ජනයි ප්‍රියයි දශකයක මතක අවදි කරයි…

gossiplanka image 1
 


අවුරුදු එකොළහක් පුරාවට නොබිඳී පවතින කලණ මිතුදමක්. ඒ එකතුවෙන් සමාජමාධ්‍ය හරහා බිහි වුණ අපූරු නිර්මාණ එකතුවක්. එහි හිමිකරුවන් වෙන්නෙ ජනයි ප්‍රියයි. එහෙමත් නැත්නම් රංග ජයකොඩි සහ චමල් රත්නායක. සමාජ මාධ්‍යයේ නිතර දෙවේලේ දකින මේ දෙන්නව දැන් රිදී තිරයේ දකින්නත් පුළුවන්. ඒ සුරංග ද අල්විස් අධ්‍යක්‍ෂණය කළ ‘ඒක තමයි මේක’ සිනමා නිර්මාණයෙන්. එතැනදි මේ දෙන්නගෙ රහසක් එළිවෙනව. මොකක්ද ඒක…?


මුලින්ම අපිට මේ යෝජනාව අරගෙන එන්නෙ සුරංග ද අල්විස්. නමුත් ඒ වෙලාවෙ අපි දෙන්නත් චිත්‍රපටයක් නිර්මාණය කරන්න අදහස් කරගෙන පිටපතක් ලියමින් හිටපු නිසා මේ යෝජනාවට අකමැති වුණා.


අපිත් එක්ක කතාවට වැටිල මේ දෙන්න රහසෙම ප්ලෑන් කරගෙන හිටපු දේකුත් එළියට ආවා නේද?


කොහොම හරි මේ කතාව ලකාට ආරංචි වෙලා එයා අපිට කතාකරල කිව්වා, මචං අපි හැමෝම එකම ෆීල්ඩ් එකකනෙ. ඒ නිසා මේක කරමු කියල. ඒ පෙරැත්තය නිසා අවසානයේ අපි දෙන්නත් මේකට එකතු වුණා.


ඔන්න ඔහොමයි ජනයි ප්‍රියයි


‘ඒක තමයි මේක’ ට එකතු වෙන්නෙ.


මීට කලින් මම කතුරු මිතුරු චිත්‍රපටයේ රඟපෑවා. මැයිමාර ප්‍රසංගයේ අපි දෙන්නම පොඩි කොටසක් කළා. එහෙම වුණාට මේක තමයි අපි දෙන්න ප්‍රධාන චරිත විදිහට චිත්‍රපටයකට එකතුවෙන පළමුවැනි වතාව. ඉතිං ඒක අපිට අලුත් අත්දැකීමක්.


ඒ අත්දැකීම දෙන්නා විඳගත්තෙ මේ විදිහට…


අපි හත්අටදෙනා මීට කලින් සම්මාන උළෙලවලදි මුණගැහිල තියෙනව. නමුත් ෂූට් එකකදි මුණගැහුනෙ පළමු වතාවට. අපි වේලාසන ෂූට් එකට ආවත් රැට්ටා ටිකක් පරක්කු වෙනව. එතැනදි අපිට පොඩි වෙලාවක් හම්බ වෙනව. ඒ කාලය අපි හරි ජොලියෙන් ගත කළා.


සිනමාව කියන්නෙ කවුරුත් කැමති තැනක්. ඉතිං අපිටත් එතැනට යන්න අවස්ථාව ලැබෙනකොට ඇති වුණේ ලොකු සතුටක්. විශේෂයෙන්ම සුරංග අයිය ගැන කිව්වොත්, වෙන්න ඕන විදිහ අපිට පැහැදිලි කළා හැරෙන්න අනවශ්‍ය කිසිම බලපෑමක් කළේ නැහැ. ඒ නිසා ඉතාම හොඳින්, සහයෝගයෙන් වැඩ ටික සිද්ධ වුණා.


අධ්‍යක්‍ෂවරයාට ජනා දුන්නෙ ඒ වගේ කමෙන්ට් එකක්.


අපි පටන්ගත්ත කාලෙ වීඩියෝ කළේ ෆෝන් එකෙන්. එහෙම කාලයක් යනකොට අපිට ඉවෙන්ට් එකක් එනව. එදා අපි හරි සතුටින් හිතුවෙ අපිට ඉවෙන්ට් එකකුත් ආවනෙ කියල. ඒත් එක්කම අපිටත් දවසක ෆිල්ම් එකක් කරන්නත් හිතෙයි කියල හිතුවට කවදාවත් හිතුනෙ නැහැ අපිට ෆිල්ම් එකකට කතාකරයි කියල. ඉතිං අද අපිට හිතෙනව අපේ අත්දැකීම් එක්ක ලොකු දුරකට එන්න ලැබුණා කියල.


