ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක සහ නළු මහේෂ් මංජරේකර්ගේ බිරිඳ වන ජනප්‍රිය මරාති නිළි මේධා මංජරේකර් තමන් පසුගිය මාස කිහිපය පුරා පිළිකා රෝගයට ප්‍රතිකාර ලබමින් සිටි බව ප්‍රථම වරට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කර තිබේ. තම පනස් අට වැනි වියේ පසුවන ඇය පසුගිය ඉරිදා ඉන්ස්ටග්‍රෑම් ගිණුම හරහා මෙම සංවේදී පුවත රසිකයන් සහ හිතවතුන් අතර බෙදා ගත් අතර, රෝහලේදී ගන්නා ලද ඡායාරූප කිහිපයක් ද ඒ සමඟ එක්කර තිබිණි.
රෝගී තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් ඇය පවසා සිටියේ මෙය තමන්ට හුදෙක් වෛද්‍ය ප්‍රතිකාර ලබාගත් කාලපරිච්ඡේදයක් පමණක් නොව, ජීවිතය දෙස නව මානයකින් බැලීමට ඉඩ සලසා දුන් අත්දැකීමක් බවයි. ඉතා අසීරු අවස්ථාවලදී පවා තමන් කිසිදු විටෙක තනිවූ බවක් නොදැනුණු බවත්, සෑම පියවරකදීම තම පවුලේ සාමාජිකයන්, මිතුරන් සහ වෛද්‍ය කණ්ඩායම ලබා දුන් සහයෝගය අතිමහත් බවත් ඇය සිහිපත් කළාය.
විශේෂයෙන්ම තම දියණියන් වන සායි මංජරේකර් සහ ගෞරි ඉන්ගවාලේ රෝගී කාලය පුරාම තමන්ව රැකබලා ගනිමින් ලබා දුන් සහයෝගය ඇය කෘතවේදීව සිහිපත් කර තිබේ. දරුවන් වෙනුවෙන් මෙතෙක් කලක් මවක් ලෙස ඉටුකළ යුතුකම්, අසනීප කාලයේදී දියණියන් විසින් මවට ආපසු ලබා දීම ඇයට විශාල ශක්තියක් විය. එසේම සැමියා වන මහේෂ් මංජරේකර් මුළු කාලය පුරාම තමන් අසලින්ම නොසැලී රැඳී සිටිමින් ලබා දුන් සහයෝගය ගැනද ඇය සිය කෘතඥතාව පල කළාය.
ප්‍රතිකාර ලබන කාලය තුළ මිතුරන් විසින් කරන ලද සුළු සුළු උපකාර පවා තමන්ට විශාල මානසික සහනයක් වූ බව මේධා වැඩිදුරටත් සඳහන් කළාය. ආහාර ගැනීමේ අපහසුතා පැවති අවස්ථාවලදී තමා කැමති ආහාර වර්ග සොයා ගෙනවිත් දීම සහ විවිධ ක්‍රම මගින් සතුටු කිරීමට මිතුරන් උත්සාහ දැරීම ඇයගේ සිතට මහත් අස්වැසිල්ලක් ගෙන දී ඇත.
මෙම හෙළිදරව්වත් සමඟ මරාති සිනමා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් ඇතුළු බොහෝ දෙනෙක් ඇයට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් පණිවිඩ නිකුත් කර තිබේ. මරාති මෙන්ම හින්දි සිනමාවේ ද චරිත නිරූපණය කර ඇති මේධා මංජරේකර්, පසුගිය කාලය පුරා සමාජ මාධ්‍යවලින් තරමක් දුරස්ව සිටි නමුත්, ඇයගේ මෙම නිර්භීත ප්‍රකාශය පවුලේ බැඳීම් සහ අභියෝග හමුවේ නොසැලී සිටීමේ වැදගත්කම ලොවටම කියා පාන්නක් විය.