කවුරු එක්කවත් තරහක් නැහැ -ටනාශා සතරසිංහ

gossiplanka image 1
නීල පබළු ටෙලි නාට්‍යයේ කුරුළු, තවමත් ඔබට මතක ඇතිවාට සැකයක් නැහැ. කුරුළු කියන්නෙ ටනාශා සතරසිංහගෙ රංගන ජීවිතය වෙනස් කරපු චරිතය. ඉතිං අපි අද ඔබට කියන්න යන්නෙ ‘රජදහන’ එක්ක කාලෙකට පස්සෙ චිත්‍රපටයකින් දකින්න ලැබෙන බව කියන ආරංචියත් එක්ක ඇය මොනවද කිව්වෙ කියල.


ටනාශා, ‘රජදහන’ ගැන අදහස මොන වගේද?


රජදහන කියන්නෙ හරිම ලස්සන චිත්‍රපටයක් වගේම පවුලේ හැමෝටම බලන්න පුළුවන් නිර්මාණයක්. මේ නිර්මාණය කරල දැන් කාලයක් වෙනව. මෑත කාලයේ සමාජයට පණිවිඩයක් දෙන නිර්මාණ අඩුයිනෙ. ගොඩක් තියෙන්නෙ හාස්‍ය, ආදරය, ඇක්ෂන් වගේ ඒවා. ඒ අතරින් මේ චිත්‍රපටය සුවිශේෂී වෙනව. නැවතත් මෙවැනි චිත්‍රපටයකින් සිනමාවට එන්න ලැබීම ගැන සතුටුයි.


ටනාශා චිත්‍රපටයකින් දැකගන්න ලැබෙන්නෙ දිගු කලකට පස්සෙ?


ඔව්, මම රංගනයෙන් දායක වුණ චිත්‍රපටයක් තිරගත වෙන්නෙ අවුරුදු හතරකට පස්සෙ. මොහාන් නියාස් මහත්මයාගෙ බඹර වසන්තයක් චිත්‍රපටය තිරගත වුණාට පස්සෙ තිරගත වෙන චිත්‍රපටය වෙන්නෙ රජදහන.


කොහොමද රජදහනේ තැනක් ලැබෙන්නෙ?


චිත්‍රපටයේ පිටපත ලියන ජගත් ගලප්පත්ති අයියා තමයි රජදහන ට මට ආරාධනා කරන්නෙ. බඹර වසන්තයක් චිත්‍රපටයේත් අපි එකට වැඩ කළා. ඒ කාලෙමයි මට මේ ආරාධනය කරන්නෙ.


කාලෙකින් රිදී තිරයේ ඔබ ඔබව දකිනවා. ඒ හැඟීම මොන වගේද?


නිර්මාණයක් අවසානයේ හඬකවද්දි අපි දකින්නෙ අපේ සීන්ස් විතරයි. පිටපත බලද්දි අපිට චිත්‍රයක් මැවුණට ඒක ලස්සනට දකින්නෙ චිත්‍රපටය බලද්දි. ඉතිං මමත් ඒ අත්දැකීම වින්දෙ හරිම සතුටින්.


පේරාදෙණිය සරසවියේ කළ රූගතකිරීම විශේෂයි?


රජදහන රූගත කළේ පේරාදෙණිය සරසවියෙ. ජගත් අයිය කියන්නෙ මේ කැම්පස් එකේ සීන්ස් ගොඩක් රූගත කළ පළමු චිත්‍රපටය වෙන්නෙ රජදහන කියල. මගේ සීන්ස් ඔක්කොම තිබුණෙ කැම්පස් එක ඇතුළෙ. අපි දින ගණනක් නුවර නැවතිලා කරපු මේ වැඩේ හරිම සුන්දරයි.


කොහොමද රංගන වැඩකටයුතු?


මේ දවස්වල සුපුරුදු විදිහට ටෙලි නාට්‍ය රූගතකිරීම් කෙරෙනව. අලුත් ටෙලි නාට්‍යයක් වගේම අලුත් චිත්‍රපටයකුත් තිරගත වීමට නියමිතව තියෙනව.


අමිල කරුණානායක සමග රඟපෑම මොන වගේ අත්දැකීමක්ද?


අමිල අයිය මට කලින් රංගන ක්‍ෂේත්‍රයේ වැඩ කරපු කෙනෙක්. මේ චිත්‍රපටය කරද්දි මම ක්‍ෂේත්‍රයට අලුත් කෙනෙක්. එතැනදි මට ඔහුගෙන් ලොකු සහයෝගයක් ලැබුණා. ඒ අධ්‍යක්‍ෂ වගේම වාසිත අයියවත් ආදරෙන් මතක් කරන්න ඕන. ඔහුත් ඉතාමත් හොඳ සහයෝගයක් ලබාදුන්නා මගේ චරිතය සාර්ථක කරගන්න.


