නව පරපුරේ රංගන ශිල්පිනියන් ගත්තාම වේදිකාවත් එක්ක ගනුදෙනු කරන අය ඉන්නෙ ගොඩක් අඩුවෙන්නෙ. ඒ අඩුපාඩුව ප්‍රේක්‍ෂකයන්ටත් දකින්න ලැබෙන අවස්ථා බොහොමයි. මේ අතරින් මධුෂාණි වික්‍රමසිංහ කියන්නෙ වේදිකාවට ගොඩක් කැමති කෙනෙක් වගේම දක්‍ෂතා ගොඩක් තියෙන කෙනෙක්. ඇයගේ අලුත්ම නිර්මාණය ‘ඔස්කාර්’, මේ දවස්වල රිදී තිරයේ දිගහැරෙනව. ඒ ගැන කතාබහ කරන්න ගිය අපිට තවත් විශේෂ කාරණයක් ඇය කිව්වා.ඒක… ලේඩීස් ඔන්ලි.
මධුෂාණි, මොකක්ද මේ ‘ඔස්කාර්’?
මේ දවස්වල මම රංගනයෙන් දායක වුණ ෆිල්ම් එක රිලීස් වෙලා තියෙනව. ඒ ගැන තමයි මේ කියන්නෙ.
මොකක්ද මේ දවස්වල තත්ත්වය?
මේ දවස්වල ‘ඔස්කාර්’ ෆිල්ම් එක ගොඩක් මිනිස්සු අතරට ගිහින් තියෙනව. ඒ නිසාම මේ ගැන ගොඩක් දෙනෙක් කතාබහ වෙනව. ඇත්තටම ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබෙනව.
මේ අවස්ථාව ලැබුණ විදිහ ගැනත් කියමු?
මට මේ නිර්මාණයට සම්බන්ධ වෙන්න කියල ආරාධනා කරන්නෙ අධ්‍යක්‍ෂ එරංග සේනාරත්න මහත්මයා. ඒ මොහොතෙ මම හිටියෙ ලංකාවෙ නෙමෙයි. ආරාධනයත් එක්ක ලංකාවට ඇවිත් පිටපත කියවල සූදානම් වෙන්න තිබුණෙ ඉතාමත් කෙටි කාලයක්.
ඇත්තටම මේ තිර පිටපත ගැන විශේෂයෙන් මතක් කරන්න ඕන. බිනලි රොෂාන්ති සේනාරත්ත මහත්මිය මේ පිටපතේ පාලිත අයියගෙනුයි මගෙනුයි ගොඩනැගෙන්න ඕන චරිත මනාව ලියල තිබුණා. ඒ අනුව පාලිත මහත්මයාට ඔහුගේ අත්දැකීම් අනුව චරිතය ලෙහෙසියන් හසුරුවා ගන්න පුළුවන් වුණ බව මම දැක්කා. ඒ වගේම ඔහු දිහා බලල මමත් අත්දැකීම් ගොඩක් ලබා ගත්තා. මට තිබුණෙ රංගන අභ්‍යාසයක් නොමැති නිළියකගේ චරිතයක් නිරූපණය කරන්න. ඒක ටිකක් අභියෝගාත්මක වුණා.
මේ නිර්මාණයේ රූගතකිරීම් බොහෝ දුරට සිදු වුණේ පානදුර අවට. ලොකේෂන් ගොඩක් නැති වුණාට අපිට හොඳ අත්දැකීමක් ගන්න පුළුවන් වුණා.
මේ කාලය වෙනකොට මම ලොකු ඩයර්ට් පීරියඩ් එකක හිටියෙ. ඒක මේන්ටේන් කරගෙන යන්න අපේ ප්‍රඩියුසර්ගෙ බිරිඳ මට ලොකු සහයෝගයක් ලබා දුන්නා.
‘ලොක්ක ලෙඩ වෙලා’ සමග යන ගමන කොහොමද?
ඇත්තටම මං හරි සතුටුයි ඒ වගේ නාට්‍ය කණ්ඩායමක් එක්ක වැඩ කරන්න ලැබීම ගැන. ගිහාන් ප්‍රනාන්දු, චමිලා පීරිස් වැනි ප්‍රවීණ රංගන ශිල්පීන් එක්ක වැඩ කරන්න ලැබීම මම ලබපු භාග්‍යක්. ඔවුන් සමග මාසයකට අධික කාලයක් විදෙස් සංචාරයකටත් එකතු වෙන්න මට අවස්ථාව ලැබුණා. ‘ලොක්ක ලෙඩ වෙලා’, මගේ ජීවිතයට වාසනාවන්ත අත්දැකීමක්.
වෙනත් වැඩකටයුතු මොනවද?
