කාමර අංක 106 සිද්ධිය ගැන හොයනවා-නයෝමි තක්‍ෂිලා

gossiplanka image 1
නයෝමි තක්‍ෂිලා කියන්නෙ සම්මානිත රංගන ශිල්පිනියක්. නමුත් පසුගිය කාලය පුරා ඇයගේ නම වැඩිපුර කතාබහ වුණේ නිල් මානෙල් මලුත් එක්ක. දැන් මේ සම්බන්ධය මොකක්ද කියල හැමෝම වගේ දන්නවනෙ. අපි අද ඇයත් එක්ක කතා බහ කරන්න එකතු වුණේ Room Number 106 ගැන දැනගන්න.


Room Number 106 ට මට ආරාධනා කරන්නෙ සුරංග, සුනෙත්, මෙවන් කියන අයියලා සහ ඔවුන්ගෙ කණ්ඩායම. පිටපත කියවපු සැණින් මම වැඩේට කැමති වුණා. ඒ වගේම පිටපත කියවපු වෙලාවෙ මම දැකපු චිත්‍රය මේ චිත්‍රපටයෙන් මම දැක්කා.


නයෝමි Room Number 106ට සම්බන්ධ වෙන්නෙ ඔය විදිහට…


මේ වෙනකොට මාධ්‍ය දර්ශනය සහ මංගල දර්ශනය තිරගත කරල නිසා එදා ආපු අය නයෝමිට මොනවද කිව්වෙ කියල අපි අහල බැලුවා.


මේ දර්ශන වාර දෙක බලපු ගොඩක් අය චිත්‍රපටයට කැමතියි. එයාල කිව්වෙ පිටපතට සහ ඒ සිදුවීමට සාධාරණයක් කරල තියෙනව කියල.


සත්‍ය කතාවක් පාදක කරගෙන නිර්මාණයක් කරද්දි ටිකක් පරිස්සම් වෙන්නත් වෙනව…


මේක සමකාලීන මාතෘකාවක් වගේම සත්‍ය කතාවක් ඇසුරෙන් කරපු නිර්මාණයක් නිසා අනෙක් නිර්මාණවලට වඩා අපිට පරිස්සම් වෙන්න සිදු වුණා වගේම අවධානයක් දෙන්න සිදු වුණා. මොකද අපිට අවශ්‍ය විදිහට කතාව වෙනස් කරන්න බැහැනෙ.


මාධ්‍යවේදිනියගේ චරිතයත් මට අලුත් එකක්. ඒ නිසා ගොඩක් අයට වෙනසක් දැනිලා. ඒ වගේම වෙනස් විදිහට හිතන මාධ්‍යවේදිනියක් නිසා සමාජයටත් ආදර්ශවත් චරිතයක් විදිහට තමයි එදා ආපු අය මගේ චරිතය දැකල තිබුණෙ.


මාධ්‍යවේදිනියකගේ චරිතයත් එක්ක ප්‍රේක්‍ෂකයාට නයෝමි තිරයෙන් දකින්න ලැබෙන්නෙ අවුරුදු එකහමාරකට පස්සෙ. ඒ සාමූහික අත්දැකීම ඇයට දැණුනෙ මේ විදිහට.


මේක අපි මහන්සි වෙලා පවුලක් විදිහට කරපු වැඩක්. ඒ කණ්ඩායමේ සාර්ථකත්වය තමයි අවසානයේ අපිට තිරයෙන් දකින්න ලැබුණෙ. ඇත්තටම ගොඩක් සතුටුයි.


මීට අමතරව ඇය රංගනයෙන් දායක වුණ ටෙලි නාට්‍ය දෙකක් මේ දවස්වල විකාශය වෙනවා.


ප්‍රියන්ත ප්‍රනාන්දු මහත්මයාගෙ ‘සංවරය’ ටෙලි නාට්‍යය අයි. ටී. එන්. නාළිකාවේත්, හිරු නාළිකාවේ ‘අම්මා’ ටෙලි නාට්‍යයත් විකාශය වෙනවා.


ප්‍රියන්ත අයියයි මමයි ඩ්‍රාමා ස්කූල් එකේ ඉන්න කාලෙ කොමර්ෂල් එකක් කළා. එතැනින් නවතින්නෙ නැතිව අපි දිගටම වැඩ කරගෙන ආවා. ඒ දැනහැඳුනුම්කමත් එක්ක තමයි ඔහුගේ ‘සංවරය’ ටෙලි නිර්මාණයට මට ආරාධනා කරන්නෙ.


