අශාන්ගෙනුයි ඉසුරුගෙනුයි හොඳට ගුටි කෑවා-මේඝ සූරියආරච්චි

gossiplanka image 1
 




සිංහල සිනමාවට කාලයෙන් කාලයට විවිධ මුහුණු එකතු වෙනවා. වෛi කපිල සූරියආරච්චිගේ “සිනෙමා” සිනමා නිර්මාණයේ ප්‍රධාන චරිතය නිරූපණය කරමින් කතාබහට ලක්වුණු මේඝ සූරියආරච්චි ගැන මේ දිනවල දැඩි ලෙස කතාබහට ලක්වෙනවා. පසුගිය කාලයේ ප්‍රියන්ත කොළඹගේ ගේ ‘මන්දාරා’ චිත්‍රපටයෙන් වගේම ජයන්ත චන්ද්‍රසිරිගේ දේවි කුසුමාසන තුළින් ද මේඝ ගැන කතාබහ වෙන්න ගත්තා. යළිත් ඔහු ගැන කතාබහ වෙන්න පටන් ගත්තේ පසුගිය බ්‍රහස්පතින්දා සිට තිරගත කිරීම ආරම්භ කළ ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්‍ෂණය කළ සූරිය සුළඟ හරහායි.


මේඝව අපිට මේ දවස්වල මුණගැසෙන්නේ සූරිය සුළඟ සිනමා නිර්මාණයෙන්. කොහොමද ලැබෙන ප්‍රතිචාර?


මම හිතන්නේ සූරිය සුළඟ සිනමා නිර්මාණයේ කලින් තිබුණු සෑම ප්‍රදර්ශනයක්ම ඉතාමත් හොඳට කතාබහට ලක්වුණු විශේෂ කතා තේමාවක්. හැම නළු නිළිවරණයට වගේම රංගනයන්ට ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබුණා. දැන් ඉතිං ලංකාවේ සියලුම සිනමාහල්වලට සූරිය සුළඟ නිකුත්වෙලා තියෙනවා. අපි දරපු මහන්සිය ලංකාවේ ප්‍රේක්ෂකාගාරයට මොන විදිහට ද දැනෙන්නේ කියලා දැනගන්න ඉතාම ආදරයෙන් බලාගෙන ඉන්නවා.


සූරිය සුළඟ සිනමා නිර්මාණයට ආරාධනා ලැබුණේ කොහොමද?


මම ප්‍රියන්ත කොළඹගේ මහත්මයා සමග කරන දෙවැනි නිර්මාණය තමයි සූරිය සුළඟ. පළමු නිර්මාණය තමයි මන්දාරා. ඒකෙන් පස්සේ තමයි ප්‍රියන්ත අයියා මට කතා කරලා කිව්වේ දෙවැනි චිත්‍රපටයටත් අපි ලෑස්ති වෙමු කියලා. මේක බොහොම මහන්සිවෙලා, කැපකිරීම් රැසක් සිදු කරලා තමයි චිත්‍රපටය නිර්මාණය කළේ. මම හිතනවා ප්‍රේක්ෂකයෝ සිනමා ශාලාවලදී ඒක දිකීවි කියලා.


මන්දාරා චිත්‍රපටයෙන් පසුවනේ ඔබට සූරිය සුළඟ චිත්‍රපටය ලැබෙන්නේ. මේ දෙක අතර වෙනස කොහොමද දැනෙන්නේ?


මම හිතන්නේ මන්දාරා චිත්‍රපටයේ රූගත කිරීම්වලට සම්බන්ධ වෙනකොට මම සිනමාවට බොහොම අලුත්. ඒ කාලේ රංගනය හදාරන්න පටන් ගත්තා පමණයි. ඉතිං කාලයත් එක්ක නිර්මාණ දෙකේ වෙනස ප්‍රේක්ෂකයාට දැනේවි කියලා විශ්වාස කරනවා. මමත් රංගනය වැඩිදුරට හදාරන්න පටන් අරගෙන ඉන්නකොටයි සූරිය සුළඟට යොමු වෙන්නේ. අපි සූරිය සුළඟේ රූගත කිරීම් සිදු කරලා ටික දවසක් වෙනවා. මම හිතනවා මේ චිත්‍රපට දෙකෙන් වෙනසක් දැකගන්න හැකි වේවි වගේම වෙනසක් දැනේවි කියලා.


සිදත්ගේ පිටපත කියවාගෙන යනකොට මොනවගේ හැඟීමක් ද ආවේ?


