ප්‍රේමියේ හංගාගෙන හිටියේ හරිම අමාරුවෙන් - ශලනි

gossiplanka image 1
සබරගමු පළාතේ උපත ලබා මීගමුව නිව්ස්ටඩ් බාලිකා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා 2007 වසරේ ‘සිරස කුමරිය’ කිරුළ දිනූ ඇය, නමින් ශලනි තාරකා ය.


පූජාසනය ටෙලි නාට්‍යයෙන් රංගනයට පිවිසි ඇය “සෙල්වම්” සිනමාපටය හරහා රිදී තිරයට පිවිසියාය. පසුව “ගිරිදේවි”, “අඩෝ” සහ “කියාදෙන්න ආදරේ තරම්” වැනි අතිශය ජනප්‍රිය නිර්මාණ රැසකට දායක වෙමින් සුමති සහ රයිගම් ටෙලීස් සම්මාන උළෙලයන්හි හොඳම සහ ජනප්‍රියම නිළිය ලෙස අභිෂේක ලැබීමට සමත් වූවාය.


රංගනයට අමතරව ඇය ලියූ නවතම ටෙලිනාට්‍ය පිටපතක් ද ඉදිරියේදී ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශය වීමට නියමිතය. ඇය රංගනයෙන් දායක වන ”Unlock”, “සරා සුසුම්”, “කන්නගී” සහ “යකාගේ කතාවක්” වැනි සිනමාපට ඉදිරියේදී තිරගතවීමට නියමිතය.


දශක දෙකකට ආසන්න කාලයක් ශ්‍රී ලාංකීය ටෙලි සහ සිනමා ක්‍ෂේත්‍රය තුළ ප්‍රේක්ෂක ආදරය දිනූ ඇය කුලුඳුල් සිනමා අධ්‍යක්ෂණය වන “ ප්‍රේමියේ” සිනමාපටය සමගින් සිය කලා ජීවිතයේ නවතම සන්ධිස්ථානයක් සනිටුහන් කිරීමට සූදානම්වන්නීය.


තිරය ඉදිරියේ රංගන ශිල්පිනියක සහ ගී පද රචිකාවියක ලෙස සිය අනන්‍යතාවය තහවුරු කළ ඇය, මෙවර තිරය පිටුපස දැවැන්ත කාර්යභාරයකට උරදෙමින් “ප්‍රේමියේ” සිනමාපටයේ තිරචනය මෙන්ම අධ්‍යක්‍ෂණය ද සිදුකර තිබීම විශේෂත්වයකි.


ප්‍රේමියේ සිනමා නිර්මාණයේ නිල ප්‍රවර්ධන පෝස්ටරය සහ ටීසර් (Teaser) පටය එළිදැක්වීමේ සන්ධ්‍යාව ශ්‍රී ජයවර්ධනපුර මොනෑච් ඉම්පීරියල් හෝටල් පරිශ්‍රයේදී කලා ක්‍ෂේත්‍රයේ තරු රැසකගේ සහභාගිත්වයෙන් සිදුවිය.


ආචාර්ය මාලන් ෆ්‍රැන්සිස් පීටර්සේගේ නිෂ්පාදනයෙන් හැඩවෙන “ප්‍රේමියේ” සිනමාපටය සඳහා මෙරට සහ ජාත්‍යන්තර මට්ටමේ දක්‍ෂ තාක්‍ෂණික ශිල්පීන් පිරිසක් දායක වී සිටිති.


දශක දෙකකට ආසන්න කාලයක් ලද සිය අත්දැකීම් ගොන්නක් පොදි බැඳගෙන “ප්‍රේමියේ” නමැති සිය කුලුඳුල් සිනමා අධ්‍යක්‍ෂවරියවීමේ සිහිනය සැබෑවීමේ ප්‍රීතියේ හැඟීම් ඇය ‘මීවිත’ට මෙලෙස මුදාහැරියාය.


“මේක ක්‍ෂේත්‍රයට එනකොට තිබුණ හීනයක් නෙමෙයි. ක්‍ෂේත්‍රය ඇතුළේ වර්ධනය වෙනකොට ඇතිවෙන හීනයක්. ඒ හීනය ඉතාම කෙටි කාලයකින් සැබෑ කරගැනීමට පුළුවන් වුණා. ඒ ගැන ගොඩාක් සතුටුයි.


