මේ දිනවල තිරගත වෙන ප්‍රියන්ත කොළඹගේ 7 වැනි සිනමා නිර්මාණය තමයි ‘සූරිය සුළඟ’. ඉසුරු ලොකුහෙට්ටිආරච්චි සහ අශාන් ඩයස් කියන්නේ එකම යුනිට් එකේ වැඩකරන අය. හැබැයි දෙන්නාගේ හැසිරීම හරිම වෙනස්. ඉසුරු මේ ෆිල්ම් එකේ ඉන්නේ හරිම වෙනස් විදිහට. කොයි වෙලාවෙත් බුලත් විටක් හපා ගෙන තමයි රාජකාරිය කරන්නේ. ඉතිං ‘සූරිය සුළඟ’ හි ඉසුරු ලොකුහෙට්ටිආරච්චි රඟපාන මේ චරිතය ගැන ඔහුට තිබුණේ මෙන්න මේ වගේ අදහසක්.
ඇත්තම කිව්වොත් ඒක වෙනස්ම චරිතයක්. රාජ්‍යයක් පවත්වාගෙන යෑමට සහයෝගය ලබා දෙන නිලධාරියකුගේ චරිතයක්. ඉතිං මේ චිත්‍රපටයෙ චරිතය මට ප්‍රියන්ත කොළඹගේ මහත්මය ලබා දුන්නට පස්සේ මගේ අත්දැකීම් සහ මම දන්න කිහිපදෙනකුගේ අත්දැකීම් එකතු කරල තමයි ඔය චරිතය හැදුවේ.
ඉසුරුත් හමුදා නිලධාරියෙක් විදිහට ජීවිතයේ ලද අත්දැකීම් මේ චරිතයට එකතු කරලා ද කියන කතාවත් අපි විමසුවා.
සමහර ස්පෙෂල් මිෂන්වලට ලොකු කැපකිරීම් සිදු කරන ආරක්‍ෂක අංශ නිලධාරීන් ඉන්නවානේ. තමන්ගේ ලයිෆ් එක ගැනවත් හිතන්නේ නැතිව රාජකාරි සිදු කරන නිලධාරීන් ඉන්නවා. ඉතිං එහෙම නිලධාරීන්ව සමහරක් වේලාවට දේශපාලඥයන් විසින් වැරදි විදිහට පාවිච්චි කරනවා. ඒකට එරෙහිව තමයි මේ නිලධාරියාත් නැඟීසිටින්නේ. මම මේ චරිතයට කරපු කැපකිරීමට ලැබෙන ප්‍රතිචාරය ගැන හරිම සතුටින් ඉන්නේ.
කරපු කැපකිරීම්වල තරම කියන්නේ “සූරිය සුළඟ” ෂූටින් ඉවරවෙලාත් බුලත් විට කන එක නතර කළේ නැතිලු…
ඇත්තම කතාව බුලත් විට කෑවහම ඒකට ඉක්මනට ඇබ්බැහි වුණා. ඇත්තම ස්වභාවය ගත්ත හුනු, දුම්කොළ එක්ක බුලත්විට කන්න ඕනෑ. මම මීට කලින් එහෙම බුලත් විට කාලා නැහැ. මාසයක් විතර එක දිගට කෑවට පස්සේ මට ඒකෙන් ඇත්තටම ගැලවෙන්න බැරිවුණා. රූගත කිරීම්වල හිටපු ස්වභාවයෙන් හඬ කවන්නත් ඕනෑ හින්දා දෙපාරක්ම කන්න සිද්ධවුණා. මට ටිකක් අමාරු වුණා බුලත්විට කෑමෙන් ගැලවෙන්න. අර බුලත්විට කද්දි පොඩි චූන් එකක් එනවානේ. හරි ආසයි, විට කාපු අය දන්නවානේ. ඒ පුරුද්දෙන් ගැලවෙන්නත් හරි අමාරුයි කියලා. තව එකක් තමයි විට කන චරිතයක් පළමු වතාවට තමයි රඟපෑවේ.
මෙහි විශේෂයෙන් මතක් කරන්න ඕනෑ, අපේ අංග රචන ශිල්පියා ඉසුරු, උදාර, ඇඳුම් නිර්මාණ ශිල්පි ලසන්ත උඩුකුඹුරගෙන් ලොකු සහයෝගයක් ලැබුණා. ඒවගේම කැමරා අධ්‍යක්‍ෂ රුවන් කොස්තාත් අමතක නොකර බැහැ.
ඔය අතරේ ඉසුරුගෙන් මේඝට ඇත්තටම ගුටිකන්න වුණ අවස්ථා එහෙමත් තියෙනවාද නැතිද කියල අහන්නත් අපි අමතක කළේ නැහැ.
මේඝව එල්ලලා තියනවා. ආපහු බානවා. ලේසි නැහැ. මේඝ මේ චරිතයට ලොකු කැපකිරීමක් සිදු කළා. ඒකට ඔහුට අපි ඩබල් සැලියුට් කරන්න ඕනෑ. ගහන දර්ශනවලදී සටන් අධ්‍යක්‍ෂ වසන්ත කුමාරවිලගෙනුත් ලොකු සහයෝගයක් ලැබුණා. අපෙන් ගුටිකන එකටත් වඩා ඒ පරිසරයට හුරු වෙලා රූගත කිරීමට අනුගත වෙනවා කියන්නේම ලොකු වැඩක්. මේඝ ඒ වැඩේ හරියට කළා.