මම හිතන්නේ සූරිය සුළඟ කියන්නේ කලර් ශානරයට අයිති චිත්‍රපටයක්. තරුණයකුගේ ජීවිතය අංශක අනූවෙන් අනෙක් පැත්තට කැරකිලා ජීවිතය වෙනස් වී ගෙන යන ඒ වෙනස්වීමත් එක්ක එක නිමේෂයකින් ජීවිතයත් එක්ක තරග කරන්න වෙන, තරුණයෙකුගේ කතාවක්. ඒක අපිට වුණානම් කොහොමද කියන එකත් එක්ක, දැනෙන දේත් එක්ක තමයි ඒ තරුණයාගේ කතාවේ, තරුණයාගේ


ජීවිතය ඇතුළට අපිට කතා කරන්න වෙන්නේ. ඔහුගේ ජීවිතය යන ගමන සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා තමන්ගේ ජීවිතයේ ඇත්ත පෙන්වන්න ජීවිතයත් එක්ක සටන් කරන්න වෙන තරුණයකුගේ කතාවක්. මට වැඩිදුර විස්තර කියන්න වෙන්නේ නැහැ. ඒක ප්‍රේක්ෂකයෝ සිනමාහලට ඇවිත් බලන්න ඕනෑ.


සිදත් වෙනුවෙන් මොන වගේ කැපකිරීම් ද කරන්න සිද්ධ වුණේ?


ඇත්තටම සිදත් වෙනුවෙන් ගොඩක් කැපකිරීම් කරන්න සිද්ධ වුණා. ශාරීරිකවත් මානසිකවත් ගොඩාක් පරිත්‍යාග කරන්න තිබුණු චිත්‍රපටයක්. සිදත්ව එළියට ගෙනඑන්න ගොඩාක් මහන්සි වෙන්න සිද්ධ වුණා. මම හිතනවා මගේ උපරිමය ඒ වෙනුවෙන් දීලා තිබෙනවා කියලා.


සිදත්ව තිරයෙන් දකිනකොට මේඝට මොකද හිතුණේ?


ඉස්සෙල්ලාම වුණේ මහන්සිය මතක් වෙච්ච එක තමයි. මුළු ටීම් එකක් විදිහට, කටුක විදිහට සමහර දර්ශන රූගත කිරීම් කරන්න සිද්ධ වුණා. ඒ ඔක්කොමත් එක්ක මහන්සියේ ප්‍රතිඵලය තිරය මත දිස්වෙනවා දකින එක ඇත්තටම නළුවෙක්ට තියෙන උපරිම සතුටක්. ඉතිං මම හිතනවා ඒක මම සූරිය සුළඟේ සිදත් තුළින් අත්වින්දා කියලා.


අශාන්ගෙනුයි ඉසුරුගෙනුයි ගුටිකන දර්ශන දකින කොට මේඝට මොනවගේ හැඟීමක් ද ආවේ?


ගොඩාක් ශාරීරිකව කැපකිරීම් කරන්න සිද්ධ වුණු චිත්‍රපටයක්. ඇත්තටම ගුටිකන දර්ශන කිහිපයක්ම මේ චිත්‍රපටය තුළ තිබෙනවා. ඉසුරුයි අශානුයි ගහපු අවස්ථා තිබුණා. සමහර කැමරා කෝණවලට අනුව අපිට එහෙම කරන්න ඕනෑ වුණා. අපි තුන්දෙනා කතා කරගෙන කරපු දර්ශන කිහිපයකුත් තියෙනවා. මම හිතන්නේ ඒ මහන්සියේ ප්‍රතිඵල තමයි තිරයට ඇවිත් තියෙන්නේ.


එම දර්ශන රූගත කරලා අවසන් වුණාට පස්සේ අශානුයි, ඉසුරුයි මොනවද කිව්වේ?


ගොඩක් දර්ශන අපි තුන්දෙනා කතා කරගෙන තමයි සිදුකළේ. ප්‍රේක්‍ෂකයාට දැනෙන හැඟීම අඩු කරන්න අපිට වුවමනා වුණේ නැහැ. ඒ නිසා සූරිය සුළඟ ඇතුළේ ගොඩක් ජවනිකා තාත්විකව සිදුකරන්න උපරිම උත්සාහ කළා. ඒකත් එක්ක ප්‍රේක්‍ෂකයාටත් ඒ හැඟීම ඒ විදිහටම දැනෙන්න ඇති කියලා විශ්වාස කරනවා.


