ඔහු රංගන ශිල්පියෙක් වගේම සටන් අධ්‍යක්‍ෂවරයෙක්. වර්තමාන සිංහල සිනමාවේ සටන් අධ්‍යක්‍ෂණය ඉදිරියෙන් ලියැවෙන්නෙ ඔහුගේ නම. මීට බොහෝ කලකට පෙර පුංචි තිරයෙන් ඔබ දුටු නිලංජනා ටෙලි නාට්‍යයෙන් නොමැකෙන මතක ගොන්නක් ප්‍රේක්‍ෂකයාට ඉතිරි කළ ඔහු වසන්ත කුමාරවිල.අද අපට අලුතින්ම ඔහු ගැන කතා කරන්න මග පෑදුනේ ‘මොණර විලක්’ සිනමා නිර්මාණයේ ඔහුගේ රංගනයත් සමග.
වසන්ත, ‘මොණර විලක්’ හෝල්වලට ඇවිත්?
ඔව්, මම රංගනයෙන් දායක වුණ මොණර විලක් චිත්‍රපටය මේ දවස්වල තිරගත වෙනව. මට මතක විදිහට මේ නිර්මාණයේ වැඩ අවසන් වෙලා දැනට අවුරුදු පහක් හයක් විතර වෙනව. ඒ වගේම එක දිගට වැඩකටයුතු කරගෙන යන්න ලැබුණෙත් නැහැ. අවුරුදු එකහමාරක් දෙකක් විතර වරින් වර තමයි ෂූටිං කළේ.
ප්‍රවීණ රංගන ශිල්පීන් කිහිප දෙනෙක්ම මේ සඳහා එකතු වෙනව?
ඔව්, මාලනී ෆොන්සේකා, වීණා ජයකොඩි, සනත් ගුණතිලක වගේ රංගන ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයන් කිහිප දෙනෙක් මේ චිත්‍රපටයට සම්බන්ධ වෙනව.
වසන්තට මේ අවස්ථාව ලැබෙන්නෙ කොහොමද?
මට මේ සඳහා ආරාධනා කරන්නෙ චිත්‍රපටයේ පිටපත් රචක සෝමපාල ලීලානන්ද මහත්මයා. පිටපත අතට ලැබුණාම ඒකෙ තිබුණ රසයට මම කැමති වුණා.
කාන්තාවක් මූලික කරගත් නිර්මාණයක්?
බහුතරයක් කාන්තාවන්ට සිදුවන අකටයුතුකම්, ඒවායින් ඔවුන් පීඩාවට පත්වෙන හැටි, අසරණ වෙනහැටි, නමුත් ඒවා දරාගෙන ඔවුන් ජීවිතයට මුහුණ දෙන හැටි කාන්තාවක් මුල්කරගෙන මේ නිර්මානය තුළ ලස්සනට පෙළගස්වල තියෙනව.
ඔබට ළඟම සහාය චරිතය නිරූපණය කරන්නෙ අප අතරින් වියෝ වුණ දර්ශන් ධර්මරාජ්. චිත්‍රපටය නරඹද්දි මේ දර්ශන පෙළ ඔබ වෙත ගෙනාවෙ මොන වගේ හැඟීමක්ද?
ඇත්තටම ඒක හරිම දුක්බර අවස්ථාවක්. දර්ශන් කියන්නෙ මම ඉතාමත් ආදරය කරන, ගෞරව කරන මගේ කාලයේ අති දක්‍ෂ රංගන ශිල්පියෙක්. ඔහු එක්ක වැඩ කරන්න ලැබීමත් මට අති විශේෂයි. චිත්‍රපටයේ අපි දෙන්නට රඟපාන්න තියෙන්නෙත් ඉතාමත් මිත්‍රශීලී චරිත දෙකක්. ඒක අපි දෙන්නටම අභියෝගයක් වුණෙත් නැහැ.
ඔහුගේ වියෝව ඔබේ වචනවලට නැගුවොත්?
දර්ශන් කියන්නෙ ලංකාවේ සිනමාවට අත්‍යවශ්‍ය නළුවෙක් වගේම තව දිගු කලක් සිංහල සිනමාවේ සිටිය යුතු කෙනෙක්. මෙවැනි අති දක්‍ෂයෙක් අප අතරින් ඉක්මනින්ම ඈත් වීම සිනමාවට වගේම පෞද්ගලිකව අපටත් අති විශාල පාඩුවක්.
තිරයේ දකින ඔබේ රංගනය ගැන සෑහීමකට පත් වුණාද?
නිර්මාණයක් කළාට පස්සෙ ඕනෑම රංගන ශිල්පියකුට හෝ ශිල්පිනියකට හිතෙන දෙයකන් තමයි, අනේ මේක මට අද කරන්න තිබුණා නම් මීට වඩා හොඳට කරනවනෙ කියන එක. ඉතිං මටත් ඒ හැඟීම දැණුනා. අඩුපාඩු තියෙන්න ඇති, තියෙන්නත් පුළුවන්. නමුත් මට මගේ කොටස ගැන සතුටුයි.
නිර්මාණය තුළ ඔබ වැඩිම කාලයක් ගෙවන්නෙ උමයංගනා සමග?
ඔව්, උමයංගනා කියන්නෙත් මගේ කාලයේ මුණගැසුන ඉතාමත් දක්‍ෂ රංගන ශිල්පිනියක්. ඇය සමග වැඩ කරන එකත් ඉතාම පහසුයි. විශේෂයෙන්ම ‘මොණර විලක්’, අපි සියලු දෙනා බොහොම සහෝදරත්වයෙන් වැඩ කරපු චිත්‍රපටයක්.