අනික මට දැන්ම අධ්‍යක්‍ෂණ කාර්යයට වුවමනාවක් තිබුණේ නැහැ. ඔය අතරේ මම පුංචි පුංචි අත්හදා බැලීම් සිදුකළා. ඒවා තමයි ගීත රූපරචනා වගේම කෙටි චිත්‍රපට. ඒ කාලවකවානුව ඇතුළත තමයි මේ කතාව අපි අතට අරගෙන කතාව කවුද කරන්නේ කියන ඔය යෝජනාව ඇත්තටම ආවේ. මට මේ වැඩේ කරන්න කියලා මාව දිරිගන්වපු මේ ක්‍ෂේත්‍රයේ කිහිපදෙනෙක්ම ඉන්නවා. ඔවුන්ගේ සහයෝගය ඇතිවයි මම අධ්‍යක්‍ෂණයට පිවිසුණේ.


“ප්‍රේමියේ” කතාව ශලනි අතට ආවේ මෙන්න මේ විදිහටලු.


“ප්‍රේමියේ” කතා තේමාව මගේ අතට අරගෙන එන්නේ අසිංසලා පියදිගම. ඇය පිටපත් රචනා කරපු නිර්මාණ කිහිපයකටම මම මීට කලින් දායක වෙලා තියෙනවා. එතකොට මට අවශ්‍ය වුණා ප්‍රේමය ගැන කතා වස්තුවක්. ඒ කියන්නේ ලව්, රොමෑන් කියන මූඩ් එකේ. අපි දෙන්නා ඒ ප්ලොට් එක ගැන කතා කරලා ඒක වැඩිදියුණු කළා.


සාමාන්‍යයෙන් මම ලියන කෙනෙක් විදිහට මම ලියපු දෙයක් මට අධ්‍යක්‍ෂණය සිදුකරන්න ලේසියි. ඒ හින්දයි පිටපත ප්‍රවර්ධනය කරලා තිර රචනය සිදුකළේ. ඔන්න ඔහොමයි “ප්‍රේමියේ” කරළියට ආවේ.


තිර රචනාව සිදුකළාට පසුව නළු නිළිවරණය සිදුකළ ආකාරය ගැනත් ඇය අපිට කියන්න අමතක කළේ නැහැ.


සාමාන්‍යයෙන් මම ‘ප්‍රේමියේ’ නිර්මාණයේ විතරක් නෙමෙයි මම සම්බන්ධ වෙලා කරපු සෑම නිර්මාණයකම වගේ නළු නිළිවරණයට යොමු වුණා. මම මේකෙදි ගොඩක් ඔවුන්ගේ ඉන්ඩීටේල් බැලුවා. මොකද මෙහි චරිත මුල ඉඳලම මගේ ඔළුවේ හැදිලයි තිබුණේ. එතකොට සමහර කැරැක්ටර්වලට ඒ නළු නිළියන් හිතාගෙනමයි පිටපත ලිව්වේ. මගේ පිටපතේ ඒ චරිතය කරන්න ඒ අය හැරෙන්න වෙන කෙනෙක් නැහැ. එහෙම හිතාගෙන ලියපු චරිත කිහිපයකුත් මේක අස්සේ තියෙනවා. සමහර චරිත ලියලා බලලා ඉවරවෙලා මේ චරිතයට කවුද හොඳ කියලා හොයලා බලලා ගත්තු චරිත කිහිපයකුත් මෙකේ තියෙනවා. අනික මට සුදුසුම කෙනාව තමයි චරිතවලට ගන්න ඕනැ වුණේ. අනික මේකේ හැම පොඩි චරිතයකම පවා දන්න මුහුණු ගොඩක් ඉන්නවා. ඔය අතරේ ඇය ඔවුන්ට ස්තූතිවන්ත වෙන්නත් මේක අවස්ථාවක් කරගත්තා.


එතැනින් එහාට තියෙන ලොකුම කාර්යභාරය තමයි කැමරාකරණය. ඉතිං මේ වැඩේට ඇය ඉන්දියානු කැමරා ශිල්පියකු වන ගෝපිව සම්බන්ධ කරගෙන තිබෙනවා.


ඇත්තටම මට ගෝපිව මුණගැසෙන්නේ ක්‍රිස් ඇන්තනීගේ ”Unlock” චිත්‍රපටයේදී. එහිදී මම ඔහුගේ කැමරාකරණ දුටුවාට පසුව මගේ නිර්මාණය ඇතුළේ මට මැවිලා තිබුණු කැමරා කෝණ වගේම ආලෝකකරණයත් ඔහුගෙන් ලබාගන්න පුළුවන් කියන විශ්වාසය මට ගොඩනැඟුණා. ඒ වගේම ඔහුත් සමග මට හොඳ මිත්‍රත්වයක් ගොඩනැඟුණා. ඒ අනුවයි මගේ පළමු සිනමා නිර්මාණයේ කැමරා අධ්‍යක්ෂවරයා විදිහට ඔහුව තෝරාගත්තේ.


