලා හිතන අපේ ක්‍ෂේත්‍රයේ බොහෝදෙනාගේ විරෝධය මත පුලස්තිගේ බිරිඳගේ චරිතයට දමිතා ඕනෑමයි කියන්නේ සුරංග. මාව ඒ මොහොතේ මේ චරිතයට ගන්න එපා කියලා කියද්දිත් ඔහු ඒ චරිතයට මාව ගන්නවා.


ඒකට හේතුව තමයි සුරංග ටිකක් හිතුවක්කාරයි. ඔහු මගේ යාළුවා වුණත් මීට කලින් ඔහුගේ එක චිත්‍රපටයකටවත් මට කතා කරලා තිබුණේ නැහැ. මාව ගත්තු වෙලාවෙත් මම සුරංගට කිව්වේ ඔයාට ප්‍රශ්නයක් වේවි ද දන්නෙත් නැහැ කියලා. ඔහු මගේ යාළුවා හින්දා මට ඔහුත් එක්ක ඕනෑ දෙයක් කතාබහ කරලා විසඳගන්න පුළුවන්. ඒ වෙලාවේ ඔහු මට කිව්වේ එක දෙයයි. උඹ මගේ යාළුවා හින්දා නෙමෙයි දමිතා අබේරත්න කියන රංගන ශිල්පිනිය මේ රටට ඕනෑ. ඒ රංගන ශිල්පිනිය මොකක් හරි වෙච්ච වරදක් නිසා එහෙම මරලා දාන්න දෙන්න බැහැ වැරදි නොකරපුම කෙනෙක් උඹට ඇඟිල්ල දිගු කරනවා නම් මම එකඟයි.


ඒ ඇඟිල්ල දිගු කරන කවුරුවත් බුදුරජාණන් වහන්සේවත්, නබිතුමාවත්, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේවත් නෙමෙයි ඒ හින්දා ඔයා ඔයාගේ ගමන යන්න කියලා කිව්වා.


මේ චිත්‍රපටය හරහා දමිතා ගැන කතා කරන දවසක් ඒවි. දමිතා අබේරත්න රංගන ශිල්පිනිය ගැන කතාබහ කරන දවස එනකම් මම බලාගෙන ඉන්නවා කියලත් කිව්වා. ඇත්තටම ඒ දවස ආවා ඒකට සුරංගට බොහොම පිං කියලා තමයි කියන්න තියෙන්නේ.


ඔය අතරේ මට තව ස්තූති කරන්න දෙන්නෙක් ඉන්නවා. ඒ තමයි චාමර සමරවික්‍රම. ඔහුත් මට කිව්වා නිහඬතාවය බිඳින්න ඕනෑ කියලා. එහෙම කියලා ස්වර්ණවාහිනියේ විකාශය වන ‘අමුතු කල්ලිය’ ටෙලි නාට්‍යයට ආරාධනා කළා. මාව විශ්වාස කරලා සිවගුරුනාදන් මහත්මයා ඒ වැඩේට තෝරා ගත්තා. ඔය අතරේ පී. සිවදාසන් මහත්මයා ‘දූවිලි දරුවෝ’ නිර්මාණයට ආරාධනා කළා. රජීව් සිවදාසන් ‘ආලේ’ චිත්‍රපටයට කතා කළා. දමිතා අබේරත්න කියන රංගන ශිල්පිනිය විශ්වාස කරලා මට මේ චරිත ලබා දුන්න


සියලුදෙනාටම ස්තූතියි.

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
Previous Post Next Post