සටන් අධ්‍යක්‍ෂවරයාගේ භූමිකාව මොන වගේද?
මේ චිත්‍රපටයේ නම් මට කරන්න ලොකු දෙයක් තිබුණෙ නැහැනෙ. මීට අමතරව සූරිය සුළඟ, ඕ. අයි. සී. ගඩාෆි වගේ චිත්‍රපටවලට සටන් අධ්‍යක්‍ෂණයෙන් මම සම්බන්ධ වුණා.
ඔබේ වැඩි කැමැත්ත සටන් අධ්‍යක්‍ෂවරයාටද නළුවාටද?
සිනමාව කියන්නෙ මගේ ජීවිතය වගේම මගේ මහ ගෙදර. ඉතිං එහි මොන අංශයක් නියෝජනය කරන්න ලැබුණත් මං ඒකට කැමතියි. මේ අතරින් මගේ ප්‍රධානම දේ විදිහට ගත්තොත් සටන් අධ්‍යක්‍ෂණය කියන දේට මම බොහොම කැමතියි. මම ඉගෙන ගත් දෙයින් සියයට විස්සක් විතර තමයි මේ වනතුරුත් ප්‍රයෝජනයට අරගෙන තියෙන්නෙ. ඉතිරි සියයට අසූවටත් අවස්ථාවක් ලැබෙන තුරු මම මගේ උපරිම දායකත්වය ලබා දෙනව. නමුත් මීට අවුරුදු දහයක් විතර ආපස්සට ආවොත් රංගනයටත් කෑදරකමක් තියෙනව.
සටන් අධ්‍යක්‍ෂණයෙන් දායක වුණ නිර්මාණ ගැන අදහස මොන වගේද?
මම සටන් අධ්‍යක්‍ෂණයෙන් සම්බන්ධ වුණ නිර්මාණ බොහොමයක් අති සාර්ථක වෙලා තියෙනව. ලංකාවේ සිනමාව තුළ සටන් අධ්‍යක්‍ෂණය කියන්නෙ බොහොම භාරධූර කාර්යයක් වගේම වගකීමෙන් කරන්න ඕන දෙයක්. මාර්ෂල් ආර්ට් කරපු පමණින්, ජිම්නාස්ටික් කරපු පමණින් මේ වගේ දෙයක් කරන්න බැහැ.
සටන් අධ්‍යක්‍ෂවරයකුට ලංකාවේ සිනමා ක්‍ෂේත්‍රය තුළ නිසි තැනක් තියෙනවද?
ඔව්, මම විශ්වාස කරනව තැනක් තියෙනව කියල. මම අද ඉන්නෙ ඒ තැන. අපිට ලැබෙන තැන තුළ අපි දැනගන්න ඕන ඒක පවත්වාගෙන යන්න.
ඒ තුළ තමයි සාර්ථකත්වය තියෙන්නෙ.
සූරිය සුළඟ චිත්‍රපටයේ සටන් අධ්‍යක්‍ෂණය මොන වගේ අත්දැකීමක්ද?
ප්‍රියන්ත අයියගෙ ‘සකූගේ කතාව’ ටෙලි නිර්මාණයේ රඟපාන්න මට අවස්ථාව ලැබෙනව.
ඒ හඳුනාගැනීමත් එක්ක තමයි සූරිය සුළඟ චිත්‍රපටයේ සටන් අධ්‍යක්‍ෂණයට මට අවස්ථාව ලැබෙන්නෙ. මීට කලින් ප්‍රියන්ත අයියගෙ නිර්මාණවල සටන් තිබුණෙ නැහැ. නමුත් මෙතැනදි ඔහුට අවශ්‍ය වුණා වෙනස්ම දෙයක් කරන්න. ඒ වෙනුවෙන් ඔහු මේඝව පෙර පුහුණුවීම්වලට පවා යොමුකරවල මේ වැඩේ සාර්ථක කරගන්න ඉතාමත් හොඳ සහයෝගයක් මට ලබා දුන්නා. විශේෂයෙන්ම කියන්න ඕන දෙයක් තමයි, වර්තමානයේ ඉන්න ගොඩක් තරුණ නළුවන් සටන් ජවනිකාවලට දක්‍ෂතාවක් දක්වනව. නමුත් ඔවුන්ට ඒ වගේ අවස්ථාවන් ලැබෙන්නෙ ඉතාමත් අඩුවෙන්.
කලාවෙන් මිදුන, වසන්තගෙ සාමාන්‍ය ජීවිතේ කොහොමද?
මගේ දරුවො දෙන්නම විදෙස්ගත වෙලා අධ්‍යාපන කටයුතු අවසන් කරල තියෙන්නෙ. දැනට ඔවුන්ගේ පදිංචිය එංගලන්තයේ. මමත් මගේ බිරිඳත් අද බොහොම සතුටින් ජීවත් වෙනව. ඒ වගේම මම හිතනව මම තව වැඩි කාලයක් සිනමාවේ රැඳෙන එකක් නැහැ. මගෙන් පස්සෙ පරම්පරාවටත් ඉස්සරහට එන්න ඉඩක් දෙන්න ඕනා. ගුරුහරුකම් අවශ්‍ය ඕනෑම කෙනකුට මගේ ළඟ ඉඩ තියෙනව. හැබැයි හොඳ කැපවීමක් විනයක් තියෙන කෙනකුට විතරයි ඒ අවස්ථාව තියෙන්නෙ. මොකද ගොඩක් අයට උදව් කරල පස්සෙ බැණුම් අහපු අවස්ථා ගොඩක් මගේ ජීවිතේ තියෙනව.