ඒ එදා ජනයි ප්‍රියයි හිතපු විදිහ. සිහිනෙකවත් නොතිබුණ අවස්ථාවක් අද ඔවුන්ව හොයාගෙන ඇවිත්…


ඇත්තම කිව්වොත් ඕලෙවල් ලියනව වගේ නෙමෙයිනෙ ඒලෙවල් ලියනකොට. පේපර් එකේ ප්‍රශ්න ඉඳන් ගොඩක් දේවල් වෙනස්. ඒ වගේම සිනමාවටත් තියෙනව වෙනම ගරුත්වයක්. ඒ ගැන අපිට හොඳ අවබෝධයක් තිබුණා. ෆිල්ම් කැමරාවක් ඉස්සරහ, ෆිල්ම් කෲ එකක් ඉස්සරහ රඟපාද්දි අපිට පොඩි චකිතයක් තිබුණා. නමුත් අපි ඒක ජයගත්තා කියල විශ්වාස කරනව.


ඕලෙවල් වගේද ඒලෙවල්… වැඩි වගකීමක්. නමුත් කඩඉම සාර්ථකව ජයගත්තොත්, අනාගතය බොහොම පැහැදිලියි.


අපි දෙන්න වැඩ කළේ එකම තැන. එතැනදි තමයි අපි දෙන්න යාළුවො වෙන්නෙ. ඒ යාළුකමත් එක්ක මේ වගේ වැඩක් කරමු කියල කතාකරගෙන එළියට, පාරට බැහැල කරපු පොඩි වැඩේ තමයි එකොළොස් අවුරුද්දක් පුරාවට යාළුකමත් රැකගෙන අපිව ඉස්සරහට අරගෙන ආවෙ.


ඒ වගේම පොඩි මල්ලියි චූටි මල්ලියි මතක් කරන්නම ඕන. ඒ දෙන්න තමයි බිස්නස් එකක් විදිහට අපිට මේක ඉස්සරහට අරගෙන යන්න ඕනකරන උපදෙස් දුන්නෙ. මගෙයි චමල්ගෙයි යාළුකම අදත් එදා වගේමයි. දුකේදි සැපේදි ඕනෑම වෙලාවක අපි එකිනෙකා ගැන හොයල බලනව.


ඔවුන් දෙදෙනාගේ එකතුවෙන් බිහිවෙන සිනමා නිර්මාණය ගැනත් මේ වගේ ඉඟියක් දුන්නා.


මුලින් කියපු අපේ වැඩේ පිටපත ගැන අපි ගොඩක් සැළකිලිමත් වෙනව. ලබන අවුරුද්දෙ අග හෝ ඊළඟ අවුරුද්දෙ මුල අපේ නිර්මාණය එළියට අරගෙන එන්න තමයි වැඩකරගෙන යන්නෙ.


ඒ වගේම අපිට දැන් එක්ස්පීරියන්ස් එකකුත් තියෙනවනෙ. ලකාලත් නිර්මාණයක් කළා. ඒකත් අපි දැක්කා. මේ අත්දැකීම් එකතුකරගෙන හොඳ නිර්මාණයක් ප්‍රේක්‍ෂකයන්ට දෙන්න අදහස් කරගෙන ඉන්නවා.


මේක හැමෝටම අලුත් අත්දැකීමක්. මෙච්චර කාලෙකට කරපු චිත්‍රපටවලට ස්ක්‍රිප්ට් රයිටර් කෙනෙක්, ඩිරෙක්ටර් කෙනෙක්, ප්‍රඩියුසර් කෙනෙක්, නළුවො සහ නිළියො හිටියා. ඒක සාමාන්‍ය දෙයක්. නමුත් සෝෂල් මීඩියා අය සිනමා ක්‍ෂේත්‍රයට පැමිණීම මොන වගේ වෙයිද කියල අපි හැමෝම බලාගෙන ඉන්නව. ප්‍රේක්‍ෂකයන් මොන විදිහට භාරගනීවිද කියන දේ හැමෝටම කුතුහලයක්.


ඔව්, ඒ කුතුහලය අපි ඒ විදිහටම තියමු.


දැන් ගොඩක් දෙනෙක් සෝෂල් මීඩියා කරන්නෙ විව්ස් ගන්න බලාගෙන. සදාචාරය කියන දෙයක් නැති තරම්. මිනිහෙක් මරල දැම්මත් සීසීටීවී දර්ශන අරගෙන සෝෂල් මීඩියා දානව විව්ස් ගන්න. හැබැයි ඒ පාත් එකෙන් ගොඩක් දුර යන්න බැහැ. සෝෂල් මීඩියා කියන්නෙ ඒක නෙමෙයි. තමන්ගෙ හැකියාවෙන් සමාජයේ කාටවත් කරදරයක් නොවෙන්න තමන්ගෙ බ්‍රෑන්ඩ් එකක් හදාගන්න පුළුවන්නම් ඒක තමයි නියම විදිහට සමාජ මාධ්‍යයේ වෙන්න ඕන.


ඒ කතාව නම් සහතික ඇත්ත නේද කියල නිතර දෙවේලෙ සෝෂල් මීඩියාවල ඉහළ පහළ යද්දි කාටත් හිතෙනව ඇති. හොඳට නරකට දෙකටම කට කියල ඉස්සර කියමනක් තිබුණනෙ. දැන් ඒක හොඳට නරකට දෙකට සෝෂල් මීඩියා කියල වෙනස්කරගන්නත් පුළුවන් තැනකට ඇවිත්. ජනා මේ කියන්නෙත් ඒ කතාවම නේද?


මහේෂ් එදිරිසිංහඡායාරූප – සජීව ලක්‍ෂාන්

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
Previous Post Next Post