චිත්‍රපටය බැලුවාට පස්සේ තුන්දෙනාම එකට හමුවෙලා මොනවාද කතා කළේ?


හැමවෙලාවේම වගේ එදත් ‘මල්ලි හොඳයි නේද? අවුලක් නැහැ නේද?’ කියන වචනයෙන් තමයි පටන් ගත්තේ. නමුත් මම හිතන්නේ අදටත් මගේ ඇඟේ තුවාලවල කැළැල් තවමත් ඉතුරුවෙලා තියෙනවා.


ගහපු පාරවල් තවම ඇඟේ තියෙනවා. එහෙමද?


ගහපු කියන්නේ සමහර වෙලාවට අත්වැරදීම් එහෙමත් තියෙනවා. මොකද ඒ දෙන්නා විතරක් නෙමෙයි තව අතිරේක රංගන ශිල්පීන් ඉන්නවා. අත්වැරදීම් පවා වෙන්නේ අපි පුහුණු වුණේ නැතිනම්නේ. නමුත් අපි මෙහිදී හොඳ සූදානමක් ඇතිවයි මේ සියල්ල සිදුකළේ.


සූරිය සුළඟ නැරඹුවාට පසුව සමස්තය ගැන මොනවගේ අදහසක් ද ආවේ?


මම හිතන්නේ බොහොම ආදරයෙන් ප්‍රේක්ෂකයාත් වැලඳ ගනීවි කියලා විශ්වාසයක් තියෙනවා. ඕනෑම මනුෂ්‍යයෙක් සංවේදී වෙන මාතෘකාවක් ඔස්සේ තමයි සිදත්ගේ ජීවිතය ගලාගෙන යන්නේ. ඒ වගේම සිදත්ගේ තරුෂිගේ කතාව ඒක ඇතුළේ දුවන විදිහ හරි අපූරුයි. තමන් ඒ තත්ත්වයට පත්වුණොත් තමන්ට දැනෙන්නේ කොහොමද කියන එකත් එක්ක ප්‍රේක්‍ෂකයෝ ඒකට සංවේදී වෙන්නෙ කියලා දැනගන්න මේ වෙලාවේ ආසාවෙන් ඉන්නවා.


කකුල් දෙකෙන් එල්ලලා තියපු දර්ශනය ගැනත් කතා කරමු නේද?


ගහන්න ඕනැ නැහැ. මාව එහෙම එල්ලලා තිබ්බත් ඇති. ඒක හරිම අමාරු දෙයක්. දවස් කිහිපයක්ම ඒ වගේ දර්ශන කිහිපයක් සඳහා එක දිගටම එහෙම ඉන්න සිද්ධ වුණා. එක දිගට එහෙම ඉන්න අමාරුයි. විවේක අරගෙන මාරු කරගෙන තමයි එම දර්ශන දෙක කළේ. ඒ දර්ශන තිරයේ හොඳට ඇවිත් තියෙනවා කියලා මම හිතනවා.


‘මේඝ’ සූරියආරච්චි ගැන මේ දවස්වල හරියට කතාබහ වෙනවා නේද?


මම හැමවෙලාවේම මට සාපේක්‍ෂව ඔබ දකින කෙනෙක්. මේඝ සූරියආරච්චි කියන රංගන ශිල්පියා ඊයෙට වඩා අද හොඳ වෙන්න ඕනෑ කියලායි මගේ විශ්වාසය. ඉතිං ඒක වෙනුවෙන් තමයි මම නිර්මාණකරණය ඇතුළේ වැඩ කරන්නේ. ඉතිං ඒ ගමන හෙමින් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා.


‘මේඝ’ සිනමාවේ ලොකු වෙනසක් ඇති කරාවි කියලත් සමහරු කියනවා. ඉදිරියේදී ලොකු තරගයක් ඇතිවේවිද දන්නේ නැහැ?


මම හිතන්නේ මුලින් සඳහන් කළා වගේ තරගය තියෙන්නේ තමන්ට තමන් එක්ක විතරයි. මොකද ක්‍ෂේත්‍රයක් විදිහට මේ කර්මාන්තය ඉදිරියට යන්නේ වෙනස් වෙනස් ආකාරයේ නළු නිළියන් මේ කර්මාන්තයට එන තරමටම තමයි. එහෙම එන තරමටම මම බොහොම ආසයි. අපිට ලංකාවේ සිනමාව ලස්සන කරන්න ඕනෑ වෙන්නේ ඒ මූලාශ්‍රම තමයි.


