මේ දිනවල අති සාර්ථකව තිරගත වන ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂණය කළ ‘සූරිය සුළඟ’ චිත්‍රපටයේ ‘තරුෂි’ ඇයයි. දේශපාලන පවුල් පසුබිමක හැදී වැඩුණු ඇය, සිය අභිමතයට ඇතිකරගත් ප්‍රේම සබඳතාව නිසා නොයෙක් ප්‍රශ්නවලට මුහුණදෙන්නීය. තරුෂිට ජිවය දෙන යොවුන් රංගන ශිල්පිනී නිහාරි පෙරේරා ‘තරුෂි’ ගැන කීවේ මෙලෙසිනි.
‘සූරිය සුළඟ’ චිත්‍රපටයේ මගේ චරිතය තරුෂි. එය ප්‍රධාන චරිතයක්. ඇය දේශපාලන පවුල් පසුබිමක් සහිත පවුලක හැදී වැඩුණු තරුණියක් වුණත් දේශපාලනයට අකැමැතියි. හරිම හැඟීම්බර ඇය තම හිතුමනාපයට තරුණයකු සමඟ ප්‍රේමයක් ඇතිකර ගන්නවා. එහිදී තරුෂි මුහුණදෙන ගැටලුවක් තමයි මේ තුළින් කියැවෙන්නේ. තරුෂි චරිතය නිහාරිට ලැබුණේ සිය පළමු චිත්‍රපටය වූ ‘ක්ලැරන්ස්’හි අධ්‍යක්ෂවරයා මාර්ගයෙනි.
“මම මුලින්ම රඟපෑවේ තේජා ඉද්දමල්ගොඩ සර්ගේ ‘ක්ලැරන්ස් Rhythm Of the Guitar’ චිත්‍රපටයේ. තේජා සර් තමයි ප්‍රියන්ත කොළඹගේ සර්ට මා ගැන කියා තිබෙන්නේ. ඔහුගේ චිත්‍රපටයක රඟපාන්න මම හරිම ආසාවෙන් හිටියේ. මේ චරිතය ගැන විග්‍රහ කළාම මට ආස හිතුණා. මේ චරිතය මම කලින් කළ චරිතවලට වඩා වෙනස් චරිතයක්. ඒ නිසා තරුෂි චරිතය භාරගත්තා”.
‘ක්ලැරන්ස්’ චිත්‍රපටය නිහාරිගේ ප්‍රථම සිනමා රංගන අත්දැකීමයි. මෙයට පාදක වූයේ ජනප්‍රිය ගායකයකු වෙන ක්ලැරන්ස් විජේවර්ධනගේ ජීවිත කතාවයි. ඔහුගේ බිරිඳ වූ ‘ශීලා’ රිදී තිරයේ ජීවමාන කළේ ඇයයි. නිහාරි පෙරේරාට සිනමාවට පැමිණීමට මූලික අඩිතාලම වැටුණේද ‘ක්ලැරන්ස්’ හරහාය.
“මාව විශ්වාස කරලා ක්ලැරන්ස් චිත්‍රපටයේ ශීලාගේ චරිතය ලබාදීම ගැන අධ්‍යක්ෂ තේජා ඉද්දමල්ගොඩ සර්ටත් නිෂ්පාදක තුසිත විජේසේන සර්ටත් ස්තුති කරනවා. ඒ චරිතය සහ එහි මතකය මට සුන්දරතම අත්දැකීමක්.”
‘සූරිය සුළඟ’ අධ්‍යක්ෂ ප්‍රියන්ත කොළඹගේ ගේ අධ්‍යක්ෂණ කාර්යය පිළිබඳ නිහාරිට තිබුණේ මෙවැනි අදහසකි.
“මාව විශ්වාස කරලා තරුෂි චරිතය ලබාදුන්නාට ප්‍රියන්ත කොළඹගේ සර්ට ස්තුති කරන්න මෙය අවස්ථාවක් කර ගන්නවා. මම හිතනවා ප්‍රියන්ත සර්ට අවශ්‍ය ලෙස ඒ චරිතය ප්‍රේක්ෂකයාට භාර දුන්නා කියලා. මම ප්‍රියන්ත සර්ගේ Filmsවල ලොකුම fan කෙනෙක්. ප්‍රියන්ත සර් කියන්නේ අධ්‍යක්ෂණයේදී ඔහු නළු නිළියන්ව හොඳින් තේරුම් අරගෙන හොඳින් මෙහෙයවන අධ්‍යක්ෂවරයෙක්.”
‘සූරිය සුළඟ’ රංගන කාර්යයෙහිදී තමන්ට අනෙක් අයගේ සහය නොමඳව ලද බව නිහාරි පවසන්නේ සතුටෙනි.
