මේ දිනවල හිරු නාලිකාවේ විකාශය වන ඇත්තමයි මං ඔයාට ආදරෙයි ටෙලි නාට්‍යය හරහා ප්‍රේක්ෂකාදරය දිනා ගෙන සිටින ඇය සමඟයි අද අපේ කතාබහ. ඇය නමින් හර්ෂිකා රත්නායක.
ඔබ රංගනයෙන් දායක වන ‘ඇත්තමයි මං ඔයාට ආදරෙයි’ ටෙලි නාට්‍යය ගැන මොකද හිතෙන්නේ ?
ඒක වෙනස් නාට්‍යයක්. හැමදාම රඟපානවාට වඩා මට ටිකක් වෙනස් චරිතයක් තමයි ලැබිලා තියෙන්නේ. ඒ චරිතය සාමාන්‍ය කෙනෙක්ට වඩා ටිකක් ‘අවුට්‘. වෙලාවකට එහෙමත් කියන්න බැරි අතර මැද තියෙන චරිතයක් තමයි රඟපාන්න ලැබුණේ. රංගන ශිල්පිනියක් හැටියට ඒ චරිතය වෙනුවෙන් මහන්සි වෙන්න වුණා. ඒ නාට්‍යයේ වෙනස් චරිතයක් මම නිරූපණය කරන්නේ. ඒ චරිතයට මට හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මීට කලින් මට එහෙම චරිතයක් රඟපාන්න ලැබිලම නෑ.
ඔබට ටෙලි නාට්‍යවල රඟපාන්න ලැබුණේ කොහොමද?
මට ටෙලි නාට්‍යය රඟපාන්න ලැබුණේ ධනුෂ්ක රත්නායක නිසයි. ධනුෂ්ක මට සහෝදරයෙක් වගේ. ඔහු මට කතා කළා අක්කේ චරිතයක් තියෙනවා රඟපාන්න එනවද කියලා. මම හා කිව්වා. අපි දෙන්නා චරිතය ගැන, නාට්‍යය ගැන, බොහෝ දේ කතා කළා. ඒ කතාබහ සමඟ මට හොඳ විශ්වාසයක් ඇති වුණා. ඒ නිසයි මම නාට්‍යයේ රඟපෑමට එක් වුණේ.
ටෙලි නාට්‍යයේ ඔබේ චරිතය ගැනත් කතා කළොත්?
ටෙලි නාට්‍යයේ මම උපේක්ෂා මොරවක බණ්ඩාර. බොහොම පොහොසත් පවුලක කෙනෙක්. තමන්ගේ ප්‍රේමයට බාධා කරපු තාත්තා කෙනෙක් තමයි ඉන්නේ. සාමාන්‍යයෙන් පොහොසත් පවුල්වල තාත්තලා කැමති නෑ නේ තමන්ගේ ළමයි තමන් අකමැති කෙනෙක්ව කසාද බඳිනවට. එයාලා බලාපොරොත්තු වෙන කෙනෙක් එක්ක තමන්ගේ ළමයා දීග යන්න ඕනි වගේ අදහසකනේ ඉන්නේ. මේ නාට්‍යයේ තාත්තාත් එහෙම කෙනෙක්. එයාගේ අතින් දුවගේ පෙම්වතා නැතිවෙනවා. ඒ ප්‍රශ්නෙත් එක්ක සහ තමන්ගේ දරුවා නැති වුණු ප්‍රශ්නෙත් එක්ක මානසිකව වැටිලා ඉන්නේ. ඒ චරිතය එහෙම තමා ඉස්සරහට යන්නේ. ඇය ලේඛකයෙක්. සිංදු ලියනවා. ඒ වගේම වයලින් වාදනය කරනවා. මුලදි මම වයලින් වාදනය කරන්න දැනගෙන හිටියේ නෑ. නමුත් මම ඉගෙන ගත්තා. මට චරිතයක් ලැබුණම ඒ චරිතය හොඳින් කරන්න මම මහන්සි වෙනවා. මේකත් එහෙම මහන්සි වෙලා කරපු චරිතයක්.
අධ්‍යක්ෂවරයා ඇතුළු සෙසු රංගන ශිල්පීන්ගෙන් ඔබේ චරිතයට ලැබෙන සහයෝගය කොහොමද?
