චරිතය මොකක්ද කියල අදාළ නැහැ -සේමිණී

gossiplanka image 1
ඇය පරිණතයි, ප්‍රවීණයි. ලැබෙන චරිතය මොකක්ද කියන දේ අදාළම නැහැ. ඇය ඒ චරිතයේ ජීවත් වෙන්නෙ ගෙදර වගේ. ඒ නිසාම සම්මාන උළෙල හතරකදි එකම චරිතය වෙනුවෙන් ඇය හොඳම නිළිය විදිහට සම්මාන ලබනව.අපේ කතානායිකාව වෙන්නෙ සේමිණී ඉද්දමල්ගොඩ. ඇය එක්ක කළ මේ කතාබහ විශේෂ වෙන්නෙ ‘සූරිය සුළඟ’ නිසා. මොකද සූරිය සුළඟ මේ දවස්වල රට වටා තියෙන හෝල් සිසාරා හමා යනව. අපි අහල බලමු, සේමිණීට කොහොමද ඒක දැනෙන්නෙ කියල.


සේමිණී මේ දවස්වල දේශපාලකයෙක් එක්ක පටලැවිල්ලක කියල ආරංචියි?


ඔව්… ඔව්… ‘සූරිය සුළඟ’ තමයි මේ පටලැවිල්ල ඇති කළේ. මම මෙතෙක් කරපු හැම චරිතයක්ම වගේ එකකට එකක් වෙනස්. මේ චරිතයත් හොඳටම වෙනස්. මේ වෙනකොට පෞද්ගලිකව මට වගේම සමස්ත නිර්මාණයටම ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබෙනව.


මේ පටලැවිල්ල ගැන මාධ්‍ය දර්ශනය දවසෙ ආපු අය මොකද කිව්වෙ?


එදා පළමුවැනි දෙවැනි දර්ශනවලදි ගොඩක් අය සේමිණී ඉද්දමල්ගොඩ කියල හඳුනාගෙනත් නැහැ. ඒක ලොකු සතුටක්. මොකද මට හැම වෙලාවෙම වුවමනා වුණේ මම නොවී චරිතය තුළ උපදින්න.


චරිතය භාරගන්න දෙවරක් හිතුවද?


නැහැ… මම කොහොමත් අභියෝග වලට කැමති කෙනෙක්. චරිතය ලැබුණාම මම කල්පනා කළේ ඩයලොග් ඩිලිවරි එකේ ඉඳන්ම වෙනස් විදිහට කරන්න ඕන කියන දේ. ඇත්තටම ෆිල්ම් එක බලනතුරු මම බයේ හිටියෙ ඒ ඩිලිවරි එක නොකඩවා තියෙයිද කියල. නමුත් ගැටලුවක් තිබුණෙ නැහැ. හැමදේම හොඳින් සිදුවෙලා තිබුණා. ඉතිං මම හිතනව මම ඒ අභියෝගය ජයගත්තා කියල.


අනූෂාට ලැබුණ හොඳම කමෙන්ට් එක මොකක්ද?


ඔව්, ඒක විශේෂයි. මංගල දර්ශනය දවසෙ එක්කෙනෙක් මට කියනව, සේමිණීව අප්පිරියා වෙන තරමටම චරිතය සුපිරියට කරල තියෙනව කියල.


අධ්‍යක්‍ෂවරයාගේ ප්‍රතිචාරය මොන වගේද?


ප්‍රියන්ත අයියට ගොඩක් සතුටුයි. එයාම කියනව අනූෂාට මේ වගේ ප්‍රතිචාරයක් ලැබෙයි කියල හිතුවෙ නැහැ කියල. මොකද ඒක සාමාන්‍ය සුළු චරිතයක්නෙ. ඒ වුණාට ෂුටිං අවසන් වෙලා ඩබින් කරද්දිනම් විශේෂයක් දැනුනලු. මටත් ආවේනික ලක්‍ෂණ දාල, ලුණු ඇඹුල් එකතුකරල අනූෂාව හැදුවා.


සේමිණිට කොහොමත් වෙනස් චරිත ලැබුණා?


ඔව්, මම දැන් අවුරුදු විස්සක් පුරාවට ක්‍ෂේත්‍රයේ ඉන්නව. කළුවර ගෙදර, ස්වයංජාත, නේත්‍රා මංගල්‍යය, වරා මල් වගේ නිර්මාණ ගත්තොත් ඒ හැම චරිතයක්ම එකකට එකක් වෙනස්.


කාලයක් රංගනයෙන් ඈත් වෙලාත් හිටියා?


ඔව්, මම අවුරුදු හතක් පුරාවට ටෙලි නාට්‍යයක රඟපෑවෙ නැහැ. නමුත් චිත්‍රපට තුනකට සම්බන්ධ වුණා. ඉන් පස්සෙ තමයි එයා දැන් බැඳලා ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙන්නෙ. මේ කාලය තුළ ආරාධනා නොලැබුණා නෙමෙයි. ඒත් මම හොයපු චරිත ලැබුණෙ නැති නිසා ලැබුණ ආරාධනා ප්‍රතික්‍ෂේප කළා.


කැළෑ හඳ සිනමා නිර්මාණයේත් ඔබ අපූරු චරිතයක් නිරූපණය කරනවා?