“රංගනය කියන දේ මට තනියෙන් කළ හැකි දෙයක් නෙවෙයි. චිත්‍රපටයක් කරනවා කියන්නේ තනියෙන් ඇක්ට් කරන එක නෙවෙයි. එහිදී අනෙක් අයගේ සහය අත්‍යවශ්‍යයි. අනෙක් අයගේ සහය උපරිමයෙන් ලැබුණු නිසයි මට තරුෂි චරිතය ප්‍රේක්ෂකයාට හොඳින් ලබා දෙන්න හැකි වුණේ. මා සමඟ රඟපෑ හැමෝම මට ගොඩක් උදවු කළා. මම අලුත් කෙනෙක් කියන හැඟීම දැනෙන්න කිසිවිටක ඔවුන් ඉඩ දුන්නේ නැහැ.”
අභියෝගාත්මක රංගනයක නිරත වීමට සැමවිටම කැමැත්තක් දක්වන නිහාරි, චරිත තෝරා බේරා ගැනීමේ සීමා මායිම් ගැන කීවේ මෙවැනි කතාවකි.
“මම හරිම ආසයි අභියෝගාත්මක චරිත රංගනයට. මම රඟනොපෑ චරිත රැසක්ම රඟපාන්නත් ආසයි. ඒ වගේම ප්‍රේක්ෂකයාගේ සිතට කාවදින, ඔවුන්ට සමීප විය හැකි චරිත රඟපාන්නත් කැමැතියි. ඕනෑම චරිතයක් සතුටින් භාර ගන්නවා. චරිතයක් තෝරා ගනිද්දී මම ලොකුවට සීමා මායිම් දාගන්න කෙනෙක් නෙවෙයි. ”
මියුසික් වීඩියෝවක රඟපාමින් රංගනයට අවතීර්ණ වූ නිහාරි පෙරේරා සිය පළමු චිත්‍රපට රංගනය දක්වා පැමිණි ගමන්මඟ සරලව විස්තර කළේ මෙලෙසිනි.
“මම මුලින්ම රඟපෑවේ ‘කලාතුරකින්’ නමැති මියුසික් වීඩියෝවේ. ඉන්පසු වෙළෙඳ දැන්වීම් රංගනයට යොමු වුණා. ඊටත් පසුව ‘ අසිරිමත් දළදා ගමනය’ ටෙලිනාට්‍යයේ රඟපෑවා.”
ටෙලිනාට්‍ය කිහිපයක රංගනය උදෙසා නිහාරිට ආරාධනා ලැබුණද ඇගේ වෙනත් කටයුතු සහ කාලය කළමනාකරණය කරගැනීමේ ගැටලු සමඟ ඒවාට දායක වීමට නොහැකි වී තිබේ. සීමිත කොටස් ප්‍රමාණයක, ගුණාත්මක ටෙලි නිර්මාණයක් ලැබුණහොත් ඉදිරියේදී රංගනයෙන් දායකවීමට ඇය කැමැත්තෙන් සිටින්නීය. නර්තනය, ගායනය, නිවේදනය ආදී අංශ සඳහා වෘත්තියමය වශයෙන් යොමු නොවුණද, චරිතයකට යෑමේදී එකී අංශ පුහුණු විය යුතු බවත් කොයි මොහොතක හෝ ඒවා රංගනය සමඟ මුසු කිරීමට අවස්ථාව ලැබිය හැකි බව ද නිහාරි තරයේ විශ්වාස කරන්නීය. වෘත්තියමය වශයෙන් එකී අංශවලට නැඹුරු නොවුණද ගායන, නර්තන, නිවේදන හැකියාව නිහාරි සතුවන්නීය.
ඕනෑම අයකුව ජීවත් කරවනුයේ බලාපොරොත්තුය. නිහාරි සතුව ද බලාපොරොත්තු රැසකි.
“අනාගත බලාපොරොත්තු නම් රැසක්ම තිබෙනවා. සිනමා ක්ෂේත්‍රයට පිවිසීමේ බලාපොරොත්තුව නම් ඉටු වුණා. මගේම ව්‍යාපාරයක් අරඹන්න බලාපොරොත්තු වෙනවා. හොඳ නිර්මාණවලින් ඉදිරියට එන්න බලාපොරොත්තු වෙනවා.”
‘අග්නික, ඉරණම් කරණම්, පතිකුලය, රාවණ’ චිත්‍රපට තුළින් ඉදිරියේදී නිහාරිගේ රංගනයන් ලාංකේය ප්‍රේක්ෂකයාට රසවිඳිය හැකිය.
තරුණ්‍යයේ පසුවන ඇය ආදරය පිළිබඳ කීවේ මෙවැන්නකි.
“මම පෙම්වතියක්. ආදරය ගැන එකිනෙකාට සිතෙන්නේ එක් එක් විදිහට. මට දැනෙන ආදරය මගේ විදිහනේ. වෙනත් කෙනකුට එය වෙනස් ලෙස දැනෙන්නත් නිර්වචනය කරන්නත් පුළුවන්.”