මාල හතින් සැරසී මවුපියන්ගේ ආශීර්වාද මැද මංගල ගමන යන්න ආදරවන්තියන් කවුරුත් කැමැතියි. පසුගිය දවස්වල පුංචි තිරෙන් මංගල ගමන් ගිය තරු කිහිප දෙනකු ගැන කතාබහට ලක්වුණා. ඉන් එක් තාරකාවියක් තමයි නවිඳි රැපියල්. ඇය, ඇගේ මංගල ගමන ගැන අප සමග මේ විදියට කතා කළා.
නවිඳි ගැන මේ දිනවල ගොඩ දෙනෙක් කතාබහ කරනවා?
ගොඩ දෙනෙක් කතා වුණා ‘සිහිනෙක තනිවෙලා’ මගේ ඒ මංගල ගමන දැකලා.
මංගල ඇඳුමින් සැරසී මහ පාරේ දුවනකොට කට්ටිය බයවෙන්න ඇති නේද?
ගොඩක් දුරට මංගල ඇඳුමෙන් සැරසිලා දුවන දර්ශනය රූපගත කළේ සෙනඟ අඩු තැන් බලලා තමයි. පාළු රබර් වත්තක් මැද එහෙම රූගත කිරීම් කළා. මට ඒ සිදුවීම වෙනස්ම අත්දැකීමක්. සමහර විට මගතොටදී ජනතාව දකින්නත් ඇති මගෙ ඇඳුම දැකලා කොහෙද දුවන්නේ කියලා. ශනුලි චරිතයට ප්‍රේක්ෂක ප්‍රතිචාර නම් හොඳට තියෙනවා. මගතොටදී හමුවෙන අය කතා කරන්නේ මගේ චරිතය ගැන තමයි.
නැන්දම්මාගෙයි ලේලිගෙයි බැඳීම මාරයි?
ඔව්. මටත් ඒ ආදර බැඳීම හිතට මාරම විදියට දැනුණා. ප්‍රේක්ෂකයන් වුණත් මේ තරමට මම ගැන කතා වෙන්නේ අපි දෙන්නගේ ඒ ආදරය නිසයි. මමත් ගොඩක් ආශාවෙන් තමයි ඒ චරිතය රඟපාන්නේ.
නැන්දම්මා ලේලි අතර ගැටුම් එහෙමත් බහුලයි?
ඔව්. අද බහුතරයක් පවුල් අතර එහෙම ප්‍රශ්න ඇති වෙනවා. නැන්දම්මා ලේලි දෙන්නට දෙන්නා තේරුම් ගැනීමක් නැති වුණාම තමයි ඔය වගේ ගැටලු ප්‍රශ්න මතුවෙන්නේ.
ඔබත් මේ වගේ අම්මා කෙනෙක්ගේ ආදරයක් බලාපොරොත්තු වෙනවා ඇති?
ඇත්තටම ඔව්. මේ වගේ නැන්දම්මා කෙනෙක් ලබන්න පිනක් තියෙන්න ඕනේ. මම ප්‍රාර්ථනා කරන්නෙත් ඒකම තමයි.
නවිඳි විශ්වාස කරනවද ශනුලි වගේ චරිත අද සමාජයේ පවුල්වල දකින්න ඇති කියලා?
මේ පුංචි රටේ ඕනෑ තරම් ඇති. ශනුලි වගේ ජීවත් වෙන අය. ශනුලි චරිතය මම රඟපාන්න කැමැති වුණෙත් ඒ චරිතයට මගේ හිත ගිය නිසා. මේ චරිතය දකිනකොට සමහර විට හිතෙනවා ඇති මම වගේ කියලා.
නවිඳි කාලයක් රඟපෑමෙන් ඉවත් වෙලා නේද හිටියේ?
ඔව්. මම වෙළෙඳ දැන්වීම් හරහා තමයි කලාවට සම්බන්ධ වෙන්නේ. දිව්‍යාදරී, සංසාරණී, ඍග්ගඔ ටෙලිනාට්‍යවල මම රඟපෑවා. පසුගිය වසරේ ඍග්ගඔ ටෙලිනාට්‍යයේ මම රඟපාපු තෂෝමි චරිතය හරහා රයිගම් ටෙලි සම්මාන උළෙලේ නැගී එන නිළිය ලෙස නිර්දේශ නම් අතරට එකතු වුණා. කාලයක් මම ටෙලිනාට්‍යවල රඟපාලා මගේ අධ්‍යාපන කටයුතු සඳහා කලාවෙන් අවුරුද්දක් විතර ඈත්වෙලා හිටියේ.
එකම තිර රචකයකුගේ නිර්මාණයක වැඩ කිරීම පහසු ඇති නේද?
තිමිර උඩලමත්ත අයියා තමයි මම රඟපාපු සංසාරණී ටෙලිනාට්‍යය රචනා කළේ. ඔහු මගේ දක්ෂතාව තේරුම් ගන්න ඇති. සිහිනෙක තනිවෙලා ටෙලිනාට්‍යය ලියන්නෙත් ඔහුමයි. ඉතින් මට වුණත් රඟපානකොට ලොකු පහසුවක් දැනෙනවා.
වසන්ත විතාරණගේ