මේක ප්‍රේමය පිරුණු කතාවක්. කතාව කියන්නේ පිරිමි දෙන්නෙක්. ඒ දෙන්නාගේ ආදරය ගැන තමයි ඒ දෙන්නා කතා කරන්නේ. මේකට හරිම නම ‘ප්‍රේමියේ’ තමයි. ඔන්න ඔහොමයි ‘ප්‍රේමියේ’ සිනමාවට නැඟෙන්නේ කියලා ශලනි අපට පැවසුවා.


මේ ආදර කතාවට මැදිවෙන පිරිමි දෙන්නා තමයි දර්ශන් තවරාජ් සහ ධනුක දිල්ශාන්. ඔවුන් දෙදෙනා තෝරාගැනීමට විශේෂ හේතුවක් තිබුණ ද කියලා අපි ඇයගෙන් විමසුවා.


ධනුක සමග මම පුංචිකාලෙ ඉඳලා වැඩ කරලා තියෙනවා. නමුත් මෑත කාලයේ අපි ගොඩක් වැඩ කළේ නැහැ. අපි දෙන්නාව ස්ක්‍රීන් කපල් එකක් විදිහට මිනිස්සු කවදාවත් දැකලා තිබුණෙත් නැහැ. දර්ශන් එක්ක මම මෑත කාලයේ වැඩ කරලා තියෙනවා. ඔහුගේ පළමු ටෙලි නාට්‍යයේ අපි දෙන්නා එකට වැඩ කළා. හැබැයි ශලනියි ධනුකයි මැච් වෙනවා ද කියලා ප්‍රේක්ෂකාගාරය දැකලා තිබුණේ නැහැ. මේතාක් පූර්ව ප්‍රචාරක පටය එළිදැක්වූවාට පසුව . මම හිතනවා කපල් දෙකටම ප්‍රේක්ෂකයෝ ආදරය කරාවි කියලා.


පූර්ව ප්‍රචාරක පටය එළිදැක්වූ රාත්‍රියේ ලද ප්‍රතිචාර ගැනත් ශලනි කතා කළා.


ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණා. ඒ වගේම මේ වෙනකොටත් සමාජ මාධ්‍ය හරහා ඉතාමත් හොඳ ප්‍රතිචාර ගලාගෙන එනවා. චිත්‍රපටයක් කරලා හංගගෙන ඉන්නත් ලේසි නැහැනේ. කොහෙන් හරි පිංතූරයක් හරි එළියට එනවානේ. “ප්‍රේමියේ” රහසක් විදිහට තියාගෙන ඉඳලා ශලනි අධ්‍යක්ෂණයට කියලා එළිදැක්වීමක් සිදුවෙනවා. එහෙම වුණේ කොහොමද කියලත් අපි ප්‍රශ්න කළා.


“ප්‍රේමියේ” මෙච්චර කාලයක් හංගාගෙන හිටියේ හරිම අමාරුවෙන්. පොඩි පොඩි ප්‍රශ්න ටිකක් තිබුණා අපට විසඳාගන්න. ඒ ප්‍රශ්න විසඳගන්නකම් කොහොම හරි නළු නිළියන් වගේම නිෂ්පාදන කණ්ඩායම දැනුවත් කරලා මාධ්‍යයට කිසිම පිංතූරයක්වත් එළියට දාන්නේ නැතිව පරිස්සමින් හිටියා. ඒ වැඩේට හැමෝගෙන්ම ලොකු සහයෝගයක් ලැබුණා.


ඒක අපිට බ්ලාස්ට් එකක් විදිහට දෙන්න ඕනෑ වුණ හින්දයි රහස් විදිහට රැක්කේ. සියලු දෙනාවම දැනුවත් කරලා කරපු හින්දා ඒ සියලුම දෙනා මට ගොඩක් උදව් කළා.


2007 වසරේ සිරස කුමරිය දශක දෙකකට පසුව සිනමා අධ්‍යක්ෂවරියක් බවට පත්වෙනවා. අපි ඇයව ආපහු 2007 අතීතයට රැගෙන යන්න පුංචි උත්සාහයක නිරත වුණා. කියවලා බලන්නකෝ මොනවද කිව්වේ කියලා.


