මිනිස්සු ආදරේ කරන අහිංසක චරිතයක් කරන්න කැමැතියි -සිත්මි එදිරිසිංහ

gossiplanka image 1
 

‘සිහිනෙක තනිවෙලා’ ටෙලි නිර්මාණයේ මේ දිනවල බොහෝ ප්‍රතිචාර ලබන චරිතය පසිනිය. ආදි- නිකී ආදරයට අකුල් හෙළමින් ප්‍රේක්ෂකයන්ගේ දැඩි දෝෂාරෝපණයට ලක්වන ඇය ‘හිරිපොද වැස්ස’ චාරු ලෙසින්ද ප්‍රේක්ෂක ඔබේ දෝෂාරෝපණයට ලක්වූවාය. චාරු, පසිනි ලෙසින් නපුරු චරිතවලටම කොටු වී සිටින සිත්මි එදිරිසිංහ ආදරණීය චරිතයකින් ප්‍රේක්ෂක ඔබ හමුවීමේ බලාපොරොත්තුවෙන් සිටින්නීය.


සිත්මි මේ දිනවල ප්‍රේක්ෂක ජනතාවගෙන් ගොඩක් බැණුම් අහනවා නේද?


ඇත්තම කිව්වොත් දැන් දැන් මං යූටියුබ් ප්‍රතිචාර බලන්නෙම නැති තරම්. අපේ ගෙදර අයත් කියනවා බලන්න එපා කියලා.


ඒ තරමටම මම බැණුම් අහනවා. ප්‍රේක්ෂකයෝ එහෙම බණිද්දී, මාව ප්‍රතික්ෂේප කරද්දි ගොඩක් දුකයි. පාරෙදි හමුවන සමහරු කියනවා “අයියෝ අර දෙන්නට ඉන්න දෙන්නකෝ“ කියලා. මං ඉතින් හිනාවෙලා කියනවා “ඒක චරිතයක්නේ“ කියලා. “මෙයාව අයින් කරලා දාන්න“ කියන අයත් ඉන්නවා. ප්‍රේක්ෂකයෝ බණින්නේ මට නෙවෙයි පසිනිට. ඒත් මට දුකයි.



සිත්මි කියන්නේ මොන වගේ චරිතයක්ද කියලා කියනවා නම්?


මම ගෙදර දෙවැනියා. චූටි නංගි මට වඩා ගොඩක් පොඩියි. ඒ නිසා මං ටිකක් දඟකාර, ගෙදරත් පාලනය කරගෙන කොල්ලෙක් වගේ ඉන්න චරිතයක්. නමුත් හිරිපොද වැස්ස ගත්තත්, සිහිනෙක තනිවෙලා ගත්තත් මං කොල්ලෙක් පස්සෙ යනවා. ඒ නිසා හැමෝම හිතනවා ඇති සැබෑ ජීවිතේත් මං ඒ වගේ ඇති කියලා. අනේ නැහැ. මං එහෙම කෙනෙක් නෙවෙයි. ෆීල්ඩ් එකට එන්න කලින් ඉඳන්ම හිටිය පෙම්වතා තමයි තාමත් ඉන්නේ. කවදහරි විවාහ වෙන්නෙත් ඔහු එක්කමයි. මං ආදරේට හරිම අවංක කෙනෙක්. අක්කට හොඳ නංගි කෙනෙක් වගේම නංගිට හොඳ අක්ක කෙනෙක්. ගෙදරට හොඳ දුවක්.


එහෙම බලද්දි සිත්මිට පසිනි වෙන්න ගොඩක් අමාරු වෙන්න ඇතිනේ?


ඔව්. සමහර තැන්වල නිකීට උඹ කියල බණින්න, සාප කරන්න තියෙනවා. ඒත් මට ඒවා අමාරුයි. මං හෙමින් ඩිරෙක්ටර් ළඟට ගිහින් අහනවා මේවා කියන්නම ඕනද කියලා. ඔහු ඉතින් හා එහෙනම් කමක් නෑ කියලා හදලා දුන්නත් ටිකකින් කියනවා අයියෝ පසිනි ඔය මදි. තව සැර වෙන්න ඕන. ඔයාට අර වචන ටික කියන්නම වෙනවා කියලා. අභිලාෂිත් කියනවා කමක් නෑ අක්කෙ ඔයා බණින්න කියලා. ඇත්තටම එයාලගෙන් ලැබෙන සහායත් එක්ක තමයි පසිනි කියන චරිතය සාර්ථක වෙලා තියෙන්නෙ.