අධ්‍යක්ෂකවරයාගෙන් නම් උපරිම සහයෝගය ලැබෙනවා. නාට්‍යයේ කණ්ඩායම ගැන කතා කළොත් ඉතාම දක්ෂ, හොඳ මිත්‍රශිලි පිරිසක් ඉන්නේ. මේ අය සමඟ වැඩ කරන්න පහසුයි. රංගන ශිල්පීන් ගැන කතා කළොත් මට බොහෝ වෙලාවට ගයාන්, හිමාලි හමු වෙනවා අඩුයි. රසදුනි, මයුර, ශෙනායා තමයි ගොඩක් වෙලාවට හමුවෙන්නේ. ඒ කට්ටියත් එක්ක වැඩ කරන්න හරි පහසුයි. නාට්‍ය කණ්ඩායමත් සමඟ මම හරිම කැමැත්තෙන් වැඩ කළේ.
රංගන කටයුතු සාර්ථක කර ගන්න පවුලෙන් ලැබෙන සහයෝගය කොහොමද?
මම හිතන්නේ ඕනෑම මනුස්සයෙක්ට පවුල තමයි ඉන්න හයිය. මගෙ සැමියා, දුවලා දෙන්නා විතරක් නෙවෙයි ඒ හැමෝගෙම සහාය මට ලැබෙනවා. මම වැඩවලට යනකොට මගේ දුවලව බලා ගන්නේ එයාලගේ යාළුවන්ගේ අම්මලා. සචින්තනී නංගී, හිමාලි ටීචර් මේ වෙලාවේ ආදරෙන් සිහිකරනවා. වැටෙන්න නොදී හැම වෙලාවෙම මාව බලා ගන්න පිරිසක් ඉන්න එකම සතුටක්. මගේ මහත්තයත් හැම දේකටම මට උදව් කරලා මගේ පස්සෙන්ම ඉන්නවා.
ඔබ රංගන ශිල්පිනියක් වගේම නාට්‍යය හා රංග කලා ගුරුවරියක්. ඒ වගේම බාහිර කථිකාචාර්යවරියක්. මේ හැමදෙයක්ම සමබරව කරගෙන යන්නේ කොහොමද?
මම මුලින්ම ගුරුවරියක්. ඒ වගේම විශ්වවිද්‍යාල බාහිර කථිකාචාර්යවරියක්. ඉන් පස්සේ තමයි මම නිළියක් වුණේ.
මගේ විනෝදාංශයම රැකියාව කර ගන්න ලැබුණු එක වාසනාවක්. පාසලේදි මම නාට්‍ය ගැන උගන්නන්නේ. රැකියාවයි රංගනයයි දෙකම කරගෙන යන්න ලැබුණ එක සතුටක්.
ඉදිරියේදී කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න අලුත් වැඩ මොනවද?
අරුණ ප්‍රේමරත්න මහත්මයාගේ ‘මාරම්බරී‘ ටෙලිනාට්‍ය එන්න තියෙනවා. ඒ වගේම සුනෙත් මාලින්ද ලොකුහේවගේ ‘රෝස වෙඩිල්ල‘ අලුත් නාට්‍යයක රූගත කිරීම් පටන් ගත්තා. ඊට අමතරව දිනේශ් හත්ගල්ලගේ නාට්‍යයක් අලුතින් පටන් ගත්තා රූගත කිරීම්. මේ වන විට පළවෙනි කොටස් ටික රූගත කරලා තියෙන්නේ කීර්ති රත්නායකගේ ‘මූණු‘ කියලා නාට්‍යයක. දැනට මම උගන්නන්නේ සපුගස්කන්ද විශාකා බාලිකා විද්‍යාලයේ නාට්‍ය හා රංග කලාව උසස් පෙළ ගුරුවරිය හැටියට. ඉස්කෝලේ වැඩ කරගෙන දරුවොත් එක්ක ඒ ටික බැලන්ස් කරගෙන යනවා.
හර්ෂිකා රත්නායකට ආදරය කරන ප්‍රේක්ෂකයන්ට මොකක්ද කියන්න තියෙන්නේ ?
මම පොඩි කාලයයි මේ ක්ෂේත්‍රයට ඇවිත්. ප්‍රේක්ෂකයෝ හරිම ආදරෙන් කතාබහ කරනවා. මම හරිම සාමාන්‍ය විදිහට ඉන්න කෙනෙක්. මිනිස්සු හරි ආදරෙන් කතා කරනවා මම කරන වැඩ සහ කරලා තියෙන වැඩ ගැන. මේ වනතුරු කවුරුවත් නරක ප්‍රතිචාර දක්වලා නෑ. ඒ ගැන මට සතුටුයි. ප්‍රේක්ෂකයෝ තමයි තීරණය කරන්නේ අපි මොන තරම් දුරට ක්ෂේත්‍රයේ රැඳිලා ඉන්නවද කියලා. ඔවුන් අපව ප්‍රතික්ෂේප කරපු දවසට අපට මේකේ රැෙඳන්න අමාරුයි.