එකට වැඩ කළත් ප්‍රියන්ත හරි නපුරුයිලු…


අධ්‍යක්‍ෂවරයෙක් විදිහට ගත්තාම ප්‍රියන්ත අයියට තරහ යන වෙලාවල් තියෙනව. නමුත් ඇත්තටම නළු නිළියන්ව සෙට් එකේදි නිදහසේ තියනව. ලොකු ප්‍රෙෂර් එකක් දෙන්නෙ නැහැ. ඔවුන්ගේ මනස නිදහසේ තියන්න තමයි නිතරම උත්සාහ කරන්නෙ. හරි සුන්දර මනුස්සයෙක්. ඔවුන් එක්ක වැඩකරන්න ලැබීමත් මගෙ වාසනාවක්.


නිළියක් විතරක් නෙමෙයි… නයෝමි, බොහෝ දෙනෙක් දන්න ව්‍යාපාරික කාන්තාවක්.


මගේ නිල් මානෙල් ව්‍යාපාරය සාර්ථකව කරගෙන යනව. ඊට අමතරව අලුතෙන්ම අපි හඳුන්වා දුන් නයෝතා හඳුන්කූරු මේ දවස්වල රටපුරා බෙදා හරිනවා. මේ කතාවෙ මුල මතක් කළොත් අපේ අම්මා පූජා කරන්න හදපු පැල දෙකතුනකින් පටන් ගත්ත දේ තමයි අද ලෝකය පුරාම යන්නෙ. රංගන ක්‍ෂේත්‍රයට අමතරව ව්‍යාපාරික කාන්තාවක් විදිහට ඉස්සරහට යන්න මට පාර කිව්වෙ අම්මගෙ, තාත්තගෙ අදහස් සහ මහන්සිය.


ඒ විතරක් නෙමෙයි… නයෝමි සුද්දන්ටත් නිල් මානෙල් පොවනව.


ඇත්තටම අද අපේ ගෙදර වත්තෙ හැදෙන නිල් මානෙල් මලෙන් හැදෙන ටී එක පිටරටවල සුද්දො රස කර කර බොනව. ලංකාවේ මිනිස්සු දහස් ගණන් අපේ මල් පූජා කරනව. ඒ ගැන ඇත්තටම සතුටුයි.


ජීවිත වෙනස් වෙන්නෙ තමන් හිතන විදිහටම නෙමෙයි කියන දේට නයෝමි හොඳම උදාහරණයක්.


අපේ පාසලේ කලා විෂයයන් මුකුත්ම තිබුණෙ නැහැ. නැටුම් ගුරුවරයෙක් හිටියෙ නැහැ. මම ඕලෙවල් විභාගයට නැටුම් කළේ ප්‍රයිවෙට් දාලා. කලාව කියන දේ පාසලෙන් අපිට ලැබුණෙ නැති, දුෂ්කර වටපිටාවක අපි ඉගෙනගත්තෙ. ඒ නිසා මට කවදාවත් හිතිල නැහැ කලාවෙන් ඉස්සරහට යන්න පුළුවන් වෙයි කියල. මේ හැමදේම සිදු වුණේ ස්වභාව දහමට අනුව කියලයි මම විශ්වාස කරන්නෙ.


මුලින්ම මට අගැයීම් ලැබුණෙ වේදිකා නාට්‍යවලින්. 2015 අවුරුද්දෙ යෞවන සම්මාන සහ 2024 අවුරුද්දෙ රාජ්‍ය සම්මාන උළෙලේදි හොඳම නිළියට හිමි සම්මාන ලැබිල තියෙනව. ඒ වගේම රයිගම් සම්මාන උළෙලෙදි හොඳම නිළිය සහ සහාය නිළිය විදිහට සම්මාන ලැබිල තියෙනව. සුමති සම්මාන උළෙලෙදි හොඳම නිළියට හිමි සම්මානය ලැබිල තියෙනව. ජනප්‍රියම නිළිය සම්මානයත් මම ලබාගෙන තියෙනව. සිනමාව පැත්තෙන් දෙයක් කරන්න පුළුවන් චරිතයක් තවම මට ලැබිල නැහැ. ඒ ගැන ඇත්තටම මට දුකක් තියෙනව.


වේදිකාව වගේම පුංචි තිරයත් ජයගත් ඇයගෙ ඊළඟ ඉලක්කය සිනමාව…


අම්මයි තාත්තයි කවදාවත් මට ලොකු බලපෑමක් කරල නැහැ. විවාහය ගැන වුණත් එහෙමයි. ඉතිං සුදුසු කාලෙදි හැමදේම සිදුවෙයි.


ගොඩක් දේවල් අපිත් එක්ක කතාබහ කරපු නයෝමි එතැනදි නම් ලිස්සලා ගියා වගේ නේද? කොහොම වුණත් ඒ කතාවත් එක්ක අපිත් ඇයගෙන් සමුගත්තා.මහේෂ් එදිරිසිංහ

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
Previous Post Next Post