පසිනිට ගෙදරින් ලැබෙන ප්‍රතිචාර කොහොමද?


අපේ අම්ම නම් කොහොමත් මට නපුරුච්චි කියල කියනවා. මේ ළඟදි දවසක් අම්මට අමතක වෙලා මේ ඉන්නෙ එයාගෙ දුව කියලා. “මට නම් කේන්ති ගියා ඔයා එක්ක. ඇයි අනේ පව් අර ළමයාගේ ෆයිල් ටිකත් වට්ටගෙන ගියා“ කියලා මට කියනවා. ගෙදරිනුත් බණිනවා. මගේ යාළුවෝ වුණත් කියන්නේ ඔයාට රියල් චරිතෙම ලැබිලා තියෙනවා කියලා.


පසිනිට ගැළපෙනම කෙනා ඔයා කියල හිතිලා තියෙන්නේ කාටද?


තිරපිටපත් රචක වගේම නිෂ්පාදක තිමිර උඩලමත්ත අයියට. මට මේකට ආරාධනා කළේ ඔහු. ඔහු මුලින්ම මට කතා කළා. හිරිපොද වැස්සෙත් බැණුම් අහන නිසා මං බැහැ කිව්වා. ඊට පස්සේ ගෙදරිනුත් අහල තමයි කැමැති වුණේ.


සිත්මි එදිරිසිංහ කියන චරිතය ප්‍රේක්ෂකයන් හඳුනාගන්නේ හිරිපොද වැස්සෙන් නේද?


මාස්ටර් සර් එකේ ආද්‍යාගේ චරිතය ‘ආද්‍යා ඔයා මගේ හඳ’ කියන දෙබස නිසා ගොඩක් ජනප්‍රිය වුණා. ඒත් හිරිපොද වැස්සේ චාරු තමයි ප්‍රේක්ෂකයන් අතරට ගියේ. හිරිපොද වැස්සත් තිමිර අයියගෙමයි. ඒක මගේ පළමු අත්දැකීම.


පසිනි කියන්නේ ‘සිහිනෙක තනිවෙලා’ ටෙලි නිර්මාණයට අතරමැදදී සම්බන්ධ වන චරිතයක්. ඒ අත්දැකීම කොහොමද?


හිරිපොද වැස්සට මුල ඉඳන්ම සම්බන්ධ වුණු නිසා මට ඒකෙ චකිතයක් තිබුණෙ නැහැ. නමුත් සිහිනෙක තනිවෙලා ටෙලි නිර්මාණයට මම සම්බන්ධ වෙන්නේ කතාව විකාශය වන අතරේ. එතැනදි පොඩි චකිතයක් තිබුණා. මගේ අතින් වැරැද්දක් වෙයිද කියලා. නමුත් පළමුවැනි දවස් දෙක යද්දී හිමේන්, අභිලාෂි මාර විදිහට සමීප වුණා. මුළු කණ්ඩායමම හරිම මිත්‍රශීලියි. දැන් මං ආසාවෙන්ම සම්බන්ධ වෙන වැඩේ ඒක.


ඔබ ඒකාකාරී චරිතයකට කොටුවෙලා කියලා හිතෙන්නෙ නැද්ද?


ඔව්. ඒක ඇත්ත. මට බොහෝ දෙනා කියනවා ඕකෙන් කැඩෙන්න කියලා. මට තවත් නිර්මාණයකට ආරාධනා ලැබුණත් ඒකත් මේ වගේමයි. ඒ නිසා මං භාරගත්තෙ නැහැ. නපුරුකමින් මිදිලා වෙනස් චරිතයක් කරන්න කැමැතියි.


මොන වගේ චරිතයක් කරන්නද කැමැති?


මං ආසයි මිනිස්සු ආදරේ කරන අහිංසක චරිතයක් කරන්න. ගෙදරක අම්මලත් එක්ක ආදරෙන් ඉන්න අයියලාට ආදරණීය නංගි කෙනෙක් වෙන්න.

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
Previous Post Next Post