ගොඩාක්ම සතුටුයි. මට නිහතමානීව ආඩම්බර වෙන්න පුළුවන්. මම මේ ක්ෂේත්‍රයට අඩිය තියන්නේ කිසිම දෙයක් දන්නේ නැතිව. හරිම හිස් බවකින් අවුරුදු 16ක 17ක ගැහැනු දරුවෙක් විදිහටනේ. ඉතිං මේ ක්‍ෂේත්‍රයෙන්ම එකතු කරගත්තු දේවල් වගේම මේ ක්‍ෂේත්‍රයේම අත්දැකීම් පන්නරයක් කරගෙන තමයි මේ ගමන ආවේ. ලොකු ප්‍රශ්න, ලොකු ජයග්‍රහණ මැද්දේ මේ ආපු ගමනට ලබන අවුරුද්ද වෙනකොට වසර විස්සක් වෙනවා. එතකොට ඒ කාලසීමාව ඇතුළත මම ලබාගත්තු දේවල්, මම එකතු කරගත්තු දේවල් හැම දෙයක් ගැනම ගොඩක් සතුටුයි.


කිසිම දෙයක් නැතිව ආපු ඒ පුංචි කෙල්ල ටික කාලයකට පසුව ලංකාවේ වාර්තාවක් අලුත් කරනවා. රයිගම් සහ සුමති සම්මාන උළෙලේ හොඳම නිළිය සහ ජනප්‍රියම නිළිය සම්මාන දෙකම ඇගේ දෝතට අරගන්නවා. ඊට කලින් ලංකාවේ එවැනි නිළියෝ දෙන්නයි හිටියේ. ඒ අතීත මතකයන් ගැනත් අදහසක් දැනගැනීමේ අටියෙන් අපි ඒ ගැනත් විමසුවා.


මේ සම්මානය ගත්ත රාත්‍රිය මට ලොකු සර්ප්‍රයිස් එකක් වුණා. මොකද මම එහෙම දෙයක් ගැන දැනගෙන හිටියේ නැහැ. අනික එහෙම සම්මාන දෙකක් ලැබෙයි කියලත් හිතුවේ නැහැ. සම්මාන දෙකක් එකවර ලැබීමත් සතුටක්. ඒ වගේම අවුරුදු විසි ගණනාවකට පසුව ඉතිහාසයක් අලුත් කිරීම ඊටත් වඩා මා ලද ලොකු භාග්‍යයක්.


“ගිරිදේවි” ගැන මතක් වෙනකොට මොකද හිතෙන්නේ කියලත් අහනකොට ඒකටත් මැළි නැතිව ඇගෙන් අපූරු උත්තරයක් ලැබුණා.


“ගිරිදේවි” තමයි මගේ ජීවිතයේ ලොකුම හැරවුම් ලක්‍ෂ්‍යය. “අඩෝ” ටෙලිනාට්‍යයේ දී තමයි මට ප්‍රථමවතාවට හොඳම නිළිය සම්මානය ලැබෙන්නේ. “ගිරිදේවි” කියන්නේ ප්‍රේක්ෂකයන්ගේ මතකයේ තියෙන චරිතයක්. මමත් හරිම ආදරය කරන චරිතයක්.


ඇත්තටම ශලනි දැන් ටෙලි නාට්‍යයක් අධ්‍යක්ෂණය සිදුකරයි ද… කියවලා බලන්නකෝ ඇගේ උත්තරය මොකක්ද කියලා?


ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණයට ඒවි කියලා මම හිතන්නේ නැහැ. මොකද මට තියෙන කාලවේලාවත් එක්ක ටෙලිනාට්‍යයක් අධ්‍යක්ෂණය සිදුකරන්න මට අමාරුයි. චිත්‍රපටයක් කියන්නේ ඉතාම කෙටි කාලයක් ඇතුළත ලොකු වෙහෙසක් දරලා, ලොකු රූපරාමු තුළ අපිට පෙන්වන්න පුළුවන් දෙයක්. ටෙලිනාට්‍ය කිරීමේදී ප්‍රායෝගික ගැටලු ගොඩක් එනවා. මට ඒක කරන්න අමාරුයි. මම කැමැතියි කෙටි වැඩක් කරන්න. ඇත්තටම මගේ ඊළඟ ටෙලිනාට්‍ය “අසංධිමිත්තා”. මේ මාසේ 04 වැනිදා ඉඳලා ස්වාධීන රූපවාහිනියේ විකාශය වෙනවා. මගේ පළමු පිටපත තමයි අසංධිමිත්තා. මේ අවුරුද්දේ මම කරන එකම ටෙලිනාට්‍යය ඒක වෙන්න ඇති. පසුගිය වසර අවසානයේ අපි රූගත කිරීම් සිදුකරලා අවසන් කරපු ටෙලිනාට්‍යයක්.