ප්‍රේක්‍ෂකාගාරයට එක්කෙනෙක්ගේ මූණක් බලාගෙන ඉන්න වුවමනා නැහැ. මම විශ්වාස කරන්නේ එක එක වෙනස්කම් තියෙන වෙනස් වෙනස් මූණු තියෙන නළු නිළියන් මේ සිනමාව ඇතුළේ ඉන්න ඕනෑ, ලස්සන ෆිල්මස් එන්නත් ඕනෑ. මම හිතන්නේ අපි හොඳ ගමනක් ලංකාවේ සිනමාව ඇතුළේ යනවා. ප්‍රේක්‍ෂකාගාරයට තරගකාරීත්වයක් ඇතිවෙන එක තමයි විය යුත්තේ.


තව චිත්‍රපට කීයක් විතර එන්න තියෙනවාද?


මම හිතන්නේ ඉදිරියට තව චිත්‍රපට කිහිපයක්ම එන්න තියෙනවා. චිත්‍රපට 4 ක් 5 ක් විතර තියෙනවා.


ඔබ අධ්‍යක්‍ෂණය සිදු කළ චිත්‍රපටයකුත් තියෙනවා නේද?


ඔව්. මේරීන් ඩ්‍රයිව්. ඉදිරියට ඒකත් තිරගත වීමට නියමිතයි. ඒකත් තිරගතවෙන දිනයක් ලැබෙනකම් තමයි බලාගෙන ඉන්නේ.


මේඝ සූරියආරච්චි කියන නිරූපණ ශිල්පියාට මොකද වුණේ?


ඇත්තම කතාව ඕක ගොඩාක් වැරදියට අර්ථකථනයට සිද්ධ වෙන දෙයක්. මම නිරූපණයට එන්නේ රංගන ශිල්පියෙක් ඔස්සේ. මම මුලින්ම එන්නේ රඟපෑමට. නිරූපණ ශිල්පියෙක් විදිහට මම නිරතවෙන්නේ රංගනයට ඇවිත් ගොඩාක් කාලයකට පසුවයි. රංගනය කියන රාමුවෙන් එළියට බැහැලා දෙයක් කරන්න තියෙන වුවමනාවට කරන දෙයක් නිරූපණ ශිල්පය සහ ලංකාව නියෝජනය කරන එක. ඒක මම හිතන්නේ වැරදියට පටලවාගෙන තියෙන දෙයක්. නිරූපණ ශිල්පියෙක් විදිහට ඇවිත් රංගනයට ඇවිත් කියන කාරණාවේදී ඒක අනෙක් පැත්තට වෙච්ච දෙයක්.


ඔබව නිතර දකින්නේ සිනමාවෙන්. වැඩිපුර කැමැති සිනමාවටද?


මම පොඩි කාලෙ ඉඳලා සිනමාවට ආදරය කරපු කෙනෙක්. මගේ නිර්මාණකරණය සිනමාව ඇතුළේමයි පොඩි කාලෙ ඉඳලා දැක්කේ. මම ප්‍රිය කළේ අධ්‍යක්‍ෂණයට. එතැනින් පස්සේ මම රංගනයට එන්නේ අහම්බෙන්. ඊට පස්සේ තමයි රංගනය අධ්‍යයනය කරන්න ගත්තේ. මම ඉස්සෙල්ලම අධ්‍යයනය කරපු දේත් හැමදාම ආදරය කළෙත් සිනමාව සහ අධ්‍යක්‍ෂණය.


පුංචි කාලෙ ඉඳලා හීන මැව්වේ සිනමා අධ්‍යක්‍ෂවරයෙක් වෙන්නද?


ඔව්. මට පොඩි කාලේ ඉඳලා තිබුණේ අධ්‍යක්‍ෂවරයෙක් වීමේ සිහිනය. සිනමාකරණයේදී හැම කොටසකම ටී බෝයි කෙනෙක් ඉඳලා අධ්‍යක්‍ෂවරයෙක් දක්වා වැඩ කරලා තියෙනවා. ඒ අත්දැකීම මම අවුරුදු හතරේ පහේ ඉඳලා නිර්මාණකරණය ඇතුළේ දකින්න ලැබුණු හින්දා නිර්මාණකරණයට ආදරය කරන්න ගත්තු දවසේ ඉඳලයි අධ්‍යක්‍ෂවරයාට ආදරය කරන්න පටන් ගත්තේ. ඉතිං ඒකත් එක්ක එන ගමනක් තමයි මේ.