සූරිය සුළඟ නැරඹුවාට පස්සේ ඉසුරු, ඒ සතුට අපත් සමග බෙදාහදාගත්තේ මෙන්න මේ ආකාරයට.
මට වැඩියෙන්ම සතුට දැනුණේ මංගල දර්ශනය දවසේදී. ප්‍රේක්‍ෂකයාගෙන්, ක්‍ෂේත්‍රයේ සමකාලීනයන්ගෙන් ලැබුණ ලොකු අගය කිරීමක්. ඇත්තටම ඕක තමයි සතුට. අපි වෘත්තීය රංගන ශිල්පියෝ තමයි. රඟපෑම අපේ රස්සවා. හැබැයි ඒ රස්සාව ඇතුළේ අපි කරන්නේ තමන් කැමැති රස්සාවනේ. රස්සාවල් ගොඩාක් කරලා මම මේ කරන්නේ ආසම රස්සාව. මම මේ රස්සාවට හරි ආසයි. ආස රස්සාව ඇතුළේ ලැබෙන අගය කිරීමට හරිම ආසයි.
මිනිස්සුන්ට පුළුවන් තරම් ගහලා, පීඩාවට පත් කරලා ප්‍රශ්න කිරීම් හින්දා ඒ සිදුවීම් පෙළට ප්‍රේක්‍ෂකයෝ බැන්නේ නැති ද කියලත් ඉසුරුගෙන් අහන්න අපි අමතක කළේ නැහැ.
එක තැනකදී මේ නිලධාරීන් හරි තීරණයක් ගන්නවානේ. මේ සිදුවීමේදී අශාන්ගේ ලස්සන දෙබසක් තියෙනවා.
‘කාකි යුනිෆෝම් එකට දේශපාලකයාගේ බලු වැඩ වහන්න පුළුවන්. සීමාවක් තියෙනවා “බල්ලෝ” කියන දෙබස.
මේ කතාවෙන් එක දෙයක් තියෙනවා. ජරා ජීර්ණ දේශපාලනඥයාට එරෙහිව මිනිස්සු නැඟිටින්න. අපේ රටේත් ඒක ඇත්තටම සිද්ධ වුණා. ඉතිං මේක හරි කාලීන චිත්‍රපටයක්. ඊට අමතරව මේකේ හරි ලස්සන ආදරයක් තියෙනවා. තාත්තගෙයි පුතාගෙයි ඒ පිය සෙනෙහස හරි හැඟීම් බරයි. ටෙරී අයියා ඉතාම දක්‍ෂ විදිහට ඒකේ රඟපානවා. ඒ බැඳීම හරි ලස්සනයි. මෙහි සංගීත අධ්‍යක්‍ෂවරයාත් සංගීතයේ වෙනස්ම තැනකට අරගෙන යනවා.
අපි හැමදාම හැම එකටම කියනවානේ පවුලේ සැමට නැරඹිය හැකි චිත්‍රපටයක් කියලා. මේ චිත්‍රපටය කිසිම චකිතයකින් තොරව ටිකට් පතක් අරගෙන ගිහිල්ලා බැලුවොත් තමන්ට ලොකු ආස්වාදයක් ලබන්න පුළුවන් චිත්‍රපටයක් තමයි “සූරිය සුළඟ”.
මේ දවස්වල මොකද වෙන්නේ කියන ප්‍රශ්නයට ඉසුරුගෙන් හම්බවුණේ මෙන්න මේ වගේ උත්තරයක්.
Take Care සහ පට්ටි ගෙදර කියන ටෙලි නිර්මාණ දෙක කරපු අනුෂ්ක රසාංජන මල්ලිගේ අලුත්ම චිත්‍රපටය වන “අන්තෝ ජටා” හි රූගත කිරීම්වලට මේ දිනවල සහභාගි වෙලා ඉන්නවා. මමත් රෙබෙකාත් සාරංග සහ දිනක්‍ෂිත් මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වෙනවා. ඒ වගේම වසන්ත වන්නිගම අධ්‍යක්‍ෂවරයාගේ අග්නි වර්ෂා කියන ටෙලි නාට්‍යයෙත් රූගත කිරීම් අවසන් කළා. ඊට අමතරව සාරංග මෙන්ඩිස් මහත්මයාගේ අලුත්ම ටෙලි නාට්‍යයකට සම්බන්ධ වෙලා ඉන්නවා. ඔය අතරේ “කෝ කුක්කෝ” වේදිකා නාට්‍යයත් එක්ක රට වටා ගමනක් යනවා. ඔන්න ඔය ටික කරගෙන දැහැමින් සෙමින් ජීවත් වෙනවා.
මම පටන් ගත්තු තැනත් එක්ක අද දක්වා ආපු ගමන ගැනත් මම හරි සතුටින් ඉන්නේ. එකිනෙකට වෙනස් චරිත කරන්න මට අවස්ථාව ලැබුණා. ඉතිං මේ සියල්ලන්ටම අධ්‍යක්‍ෂවරුන්ට වගේම නිෂ්පාදකවරුන්ටත් ස්තූතිවන්ත වෙනවා. ඉදිරියටත් විවිධ වූ චරිත නිර්මාණය කිරීමට බොහොම ආසාවෙන් ඉන්නවා කියන කාරණාවත් එක්කම අපි ඉසුරුගේ කතාව අහවර කළා.