මෙහි එන ගීතයක් විශේෂ වෙනව?


ඔව්, චිත්‍රපටය නරඹල ගොඩක් දෙනෙක් මගෙන් ඇහුවෙ ලොකේෂන් එක කොහෙද කියල. මම දන්න විදිහට ඒක ලංකාවේ පළමුවැනි මිනිරන් පතල. කේබල් දාලා උඩට නැගල තමයි අපි මේ ෂූට් එක කළේ. ඒක මට අමතක නොවන සිදුවීමක් වුණා.


ටනාෂා වැඩ තෝරාබේරා ගන්න හැඩක් පේනවා?


පහුගිය කාලෙ මට ලැබුණ චරිත එක වගේ ඒවා. මේ නිසාම නිර්මාණයට හානියක් නොවෙන්න සමහර ඒවායින් මම කතාබහ කරල ඉවත් වුණා. මොකද එකම විදිහට දැක්කාම ප්‍රේක්‍ෂකයාට අපිව එපා වෙනවනෙ. දැන් විශේෂයෙන්ම ටෙලි නාට්‍යයක් තෝරාගනිද්දි තිර රචනය ගැන සැළකිලිමත් වෙනව.


ටනාශාටත් බලපෑම් තිබුණද?


මේ ක්‍ෂේත්‍රයේ අපි හොඳට ඉන්නවනම් හොඳ ගමනක් යන්න පුළුවන්. සමහර අය කියනව ප්‍රවීණයන්ගෙන් අඩම්තේට්ටම් වෙනව, අධ්‍යක්‍ෂවරුන්ගෙන් බලපෑම් වෙනව, අනෙක් සහෝදර ශිල්පීන් ඊර්ෂ්‍යා කරනව කියල. නමුත් මට නම් අද වනතුරු කිසිම කෙනකුගෙන් කිසිම බලපෑමක් වෙලා නැහැ. කවුරු එක්කවත් මගේ අමනාපෙකුත් නැහැ.


ඔබ ආපු ගමන අතරමැදදි වෙනස් වෙනව?


මම උසස් පෙළ කළේ ජීව විද්‍යා අංශයෙන්. විභාගයෙන් පස්සෙ මම මිස් ශ්‍රී ලංකා තරගයට සහභාගි වෙනව. මේ තරගය අවසන් වෙනවාත් එක්කම ‘රන් දේදුන්න’ චිත්‍රපටයට ආරාධනා ලැබෙනව. ඒකත් එක්ක මම ආපු ගමන සම්පූර්ණයෙන්ම කලාව පැත්තට යොමු වෙනව. ඊට පස්සෙ මට අධ්‍යාපනය පැත්තෙන් හිතන්න කාලයක් තිබුණෙ නැහැ. මොකද රන් දේදුන්නෙන් පස්සෙ ටෙලි නාට්‍යයට වගේම චිත්‍රපටවලටත් දිගටම ආරාධනා ලැබුණා.


රන් දේදුන්න නිසා ටනාශාට කලාවේ රජදහන තැනෙනව?


ඔව්, මට මේ හැමදේම ලැබුණෙ රන් දේදුන්න චිත්‍රපටය හරහා. නමුත් මම විශ්වාස කරන විදිහට ටනාශා ප්‍රේක්‍ෂකයන් අතරට ගියේ නීල පබළු ටෙලි නාට්‍යයේ කුරුළු කියන චරිතය හරහා. මොකද රන් දේදුන්න තිරගත වුණේ නීල පබළු විකාශය වෙද්දි.


සැමියාගෙන් ලැබෙන සහයෝගය මොන වගේද?


අපි දැන් අවුරුදු අටක් පුරාවට බොහොම සහයෝගයෙන් කටයුතු කරනව. ගොඩක් දෙනෙක් කසාද බැන්දට පස්සෙ සැමියා නීති දානව කිව්වට අනුරාධ මට කවදාවත් එහෙම නීති දාල නැහැ. මම වැඩක් භාර ගත්තත් එයා කතාකරන්නෙ ඒකෙ ගුණාත්මක පැත්ත මිසක් වැරදි කියල නීති දාන්න උත්සාහ කරන්නෙ නැහැ වගේම ලව් සීන් තියෙනව නම් කරන්න එපා වගේ දේවල් කවදාවත් කියන්නෙ නැහැ. ඇත්තටම මගේ ගෙදර අයගෙන් ලැබෙන සහයෝගය හා සමාන සහයෝගයක් අනුරාධගෙන් මට ලැබෙනව.

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
Previous Post Next Post