පාසල් කාලේ මේඝ දක්‍ෂ ක්‍රීඩකයෙක් කියලත් ආරංචියි?


මම පාසල් ගියේ කොළඹ ඩී.එස්. සේනානායක විiාලයට. මම හිතන්නේ පාසලේ දී රගර් ඇරෙන්න අනෙක් සියලුම ක්‍රීඩා මම කළා. නමුත් මම අන්තර්ජාතික වශයෙන් ලංකාව නියෝජනය කළේ හොකී සහ ෆුට්බෝල් කියන දෙඅංශයෙන්.


ජාතික කණ්ඩායම නියෝජනය කරලත් තියෙනවාද?


පාසල් අවධියේදී 19 න් පහළ ජාතික කණ්ඩායම නියෝජනය කළා.


ඇයි මේ ක්‍රීඩාවෙන් ඈත් වුණේ?


ඇත්තටම එකක් අධ්‍යාපන කටයුතු. මොකද රංගනයට නියැළෙන්න කලින් සියල්ල පැත්තකට තියලා අධ්‍යාපන කටයුතුවල මම නියැළෙනවා. සරසවියේදීත් මම ක්‍රීඩා කළා. නමුත් වැඩිදුර අධ්‍යාපනයත් එක්කයි ක්‍රීඩාවෙන් ඈත් වුණේ.


මේඝ කියන්නේ දක්‍ෂ ෆුට්බෝල් සහ හොකී ක්‍රීඩකයෙක්?


ඔව්. මම හිතනවා. ජාත්‍යන්තර වශයෙන් පාසල් අවධියේදී 13 න් පහළ ඉඳලා 19 න් පහළ වෙනකම් නියෝජනය කරලා තියෙනවා.


ටෙලි නාට්‍යවලට ලැබෙන ආරාධනා භාරගන්නේ නැතිද?


මම එක ටෙලි නාට්‍යයකට රංගනයෙන් දායකවෙලා තියෙනවා. ඒක ජයන්ත චන්ද්‍රසිරි මහත්මයාගේ නන්නත්තාර කියන ටෙලිනාට්‍යය. ඒකත් අර බෑ කියන්න බැරිකමට කරපු වැඩක්. මම ඇත්තටම ෆිල්ම් විතරයි කරන්නේ. ටෙලි කරන්නේ නැහැ. ඒකට හේතුව ගොඩක් වෙලාවට කාර්යබහුල නිසයි. මම කැමැති නැහැ නිර්මාණ දෙක තුනක් ඇතුළේ වේලාව දෝලනය කරන්න. අනික මම පොඩි කාලේ ඉඳලා සිනමාවට ආදරය කරපු කෙනෙක්. ඒ සිනමාවේ කලාවට තමයි ගොඩාක් ආදරය කළේ.


ජීවිතය ගැන ආපසු හැරී බැලුවොත් මම හිතන්නේ අපි හැමෝටම වගේ ගලාගෙන යන ගමනක් තියෙන්නේ. ඉතිං කරන දේ දැනගෙන ඒ ගමන හෙමින් යනවා. අදට වඩා හෙට වෙනස්, හොඳ කෙනෙක් වෙන්න තමයි මම උත්සාහ කරන්නේ. ඒක නිර්මාණකරණයෙන් වෙන්න පුළුවන්, ජීවිතයෙන් වෙන්න පුළුවන්. ජීවිතයේ ඉගෙන ගත්ත දේවල්වලින් වෙනස් වෙන්න උත්සාහ කරනවා.


මේ ජනප්‍රියත්වයක් එක්ක ආදර යෝජනා එහෙමත් එන්න බැරිකමක් නැහැනේ?


ඒක ඉතිං සාමාන්‍ය ජීවිත ස්වභාවයක්. නමුත් මට හිතෙන්නේ මගේ සම්පූර්ණ අවධානය මේ මොහොතේ දීලා තියෙන්නේ මම ආදරය කරන කලාවටම තමයි. මොකද ඇත්තටම මටවත් මගේ ජීවිතයට වේලාවක් දෙන්න බැරි වෙලා තියෙනවා මේ මොහොතේ. ඒක එච්චර හොඳ දෙයක් නෙමෙයි ජීවිතයට. නමුත් ඒක කළ යුතු මොහොතේ කළ යුතුයි. මම මේ මොහොතේ ආදරය කරන්නේ සිනමාවටයි.


දිනේෂ් විතානඡායාරූප – උපුල් නිශාන්ත

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
Previous Post Next Post