මේ දවස්වල අලුතින් වේදිකා නාට්‍යයකට ලෑස්ති වෙනව. ඒකත් රට වටා, ලෝකෙ වටා ගෙනියන්න බලාගෙන කරන්නෙ. වැඩි විස්තර ඉදිරියේදි කියන්නම්.
වේදිකාවට වැඩිපුර ආරාධනා ලැබෙනව?
ඔව්, වේදිකාවට වැඩිපුර ආරාධනා ලැබෙනව. ඒ වගේම මගෙත් වැඩි කැමැත්තක් තියෙනව සිනමාවට වගේම වේදිකාවටත්.
ටෙලි නාට්‍යවල වැඩිය දකින්න නැහැ?
මම රංගන ක්‍ෂේත්‍රයේ පමණක් නියැළිලා ඉන්න කෙනෙක් නෙමෙයි නිසා සිනමාවෙන් සහ වේදිකාවෙන් එන ආරාධනාවලට වැඩි ඉඩක් දෙනව. ටෙලියක වුණත් මට ගැළපෙන වගේම කරන්න දෙයක් තියෙන චරිතයක් ලැබුණොත් භාරගන්නව.
ඔබ නර්තන ගුරුවරියක්?
ඔව්, නර්තන ගුරුවරියක් විදිහට ලංකාව වටේම මගේ නර්තන පාසල් ක්‍රියාත්මක වෙනව. ඒ නිසා සතියේ දවස් හතම ගොඩක් බිසී.
නර්තන කණ්ඩායමක් පටන් ගන්නත් අදහසක් ඇති?
මුල් කාලෙ නම් එහෙම අදහසක් තිබුණා. නමුත් දැන් ළමයින්ගෙන් ලැබෙන මේ ආදරයත් එක්ක මම කැමතියි ඉදිරියටත් ගුරුවරියක් විදිහටම වැඩ කරන්න.
අලුත්ම වැඩේ ගැනත් කියමු?
ඔව්, මගේ අලුත්ම වැඩේ තමයි ලංකාවේ පළමු වතාවට ලේඩිස් ඔන්ලි, ලයිව් මියුසික් එන්ටර්ටේන්ට්මන්ට් ඉවෙන්ට් කම්පැනි එකක් පටන්ගන්නව. වැඩ කරන අයත් ලේඩීස්ල. ඒකෙ මූලික අදියර කිහිපයක් පසුගිය කාලෙ සාර්ථකව පසු කළා.
ඒ වගේම ලැබෙන ලාභයෙන් කොටසක් කාන්තාවන්ගේ අවශ්‍යතා වෙනුවෙන් යොදවන්නත් බලාපොරොත්තු වෙනව. ළඟදීම කොළඹින් පටන්ගන්න තමයි බලාපොරොත්තුව.
විලාසිතා ගැන අදහස මොන වගේද?
ඇත්තටම විලාසිතා කියන්නෙ විශේෂයෙන්ම කාන්තාවන්ට ජීවත් වෙන්න හොඳ මෝටිවේෂන් එකක්. මේ මම ට්‍රයි කරන දේ. අපි අලුතින් දෙයක් ගනිද්දි, අලුතින් දෙයක් අඳිද්දි, අලුත් විදිහට වෙනස් වෙද්දි ජීවිතේ අලුත් වෙනව වගේ දෙයක් තමයි මට දැනෙන්නෙ.
නිරූපණයෙන් ඈත් වෙලාද?
නිරූපණයෙන් ඈත් වෙලා නම් නැහැ. නමුත් ඒ වෙනුවෙන් යොදවන්න තියෙන කාලය අඩුයි. නමුත් මෑත කාලයේ ඒ වගේ කිහිපයක් කළා.
නිරූපණයේදී සහ විලාසිතාවලදි සීමා මායිම් තියෙනවද?
විලාසිතාවන්ගේ සීමාව විදිහට මම දකින්නෙ ඒ අවස්ථාව සහ තැන. අපි අඳින ඇඳුම සහ කරන දේ තැනට ගැළපෙනවද කියන දේ තමයි සීමාව.
විවාහයටත් දැන් ගෙදරින් බලපෑම් ඇති?
ඔව්, ගෙදරක දීග යන වයසෙ ගැහැනු ළමයෙක් ඉන්නකොට අම්මලා තාත්තලා එහෙම කියනවනෙ, අපේ ගෙදරත් ඒක ඒ විදිහටම තියෙනව. නමුත් ඒවා ගැන ටිකක් හිතන්න ඕනා. මම ආසයි නිදහස් කාන්තාවක් විදිහට ජීවිතේ ගෙනියන්න. ඒ නිසා විවාහ වෙනවද නැද්ද කියන දේ ගැන මම ටිකක් හිතනව.