හොඳම නළුවා වෙනවට වැඩිය අමාරු සහාය නළුවා වෙන එක -ජෙනට් ඇන්තනී

gossiplanka image 1
 

මෑත කාලීන ටෙලිනාට්‍ය කලාවේ දහස් ගණනින් රංගන ශිල්පීන් බිහිවෙන යුගයක චරිතාංග රංගන ශිල්පියෙකු ලෙස බොහෝ දෙනෙකුගේ හදවත්වල නතර වන රංගන ශිල්පීන් බිහිවන්නේ අතළොස්සකි. ඉන් එක් අයෙකු ලෙස අවිවාදිතව පිළිගත හැකි රංගන කුසලතාවක් හෙබි අයෙකු ලෙස ජෙනට් ඇන්තනීව හඳුන්වා දිය හැකිය. මේ දිනවල විකාශය වන පට්ටි ගෙදර ‘උපාලි‘, අහංකාර ආදරේ ‘සුමුදු‘, බෝල්ට් ඇණයක්හි ‘ජාලිය‘ වන්නේ ද ජෙනට් ඇන්තනී. එකිනෙකට වෙනස් චරිත කිහිපයකින් ඉදිරියට පැමිණි ජෙනට් ඇන්තනී සමඟ මේ කතබහ.


කොහොමද මේ දවස්වල ජාලියට ලැබෙන ප්‍රතිචාර?


හිතුවේවත් නැති විදියේ ප්‍රතිචාර ලැබෙනවා. මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ අපේ නිෂ්පාදක ජනක සම්පත් තඹරවිටට. ඔහු තමයි මට කතා කළේ මෙහෙම වැඩක් තියෙනවා ජෙනා. ඒක කරනවා නම් ඔයා තමයි කරන්න ඕනේ කියලා ඔහු කිව්වා. ඊට පස්සේ මගේ මිත්‍රයා, මම ජාතික තරුණ සේවා සභාවේ ඉඳන් අඳුනන චාලක රණසූරිය අයියා එක්ක මේ දවස්වල මම පෝරකය මඟුල් ගෙයක් කියන වේදිකා නාට්‍යයේ වැඩ කරනවා. මේ නාට්‍යය අධ්‍යක්ෂණය කරන්නේ දිල්ශාන් සජුන් බණ්ඩාර. ඔහුගේ ප්‍රථම ටෙලිනාට්‍යය අධ්‍යක්ෂණය. එයා සහ එයාගේ කණ්ඩායම ලොකු මහන්සියක් ගත්තා මේ නාට්‍ය සාර්ථක කර ගන්න. ඒ අනුව තමයි මේ තරම් ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙන්නේ. හරි සතුටුයි ගොඩක් අය මේ නාට්‍යය ගැන කතා කරනවා. ජාලියට ගොඩක් අය ආදරේ කරනවා. ඒ ගැන නිහතමානි සතුටක් තියෙනවා.


පට්ටිගෙදර උපාලිගෙන් පස්සේ ජාලිය වගේ චරිතයක් ලැබීම ගැන මොකද හිතෙන්නේ?


පට්ටිගෙදර උපාලිගෙන් පස්සේ මට අවශ්‍ය වෙලා තිබුණේ වෙනස් චරිතයක් කරන්න. මම කොහොමත් කැමතියි විවිධ චරිත කරන්න. ඒ චරිත අත්හදා බලන්න කැමතියි. ජාලියට කලින් මට ආව චරිතය තමයි ‘අහංකාර ආදරේ‘ සුමුදු කියන චරිතය සමීර හසුන්ගේ. ‘පට්ටි ගෙදර‘ උපාලි සහ ‘බෝල්ට් ඇණයක්‘ එකේ ජාලිය කියන්නේ අහසයි පොළොවයි වගේ. උපාලි කියන්නේ ආදරේ නැති මනුස්සෙක් විදියට මම දකින්නේ. තමන්ගේ දියණියට විතරයි එයා ආදරේ කරන්නේ. ජාලිය කියන්නේ ආදරේ පිරිච්ච මනුස්සයෙක්. ඒ දෙක චේන්ජ් කර ගන්න එකත් මට අභියෝගයක් වුණා. හැබැයි තිර පිටපත් රචනය සහ අධ්‍යක්ෂවරයාගෙන් මට ලොකු සහයෝගයක් ලැබුණා. මට ඕනේ වුණේ වෙනසක් කරන්න. නාට්‍ය බලන ප්‍රේක්ෂකයාට ඒ වෙනස දැනිලා තියෙනවා.


ජාලිය නිසා මඟ තොටේදී ලැබෙන ප්‍රේක්ෂක ආදරේ කොහොමද දැනෙන්නේ?


ජාලියට පොඩි ආදරයක් ඇති වෙලා තියෙනවා. පසුගිය කාලේ උපාලි නිසා එන්න ‘එපා පැත්ත පලාතේ අපි ඔයාට කැමති නැහැ‘ කියපු අය දැන් ජාලියට ආදරේ කරනවා. මේ ළඟදීත් මගේ විදෙස්ගත යාළුවෙක් කිව්වා උපාලි ගැන තරහා ගියාට ජාලියට නම් ආදරේ හිතෙනවා කියලා. ජාලියට මිත්‍රශීලි අනුකම්පාගත ආදරයක් ලැබෙනවා. ජාලිය කියන චරිතය හරි පරිස්සමෙන් කරන්න ඕනේ. එහෙම නොවුණොත් ජාලිය හාස්‍යමය විදියට පේන්න පුළුවන්. හැබැයි ජාලිය කියන්නේ හාස්‍යමය මනුස්සයෙක් නෙවෙයි. ජාලිය ඇතුළේ ඉන්න ආදරණීය මනුස්සය එළියට ගන්නයි මම උත්සහ කළේ. ජාලියට ලව් කියන එක මඟහැරිලා තියෙනවා. මම ඒ දේ තමයි බොහොම පරිස්සමෙන් මතු කරමින් ඉන්නේ.


