මේ දිනවල දෙරණ නාළිකාවෙ විකාශය වන ‘හුස්මක් ළඟින්‘ නාට්‍ය බලන කෙනෙක් නම් ඔබ, ඔබට මිහිලි ගැන අමුතුවෙන් කිව යුතු නැහැ. මිහිලි ලෙසින් ප්‍රේක්ෂකයන් අතරට එන්නෙ නේහා නතාශා. පුංචි තිරයට ටිකක් අලුත් මුහුණක්. ඒ නිසාම ඇය ගැන දැන ගන්නත් කැමති ඇතිනේ. රසඳුන මේ කතාබහ නේහා නාතාශා එක්ක.
නේහා ඔබ කොහොමද කලාවට යොමුවෙන්නෙ?
මගේ ගම මහනුවර. මම ඉගෙන ගත්තේ මහනුවර සීතාදේවි බාලිකා විද්‍යාලයෙන්. මගේ පවුලේ ඉන්නෙ අම්මා, තාත්තා, අයියා සහ මල්ලි. අයියා විවාහකයි. මල්ලී තවම ඉගෙන ගන්නවා. මම කලාවට මුලින්ම සම්බන්ධ වෙන්නෙ කමර්ෂල් මොඩ්ල් කෙනෙක් විදියට. ඊට පස්සෙ සමීර වීරසිංහ අයියා මට කියනවා කන්ටෙන් ක්‍රියේෂන් පැත්තට යොමු වෙන්න කියලා. එයා තමයි කිව්වෙ මොඩ්ලින් වැඩ වලටත් වඩා කතා කරන දේවල් ප්‍රසන්ටින් වැඩ මට වඩාත් හොඳින් කරන්න පුළුවන් කියලා. ඔය අතරේ මට අවස්ථාව ලැබෙනවා කොමර්ෂල් බැංකුවේ ප්‍රධාන වෙළෙඳ දැන්වීමට. ශ්‍රියන්ත අයියා මගේ කන්ටෙන් එකක් දැකලා තමයි මට රංගනයට එන්න අවස්ථාව ලැබෙන්නෙ.
මුල්ම රඟපෑවේ මොකක්ද ?
මම මුලින්ම රඟපෑ නිර්මාණය අසංක සායක්කාරගේ ‘සික්ස් පැක්‘ නාට්‍යය. ඒ නාට්‍යයට කතා කළේ සංතුෂ් අයියා. ඒ කතාවේ රවිශාන්ගේ නංගි ඒ කියන්නේ රවීශා විදියට නාට්‍යයේ කොටස් තුනක රඟපාන්න අවස්ථාව ලැබෙනවා.
මේ වෙද්දී නිර්මාණ කීයක විතර රඟපාලා තියෙනවද?
නාට්‍ය කිහිපයකම පොඩි පොඩි චරිත කරලා තියෙනවා. හැබැයි හරියටම බැලුවොත් රඟපාලා තියෙන්නේ ටෙලි නාට්‍යය තුනක් වගේ.
ප්‍රේක්ෂක ආදරේ මුලින්ම දැනුන හැටි කිව්වොත්?
මම නාට්‍යය කිහිපයක හිටියත් ගොඩක්ම ප්‍රේක්ෂකයන් අතරට ගිය චරිත ලැබුණේ අඩුවෙන්. මේ වෙද්දී විකාශය වන හුස්මක් ළඟින් නාට්‍යයේ මිහිලි කියන චරිතය හරහා තමයි ප්‍රේක්ෂකයන් මාව හඳුනා ගන්නෙ. ඒ නිසා දැන්නම් මාව මඟ තොටේදී හඳුනාගෙන කතාබහ කරනවා. මේ ළඟදිත් අපේ අක්කා එක්ක සැලෝන් එකකට යද්දී එතැන හිටිය ආන්ටිලා දෙන්නෙක්. ‘හායි මම ඔයාව දන්නවා. ඔයා ඉන්න නාට්‍යය බලනවා. එකේ හරිම ලස්සනයි. ලස්සනට රඟපානවා‘ කියලා මට සුබ පැතුවා. ඒ වෙලාවෙ මාව අහම්බෙන් දැකීමත් එක්ක දැණුනු ආදරේ මට ප්‍රකාශ කළා. ඒක තමයි මට දැනුණු ප්‍රථම ප්‍රේක්ෂක ආදරේ.