ඔව්, ඇත්තටම මහාචාර්ය සුනිල් ආරියරත්න සර් එක්ක වැඩකරන්න ලැබීම මට ලොකු ආඩම්බරයක්. ඒ වගේම මේක මීට කලින් නිර්මාණය වුණ චිත්‍රපටයක්. ඒකට අසාධාරණයක් වෙන්නත් බැහැ. ජෝන් ජයපාල මැතිණිය කියන්නෙ හරි ගාම්භීර, මාන්නෙන් ඔළුව උදුම්මවාගත්ත කෙනෙක්. ඒ චරිත ලක්‍ෂණ හරියට තියෙන්න ඕන. අපිට මේ දේවල් තනියම කරන්න බැහැ. කණ්ඩායමක් වශයෙන් අධ්‍යක්‍ෂවරයාගේ උදව් ඇතිව තමයි මේ ගමන යන්නෙ.


තවත් නිර්මාණ තිරගත වෙන්නත් තියෙනව?


ඔව්, තව සිනමා නිර්මාණ හයක් විතර තිරගත වීමට නියමිතව තියෙනව. ඒ අතර රසිකයන්ට හිතාගන්නවත් බැරි විදිහේ චරිත තියෙනව. ‘කොල්ලෙක්’ චිත්‍රපටයේ ෂූටිං ළඟදි පටන් ගත්තා. ඒකත් අපූරු චරිතයක්.


ඒ ගැන විස්තර ටිකක් කිව්වොත්?


මේ නිර්මාණයේ කාස්ට් එක ගත්තොත් මම සහ ශ්‍යාම් ප්‍රනාන්දු හේමාල්ගෙ අම්මා සහ තාත්තා විදිහට රංගනයෙන් එකතු වෙනව. හරිම ලස්සන, ආදරණීය, සංවේදී කතාවක්.


‘ද ලේක්’ පසුගිය කාලෙ වැඩි කතාබහට ලක් වුණා. එහි නිෂ්පාදිකාව වෙන්නෙත් ඔබමයි?


‘ද ලේක්’ කියන්නෙ මට රඟපාන්න ආරාධනයක් ලැබුණ ටෙලියක්. නමුත් නිෂ්පාදකවරයාගෙන් ඒක ගිලිහුන නිසා තමයි එහි නිෂ්පාදනයට මම සම්බන්ධ වුණේ. හැමෝමත් එක්ක එකතුවෙලා ලස්සන වැඩක් කළා.


මේ නිෂ්පාදිකාව අධ්‍යක්‍ෂවරියක් වුණොත්?


නිෂ්පාදනය කියන්නෙත් මට පුළුවන් වැඩක් නෙමෙයි. කරපු වැඩෙනුත් මම ලොස් වෙලා ඉන්නෙ. අධ්‍යක්‍ෂණය කියන්නෙ වෙනම දෙයක්. ඒක ඉගෙනගන්න ඕන, ඒ ගැන දැනුමක් තියෙන්න ඕන. නමුත් මට ඒක ඇත්තෙම නැහැ. ඒ නිසා දන්න දේ කරගෙන ඉන්නව.


සේමිණීට චරිතයක් දෙනවනම් ඒක විශේෂයි?


ඔව්, අධ්‍යක්‍ෂවරයෙක් මට චරිතයකට කතාකරනව කියන්නෙ ඒකෙ විශේෂයක් තියෙනව. ආවාට ගියාට මට කතාකරන්නෙත් නැහැ. ඒ වගේම චරිතය ලොකුද පොඩිද කියන දේත් මට අදාළ නැහැ. මම දන්නව චරිතය ලොකුකරගන්න.


ටෙලියකට දැන්ම සම්බන්ධ වෙන්න අදහසක් නැද්ද?


බලන මාසෙ මැද හරියෙ වගේ ද ලේක් කරපු ඩිරෙක්ටර්, ධනුෂ්ක රේමන්ගෙ ‘පොයිසන් හනී’ ටෙලියෙ වැඩ පටන්ගන්නව.


ක්‍ෂේත්‍රයේ ඇතිවුණ පරිවර්තනය ගැන අදහස මොන වගේද?


ක්‍ෂේත්‍රයේ ඉන්න කෙනෙක් හැටියට මට ඒ ගැන ගොඩක් සතුටුයි. කර්මාන්තය ඉදිරියට යනව කියන්නෙ අපි හැමෝටම හොඳයිනෙ. ඒ වගේම නවක රංගන ශිල්පීන් ශිල්පිනියන් අතර දක්‍ෂ පිරිසක් බිහිවෙලා ඉන්නව. ඉදිරිය සුබ වෙයි කියන බලාපොරොත්තුවක් තියෙනව දැන්.


ඊළඟ බලාපොරොත්තුව කැළෑ හඳ?


ඔව්, කැළෑ හඳ ඉක්මනින්ම එයි කියල සුනිල් සර් කිව්වා. ඒ වගේම සංජය නිර්මාල්ගෙ නග්න, ජයන්ත චන්ද්‍රසිරි මහත්මයාගෙ සමහරු සහ සමාගම වගේ තව කිහිපයක්ම ඉදිරියේදී තිරගත වෙන්න නියමිතයි.


‘එයා දැන් බැඳලා’, ඒ ගැන කතා නොකරම බැහැ?


‘එයා දැන් බැඳලා’ ටෙලි නාට්‍යයේ මගේ චරිතයට ප්‍රධාන සම්මාන උළෙල හතරෙදිම හොඳම නිළිය සම්මානය ලැබෙනව. ඒක මට ලොකු සතුටක් වගේම මගේ ජීවිතයේ හැරවුම් ලක්‍ෂ්‍යයක්.

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
Previous Post Next Post