ජාලියගේ අම්මාට ඉන්නේ චමිලා පීරිස්, තාත්තාට ඉන්නේ ජයනාත් බණ්ඩාර. ඒ දෙන්නාගෙන් ලැබුණු සහයෝගය කොහොමද?


චමිලා අක්කා කියන්නේ මම වේදිකාවේ දැකපු ඉතාම දක්ෂ රංගන ශිල්පිනියක්. කවදා හරි වැඩ කරන්න ඕනේ කියන හීනේ තියෙන අය ඉන්නවනේ අපිට. උදාහරණයක් විදිහට දිල්හානි අක්කා, ජයනි අක්කා, කෞෂල්‍යා ප්‍රනාන්දු මිස්, සේමිණි අක්කා මේ අයට එහෙම හීන තිබුණා. ඒ වගේ හීනයක් තිබ්බ කෙනෙක් තමයි චමිලා පීරිස් කියන්නේ. අපි ‘ලොක්කා ලෙඩ වෙලා‘ කියන නාට්‍යය එක්ක මාසයක කාලයක් ඔස්ට්‍රේලියාවේ හිටියා. ඒ කාලය තුළ මම දැක්කා එයා තුළ තියෙන ගතිගුණ. මම චමිලා අක්කට අම්මා කියලා කතා කරන්නේ. ඒ අම්මා කියන හැඟීම මට කොහොමත් චමිලා අක්කාගෙන් දැනෙනවා. මගේ අම්මට වගේම මම චමිලා අක්කට ආදරෙයි. ඒ තුළින් මට ලේසි වුණා චමිලා අක්කා එක්ක වැඩ කරන්න. එයා ගැන කියන්න වචන නැහැ. මම විශ්වාස කරන්නේ හොඳම නළුවා වෙනවට වැඩිය අමාරුයි සහාය නළුවා වෙන එක. ඒ කියන්නේ අනිත් කෙනාට සහය වෙන එක තමයි අපි කරන්න ඕනේ. ජාලිය කියන දරුවා ගොඩනැඟෙන්න ලොකුම හේතුව චමිලා අක්කව මේ නාට්‍යයට ගත්ත එක. චමිලා අක්කා මට ආශීර්වාදයක් වුණා මේ චරිතේ ඇතුළේ. මට ජාලියව දැනෙන්න ගත්තේ චමිලා අක්කා හරහා. ජයනාත් අයියා කියන්නේ අපේ වේදිකාවේ සිංහයා. සිංහබාහු නාට්‍යයේ. ජයනාත් අයියා එක්කත් වැඩ කරන්න ආසාවක් තිබුණා. මේ දෙන්නා එක්ක වැඩ කරද්දී මගේ ජීවිතේට ලොකු දේවල් ලැබුණා. ජයනාත් අයියා කියන්නේ කරන වැඩේ හරියට කරන වෙලාවට වැඩ කරන කෙනෙක්. අම්මා තාත්තා විදියට ඒ දෙන්නා එක්ක වැඩ කරන්න ලැබීම මට සතුටුයි .


ජෙනට් චරිත තෝරා බේරාගෙනද වැඩ කරන්නේ?


මුල් කාලයේ එහෙම චරිත තෝරා ගැනීමක් කරන්න බැහැ. මුල් කාලයේ මට කතා කළේ මැර චරිතවලට විතරයි. මම ගොඩක්ම වැඩ කළේ ජයප්‍රකාශ් සිවගුරුනාදන් මහතා සමඟ. කෝටිපතියෝ, අග්නි පියාපත් වගේ නාට්‍යවලින් තමයි අපිට සිවා අයියා අත දුන්නේ ඉදිරියට එන්න. එතැනදී මම සිවා අයියා එක්ක කතා කරගෙන එකිනෙකට වෙනස් කර ගත්තා. අද වුණත් මම බලන්නේ, මට ලැබෙන චරිතවලදී මට කරන්න පුළුවන් දෙයක් තියෙනවද කියන එක මිසක් එහි තියෙන ධාවන කාලය ගැන නෙවෙයි.


මේ නිර්මාණවලට අමතරව මොනවද මේ දවස්වල වැඩ කටයුතු?


ටෙලි නාට්‍ය දෙක තුනක් එන්න තියෙනවා. ඒ අතර චන්දන ඉරුගල් බණ්ඩාර කරනවා, රන්දික කඩවතආරච්චිගේ නවකතාවක් ඇසුරින් ‘පිරිනිවන් කඳු පාමුල‘ කියන නාට්‍යය. ඒ එක්කම මම දායක වූ සිනමා නිර්මාණත් එන්න තියෙනවා. ඊට අමතරව මේ දවස්වල පෝරකය මඟුල් ගෙයක් වේදිකා නාට්‍යය එක්ක කාලය ගත වෙනවා.


සිනමාවෙන් එන්න තියෙන නිර්මාණ මොනවද?


චින්තන ධර්මදාසගේ ‘අභිසාරී‘, ලලිත් රාජපක්ෂගේ ‘විසේකාර්‘, සජිත අක්මීමනගේ ‘සීනි‘ එන්න තියෙනවා. ඒ එක්කම තව අලුත්ම සිනමා නිර්මාණයකට දායක වෙන්න අවස්ථාව ලැබුණා.

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
Previous Post Next Post