චරිතයක් භාර ගන්න කලින් මොනවාද බලන්නෙ?
මම බලන්නෙ මගේ කැපෑසිටි එක තුළ මට කරන්න පුළුවන් ද කියන එක. කලිනුත් මට විවිධ චරිතවලට ඇරයුම් ලැබුණ. හැබැයි ඒ චරිත කරන්න මම බය වුණා. ඒකට හේතුව මම කැමති වුණේ නැහැ මුලින්ම මාව ප්‍රේක්ෂකයන් අතරට එන චරිතයකින් වැරදි දෙයක් සමාජගත කරන්න. ඒක දිගින් දිගටම මිනිසුන්ගේ හිත්වල රැඳෙන නිසා. ඒ නිසා රඟපාන්න පුළුවන් කියන විශ්වාසය මටම දැනෙන චරිතයක් ලැබෙනකම් බලා හිටියා.
මිහිලි කියන චරිතේ තුළ සැබෑ නේහාගේ ලක්ෂණ තියෙනවාද?
කොහෙත්ම නැහැ. මිහිලි කියන්නෙ මගෙ සැබෑ චරිත ලක්ෂණවලට වඩා වෙනස්ම චරිතයක්.
රංගනයේදී සීමාවන් තියෙනවාද?
අනිවාර්යයෙන් සීමා තියෙනවා. ඒ සීමාවන් රංගනයට පමණක් නෙවෙයි සාමාන්‍ය ජීවිතේදීත් මට පනවාගෙන තියෙනවා. ඒ කියන්නෙ සමාජයට හෝ වෙනයම් කෙනෙක්ට ඕනෑ විදියට නෙවෙයි. තමන්ගේ හෘද සාක්ෂියට එකඟව වැඩ කරනවා නම් කාලය කොතරම් ගත වුණත් තමන්ගේ තැනට යන්න පුළුවන්.
නිළියක් වෙන්න ඕනේ කියලා හිතුනේ කොයි කාලෙද?
නිළියක් වෙන්න ඕනේ කියලා හිතුනේ පාසල් යන කාලෙමයි. මම ආසයි නර්තනයට, ටීම් ලීඩින්, රඟපාන්න, මම වේදිකා නාට්‍යවලට හරිම ආසයි. ස්කෝලෙදිත් ඒ හැම දේටම පෙරමුණ අරගෙන වැඩ කළා. 8 වසරේ ඉඳන් මගේ හිතේ පොඩි හීනයක් තිබුණා රඟපාන්න චාන්ස් එකක් ලැබෙයි කියලා.
නිළියක් වෙන්න පුළුවන් වීම ගැන මොකද හිතෙන්නෙ?
ඇත්තටම අද සතුටක් ලබනවා. ප්‍රේක්ෂක ආදරේට මම ආදරේ කරන කෙනෙක්. මම විශ්වාස කරන්නෙ අපි කරපු කුසල් නිසා තමයි ප්‍රේක්ෂක ආදරේ ලබන්න පුළුවන් විදියේ රංගන ශිල්පියෙක් හෝ ශිල්පිනියක් වෙන්න භාග්‍ය ලැබෙන්නෙ. මම ගිය ආත්මේ කරපු කුසල් ඇති, ඒ වගේම මේ ආත්මෙත් මම කුසල් රැස් කරන කෙනෙක්. ඒ නිසා මගේ ගමන සාර්ථක වෙයි කියලා හිතනවා.
අනාගත බලාපොරොත්තු මොනවාද?
මම ආසයි රංගන ක්ෂේත්‍රයේ ඉහළටම යන්න. මට දෙමළ බස හොඳින් කතා කරන්න සහ ලියන්න පුළුවන්. ඒ නිසා මම ආසාවෙන් ඉන්නවා දෙමළ චරිතයක් කරන්න. ඒ එක්කම කවදා හරි හොඳම නිළිය වෙන්න බලාපොරොත්තු වෙනවා.