2007 වසරේ සිරස කුමරිය තරගාවලියට ශලනි තාරකා ඉදිරිපත් නොවුණානම් මේ වෙනකොට මොනවා කරාවිද… ඒ කතාවට ශලනිගෙන් අපිට ලැබුණේ හරි අපූරු උත්තරයක්.


ඒක නම් දැන් මට හිතන්නත් අමාරුයි. එහෙම නොවුණානම් කොහොම වෙයිද කියන තත්ත්වයට මට උත්තරයක් නැහැ. මොකද එච්චරටම මේක මගේ ජීවිතය වෙලා.


“ප්‍රේමියේ” එළිදැක් වූ රාත්‍රියේ ඇය සැමියාවත් අමතක කළේ නැහැ. ඉතිං අපත් සමග සිදුකළ කතාබහේදීත් ශලනි ඔහුව අමතක කළේ නැහැ.


මම මේ වැඩේට ලෑස්ති වුණේ 2025 අවුරුද්දේ මාර්තු මාසයේ. අවුරුද්දක කාලසීමාවකදී ලෑස්තිවෙලා මේ වගේ වැඩකට අතගහනවා කියන්නේ ලේසි නැහැ. මම තිරරචනාව සිදුකළේ විදෙස්ගත වෙලා ඉන්නකොට. ඔහු රැකියාවට ගිය අතරේ මම ගෙදර ඉඳලා තිර රචනාව සිදුකරනවා, මම ලියනවා කිව්වහම කිසිම වෙලාවක මට බාධා කළේ නැහැ. එහේ ඉඳගෙන මම මෙහේ වැඩ ගොඩක් කළා. ඔහුගෙන් ඒ දේවල්වලට ලොකු සහයෝගයක් ලැබුණා.


පිටපත් රචිකාවියක් වගේම අධ්‍යක්ෂවරියක් වීම හින්දා ශලනි කියන දක්‍ෂ නිළිය අපට අහිමිවෙයි ද කිව්වහම ඇය කිව්වේ මෙහෙම කතාවක්.


එහෙම එකක් නැහැ. මීට කලිනුත් මම ගීත ලිව්වා. ලිවීම කියන දෙයට මම හරිම ආදරෙයි. කතාවක් ආවොත් මේක හොඳයි කියලා හිතුණොත් මම ඒක වෙනුවෙන් කාලය කැපකරනවා. අනෙක් හැම දේම සමබරව පවත්වාගෙන යන්න උත්සාහ කරනවා.


ඇත්තටම ශලනි කියන්නේ කවුද කියන ප්‍රශ්නයත් සමගම ඇගේ කතාව එතැනින් ඉවර කරන්න අදහස් කළා.


ඒක විග්‍රහ කරන්න අමාරුයි. මම හරි සරලයි. සාමාන්‍යයි. ගොඩක් නිහඬව ඉන්න කැමැති කෙනෙක්. නිහඬව ඉඳලා වැඩ කරලා පෙන්වන්න කැමැතියි. කියව කියවා ඉන්න කැමැති කෙනෙක් නෙමෙයි. මගේ ලොකු සර්කල් එකක් නැහැ. මට ඉන්නේ හරි පොඩි පිරිසක්. ඒ පිරිසත් එක්ක මගේ ගමන පාඩුවේ යනවා.


“ප්‍රේමියේ” මේතරම් දුරට සාර්ථක වුණේ ආචාර්ය මාලන් පීටර් ෆ්‍රැන්සිස් බර කරට අරගත් පසුවයි. ඔහුටත් ඔහුගේ බිරිඳටත් ස්තූති කරන්න මේක වෙලාවක් කරගන්නවා. මොකද ඔහු හොඳ නිෂ්පාදකවරයෙක්. ලොකු සහයෝගයක් අපට ලබාදුන්නා මේ වැඩේට.


ශලනි අවසානයට අපත් සමග පැවසුවාය.

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
gossiplanka image 6
Previous Post Next Post